සිත නිවන රක්ෂිතයක් වනසා දමන මෙහෙයුමක්

136

ඉඩම් කොල්ලය පිටුපස ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මැර දේශපාලනඥයෙක්

අක්කර දහයකට වඩා කැලෑව කපලා ඉඩම් කට්ටි පනස් පහක් වෙන් කරගෙන

කඳු බෑවුමේ කැලෑව එළි කළොත් ගම්මානවලට වතුර නැතිවෙනවා

රත්නපුර දිස්ත්‍රික්කයේ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුන්වල ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති නාගහ රක්‍ෂිතය අක්කර පනස්පහකට වැඩිය. සුන්දර කඳු පන්ති අතර පිහිටි නාගහ රක්ෂිතය එක් පසෙකින් කරගල්ඔය ආරට සහ තවත් පසෙකින් තුඹගල්ඔයආරට බෑවුම් වේ. එමෙන්ම මේ නාගහ රක්‍ෂිතය අතිශය දුර්ලභ බෙහෙත් ඖෂධ සහිත උසු උයනක් ලෙස ද ප්‍රසිද්ධය. සුදු හඳුන්, බිංකොහොඹ, කොතල හිඹුටු, දුම්මැල්ල, නෙල්ලි, කීරාත, සත්සඳ, ලුණු අරණ, පාවට්ට, තෙල් එරඬු වෙනිවැල් ඇතුළු විශාල බෙහෙත් ඖෂධ රාශියක්ම නාගහ රක්‍ෂිතය තුළ විසිරී පැතිරී තිබෙන බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. ඇහැල, කුඹුක්, වල්ලපට්ට ශාක බහුල නාගහ රක්‍ෂිතය මරං ගස්වලින් පිරී තිබෙන බව ද ප්‍රදේශවාසීන්ගේ අදහසය.

එමෙන්ම සිංහරාජ රක්‍ෂිතය තුළ පමණක් ජීවත්වන අති දුර්ලභ සත්ත්ව විශේෂ කිහිපයක්ම නාගහ රක්‍ෂිතයේ ජීවත්වන බවත් ඒ අතර දුර්ලභ කුරුලු විශේෂ කිහිපයක්ම සිටින බව ද ප්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ. එකී දුර්ලභ සත්ත්ව විශේෂ අධ්‍යයන කිරීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලය සහ කොතලාවල විද්‍යා පීඨයේ සිසුන් කණ්ඩායම් විටින් විට නාගහ රක්‍ෂිතයට පැමිණෙන බවද ප්‍රදේශවාසීහු අපට කීහ. එවැනි සුවිශේෂී වටිනාකමක් සහිත සෞම්‍ය පරිසර පද්ධතියක් වූ නාගහ රක්‍ෂිතයට මෑතක සිට සෙනසුරු දසාව උදා වී තිබෙන බව ද වාර්තා වේ. ඒ ප්‍රදේශයේ ‘ඇති හැකි අය’ පැමිණ දේශපාලන බලපුළුවන්කාරකම් මත රක්‍ෂිත භූමිය ප්‍රසිද්ධියේ සුද්ද කර තවකාලික නිවාස ඉදිකිරීමට කටයුතු කිරීම නිසාය. රජයේ ඉඩම් බලහත්කාරයෙන් කොල්ලකෑමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නාගහ රක්‍ෂිතයට යන රාජ්‍ය නිලධාරීන්ට ඉඩම් හොරු හූ කියා බැන අඬගසනවා පමණක් නොව ‘ගෝඨට කරපු දේ කරගන්නද දඟලන්නෙ’ කියමින් තර්ජනය කරන බවද එම නිලධාරීහු අප සමඟ පැවසූහ. එහෙයින් දුර්ලභ සතුන් සැරිසරන ඔසු උයනක් බඳු නාගහ රක්‍ෂිත විනාශය දෑසින් දැකගැනීමට පසුගිය දිනක අපි එම ප්‍රදේශයට ගියෙමු.

බළන්ගොඩ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය, තුඹතැන්න ප්‍රදේශයෙන් දකුණට හැරී නෙල්ලිවල අතුරු මාර්ගය ඔස්සෙ ඉදිරියට ගමන් කළෙමු. කාපට් අතුරා ඇත්තේ පටු පාරෙ ටික දුරකට පමණි. කොන්ක්‍රීට් ඇතිරූ කොටස කඩතොලු සහිතය. මෝටර් රථයකට ගමන් කිරීමට නොහැකි තරමටම මාර්ගයේ ඇතැම් ස්ථාන කඩතොලු සහිතය. තුඹතැන්නෙන් නෙල්ලිවල මාර්ගයට හැරුණු තැන සිට නිවාස පිහිටා ඇත්තේ ද මීටර් දෙසීයකට ආසන්න දුර ප්‍රමාණයක් තුළ පමණි. එතැන් සිට මහා කැලෑවය. අසීරුවෙන් ඉදිරියට ගිය මෝටර් රථය ගල්, බොරළු සහිත මැටි පාර දිගේ නම් කෙසේවත් ගමන් කිරීමට නොහැකි විය. මාර්ගය අද්දර මෝටර් රථය නතර කළ අපි ප්‍රදේශයේ තරුණයකුගේ ත්‍රිරෝද රථයකින් ගමන ඉදිරියට ගියෙමු.

මැටි පාරේ ගමන් කළ ඩීසල් ත්‍රිරෝද රථය ද උඩ විසිවන තරමට ජඹුර වළවල්ය. විටෙක මාර්ගය මැද තරමක ගල් මතු වී තිබේ. කන්දක් නැඟ, පල්ලමේ මර හඬ දීගෙන පහළට රූටන ත්‍රිරෝද රථයේ තිරිංග තද විය.

“පේනවා නේද මහත්තයා… කැලෑව කපලා මඩුවක් හදන්න අරගෙන තියෙන හැටි. තනි කර කපලා තියෙන්නෙ මරං ගස්…” තම ගම් ප්‍රදේශයට සම්පතක් වූ නාගහ රක්‍ෂිතය ආරක්‍ෂා කරගැනීමට දිවි හිමියෙන් කැප වී සිටින තරුණයෙක් කැලෑව තුළට දකුණත දිගු කළේය.

පළ දෙකට ඉදිකෙරෙන කුඩා නිවසට ලී දඬු සිටුවා වහළයට වට පරාල බැඳ තිබේ. එම ස්ථානයේ අවට මහ ගස් කිහිපයක්ම කපා දමා ඇති අයුරු ද හොඳින් නිරීක්‍ෂණය වේ. තවත් ලී දඬු තොගයක් අසල ගොඩ ගසා ඇති අයුරු ද පෙනේ.

“මේ කැලෑවේ ගොඩක්ම තියෙන්නෙ මරං ගස්. යකඩ වගේ ලීයක්. ඒ නිසා ඔය ගස් හඳුන්වන්නෙ ‘යකඩ මරං’ කියලා. ඉස්සර යපස් උණු කරන්න අරගෙන තියෙන්නෙත් මරං ලී. මේ දරවල පුදුමාකාර රස්නයක් තියෙන්නෙ. මහ විශාල ගස් නෙමෙයි. පොළොවට සෙවණ වැටෙන විදිහට අතු වටේට විහිදෙනවා. හරියට වියනක් වගෙයි. මරං වියන නිසා මේ කැලෑවේ පොළොව නිතරම තෙතයි. ඒ වගේම හොඳ දිය සිරාවක් තියෙනවා. ඒ දිය සීරාවෙන් තමයි පහළ ගම්වල දිය උල්පත් පිරෙන්නෙ. මහා පෑවිල්ලකට වුණත් ඒ ගම්වලට වතුර නැති වෙන්නෙ නෑ. මේ කඳු බෑවුමේ මරං ගස් කපලා කැලෑව එළි කරලා ගම්මාන ගැහුවොත් දිය උල්පත් සිදී ගිහින් පහළ ගම්වලට වතුර නැති වෙනවා. මේ කැලෑවේ ඉන්න සතුන්ට බොන්න වතුර නැති වෙනවා. නාගහ රක්‍ෂිතයට විතරක් නෙමෙයි අවට ප්‍රදේශයටම මහ විපතක් වෙනවා…” ගමන් සඟයා විසින් මරං ශාකයේ වටිනාකම සහ නාගහ රක්‍ෂිතය පහළ ගම්මානවලට ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ලබාදෙන දායකත්ව ගැන පැහැදිලි කරන අතරේ රියැදුරු මහතා ත්‍රිරෝද රථය පණගැන්නුවේය. මහ කඩතොලු සහිත කඳු බෑවුමේ ගමන අවදානම්ය.

“ත්‍රීවිල් එක නතර කරලා අපි පයින් යමු…” මම ඔහුට යෝජනා කළෙමි.

සිත නිවන රක්ෂිතයක් වනසා දමන මෙහෙයුමක්

“ඒක ඊට වඩා අවදානම්. ඉඩම් අල්ලන, ගෙවල් හදන අය හිටියොත් මහත්තෙලා යන්නෙ කොහේද? මොකටද ආවේ කියලා ප්‍රශ්න කරයි. ඒ මිනිස්සුන්ට දේශපාලන බලයත් තියෙනවා. රාජ්‍ය නිලධාරීන්ටවත් බය නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් එක්ක ග්‍රාම සේවක නෝනා මේ ගැන සොයා බලන්න ආපු අවස්ථාවේ තර්ජනය කර බැනලා එලවලා තිබුණා. මේ කැලෑව කට්ටි කරන අය අතර පොලිසියේ, හමුදාවේ, විවිධ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ගොවිජන සේවා නිලධාරියකුත් ඉන්නවා. තවත් විවිධ තරාතිරම්වල පුද්ගලයො ඉන්නවා. මේ කිසිම කෙනෙකුට ගේ දොර, ඉඩකඩම් නැතුව නෙමෙයි. අධික තණ්ණාහවට තමයි මේ කැලය සුද්ද කරලා පැල් අටවගෙන කොටු කරගන්නෙ. ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති කෙනෙක් පර්චස් දහයක් අල්ලගෙන පදිංචි වුණා නම් ගැටලුවක් නෑ. අක්කර භාගය, අක්කරය මේ මිනිස්සු ඉඩම් අල්ලන්නෙ අසීමිත තණ්හාවට…” නැවතත් ගමන් සගයා විසින් ත්‍රිරෝද රථය නතර කිරීමට අණ කළේය.

“අර බලන්න මහත්තයො… කැලෑව ඇතුළට වෙන්න විශාල පදාසියක් කපලා මඩුවක් ගහන්න හදන හැටි…” ගමන් සගයා බිම වාඩි වී කැලෑව තුළට දෑත් දිගු කළේය.

මාර්ගය අද්දර සිට කැලෑව කපාගෙන වනය තුළට ගොස් පෙර දුටු ස්ථානයටත් වඩා මේ තැන සුද්ධ කර ඇති බව පෙනේ. ඉදිකරන මඩුවත් විශාලය. ගොඩගසා තිබෙන ලී දඬුත් ගොඩකි. එම ඉසව්වේ කැලෑ රොද අපි හොඳින් විපරම් කළෙමු. ඈතින්, ඈතට කැලෑව කපා එළිපෙහෙළි කර ඇති ස්ථාන කිහිපයකි. මම නැවත ගමන් සගයා දෙසට හැරුණෙමි.

“දැනට ඉඩම් කට්ටි කීයක් විතර වෙන් කරගෙන තියෙනවද…”

“ලැබෙන ආරංචිවල හැටියට ඉඩම් කට්ටි පනස් පහක් විතර වෙන් කරගෙන තියෙනවා. අක්කර දහයක් විතර එළිපෙහෙළි කරලා තියෙනවා. මේ රක්‍ෂිතය කට්ටි කර බෙදාදීමට මූලිකව කටයුතු කරන්නෙ දෙදෙනෙක්. ඒ දෙන්නා මිනිස්සුන්ට ඉඩම් කට්ටි කරලා කණු හිටවලා බෙදලා දෙන්නෙ පරම්පරාවෙන් ලැබුණු බූදලයක් විදිහට තමයි. ඒ එක් අයෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ මැර දේශපාලනඥයෙක්ට වැඩ කරනවා. ඒ දේශපාලනඥයාගේ හයිය අරගෙන තමයි එයා කැලෑවේ අයිතිකාරයා වගෙ ඉඩම් බෙදා දෙන්නෙ…” ත්‍රිරෝද රථයේ එංජිමෙන් නැඟෙන ටකරං හඬ පරයමින් අපගේ ගමන් සගයාගේ හඬ උස් විය. හේ රක්‍ෂිත කොල්ලයේ ඇතුළාන්තය පැහැදිලිව විස්තර කළේය.

“මේ ප්‍රදේශය හඳුන්වන නම මොකක්ද…” නැවතත් මම ඔහුට කෙටි පැනයක් යොමු කළෙමි.

“නෙල්ලිවල. මේ පාර කොස්ගමට වෙනකම් යනවා. ඒ වගේම කොස්ගමට යනකම් එක ගෙයක්වත් නෑ. මේ කැලයට එකම මිනිස් වාසස්ථානයකට තියෙන්නෙ ආරණ්‍ය සේනාසනයක් විතරයි. ඒ ආරණ්‍ය සේනාසනයෙත් වැඩ ඉන්නෙ ස්වාමීන්වහන්සේ දෙනමයි. මේ හතරමං හන්දියෙන් දකුණට වැටුණු පාරේ කෙළවරේ තමයි ආරණ්‍ය සේනාසනය තියෙන්නෙ…” ගමන් සගයා එසේ පැහැදිලි කරන විට ත්‍රිරෝද රථය හතරමං හන්දියේ නතර වී තිබිණි. රියැදුරු සහ ගමන් සගයා කැලෑව තුළට ගිය පුංචි විරාමයට අපි නාගහ රක්ෂිත ප්‍රදේශය අයත් බුදුන්වල ග්‍රාම සේවා වසම භාර ග්‍රාම සේවා නිලධාරිණි මහත්මියට දුරකථනය ඔස්සේ කතා කළෙමු.

“ටික දවසක ඉඳලා තමයි මේ කැලෑව කපලා ඉඩම් කට්ටි කරන්න පටන් ගත්තෙ. ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම කරලා මේ වනවිට වන විනාශය නතර කරලා තියෙනවා. අපිට නොසෑහෙන්න ප්‍රශ්න ආවා. තර්ජනය කරපු අවස්ථා තිබුණා. තර්ජන ගර්ජන කරපු අයට නීතිය ක්‍රියාත්මක කරලා පොලිසිය අත්අඩංගුවට අරගෙනත් තියෙනවා. ඒ වගේම ‘දින දහහතරක් ඇතුළතදී ඉවත් වෙන්න’ කියලා ඉඩම් කට්ටි කරලා තියෙන සියලුම දෙනාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. එහෙම කරලා තියෙද්දීත් කිහිපදෙනෙක් ඒ ඉඩම්වල තවම ඉන්නවා. ඊයේ පෙරේදා දවසකත් මම ඒ ප්‍රදේශයට ගිය අවස්ථාවක එක මනුස්සයෙක් මට කෑගහගෙන ආවා…”

“අපි යන්නෙ නෑ. පුළුවන්නම් යවන්න. හිරේ දැම්මොත් හිරෙන් නිදහස් වෙලා එන්නෙ ඇතුළට යන මනුස්සයා නෙමෙයි. අමුනුස්සයෙක්. එතකොට ඔයා ගැන අපි බලා ගන්නම්….” ඒ මනුස්සයා හමුදාවේ හිටිය කෙනෙක් කියලා කියනවා. දැනට පදිංචි වෙලා ඉන්න ඉඩමකුත් තියෙනවා. එයා පස්සෙ බලා ගන්නකම්, මම බලාගෙන ඉන්නවා…” ඇය නීතිගරුක නිලධාරිණියකි. එමෙන්ම යකඩ ගැහැනියකි. ඇය මෙන්ම පහළ සිට ඉහළට සබරගමු පළාත් ආණ්ඩුකාරතුමා දක්වා සියලුම නිලධාරීන් මේ රක්‍ෂිත කොල්ලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බව ද වාර්තා වේ. ඒ ගැන අපට ඇත්තේ හදපිරි සතුටකි. එසේ නොවෙන්න නැවත අපට ලියන්නට වෙන්නෙ නාගහ කැලෑවේ පාංශකූල කතාවය. සිත තුළ එවැනි සිතුවිලි නැඟෙන විට නාගහ රක්ෂිත කොල්ලයේ අලුත්ම තත්ත්වය විමසා බැලීමට ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් තුමියට ද අපි දුරකථන ඇමතුමක් ලබා ගත්තෙමු. එහෙත් ඇය අපගේ ඇමතුමට සම්බන්ධ නොවිණි. ඒ අතරේ ගමන් සඟයා නැවතත් කතාව පටන් ගතතේය.

මේ කැලෑව ඇතුළේ හරි ලස්සන කුරුලු රංචු ඉන්නවා. මුවන්, ඌරො, ඉත්තෑවො රංචු පිටින් ගැවසෙනවා. භයානකම සතා දිවි මකුළුවා. හරියට ඉන්නවා. ඒ වගේම බිම් කළුවර වැටෙනකොට අලි රංචු පිටින් එළි බහිනවා. අලි ඇතුන් ඇතුළු වනසතුන් ජීවත්වන වාසස්ථානයක මිනිස්සු ගෙවල් හදාගෙන අන්තිමේ අලින්ගෙන් කරදරයි කියාගෙන උද්ඝෝෂණ කරයි. ඒ සතුන්ට හිංසා කරයි. තියෙන ප්‍රශ්න මදිවට රජයට තවත් ප්‍රශ්න වැලක් එකතු වෙනවා. ඒ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙලා, විශේෂයෙන්ම මේ දුර්ලභ පරිසර පද්ධතියේ වටිනාකම අවබෝධ කරගෙන නාගහ කැලෑව ආරක්‍ෂා කරගන්න කියලා ප්‍රදේශවාසීන් විදිහට අපි රජයෙන් ඉල්ලා සිටිනවා…” එසේ අදහස් දැක් වූ ප්‍රදේශවාසීහු නම් සඳහන් කිරීමට බිය වූහ. ඒ බියවීම සාධරණය. දේශපාලන බලය සහ මැර බලය එකතු වූ නාහග රක්‍ෂිතයේ ඉඩම් කොල්ලය පැවැතියේ දරුණු තැනකය. එහෙත් දැන් ඉඩම් කොල්ලකරුවන් නැත. ශේෂ වී ඇත්තේ හතර මායිම් ලකුණු කර ඉණි සහ හදාගෙන එන තාවකාලික මඩු සහ ලී දඬු පමණි. එහෙයින් සියොතුන්ගේ ගී හඬ නොඇසෙන්න ඒ පරිසරයෙන් ඇසෙනුයේ මරං ගස්වල කොළ ගැටෙන සිලි, සිලි හඬ පමණි.

ඈතින්, ඈතට දියඇලි හතක් කඩා හැළෙන, නිල්ලෙන් සුදිළෙන කඳු වළල්ලකින් වට වූ ඒ මනස්කාන්ත පරිසරයයේ චමත්කාරය වර්ණනා කර අවසාන කිරීමට මේ පත්ඉරුව ප්‍රමාණවත් නැති තරම්ය. එමෙන්ම ඒ සොදුරු පරිසරය තුළදී මනසට දැනෙන නිදහස් බව කියා නිම කළ නොහැකි තරම්ය. නාගහ රක්‍ෂිතයේ වටිනාකම තේරුම් ගැනීමට මොළ කළඳක් හෝ ඇති එම සොඳුරු පරිසරයේ සොබාසිරියට පෙම්බැඳි ප්‍රදේශවාසීන් නම් භූමිය අල්ලනු නොව මරං ගසක කොළයක්වත් නොකඩන බව නිසැකය. ඉඩම් තණ්හාවෙන් රක්‍ෂිත භූමිය කොටු කරගෙන රටට සම්පතක් වූ දුර්ලභ පරිසර පද්ධතිය විනාශ කරනුයේ මැටි මෝල්ලුය. ඒ මී හරක් රැළට රැකවරණය ලබාදෙනුයේ පරිසරයේ විනා මනුස්ස ජීවිතයක හෝ වටිනාකම නොදත් මැර බලයෙන් දේශපාලනය කරන තක්කඩියෙකි. පෙළගැසෙන කතාවේ අන්තර්ගතය අවබෝධ කරගැනීමට බුද්ධියක් ඇති බලධාරීන් සිටී නම් දැනටත් නිලධාරීන් ආරක්‍ෂා කරගෙන තිබෙන නාගහ රක්‍ෂිතය සුරක්‍ෂිත කරගැනීමට පසුබට නොවනු නියතය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment