සිනා සිසී මෙසී අවසන් 8ට ඇත පිවිසී

315

2014 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී අනුශූරතාව දිනා ගැනීමෙන් පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියක පළමුවරට අර්ධ අවසන් පූර්ව වටයට හිමිකම් කීමට ලියොනල් මෙසී ගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනා කණ්ඩායම පෙරේදා (03 වැනිදා) රාත්‍රියේදී සමත්විය.

ඔස්ටේ්‍රලියාව සමග පැවැති අවසන් කණ්ඩායම් 16 තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් ලැබූ ආර්ජන්ටිනා කණ්ඩායම මෙම දස්කම දැක්වීය.

ආර්ජන්ටිනාව වෙනුවෙන් එම තරගයේ දී නායක ලියොනල් මෙසී පළමු ගෝලය වාර්තා කළ අතර එය ඔහුගේ පාපන්දු දිවියේ 789 වෙනි ගෝලය විය.

එම ගෝලය පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ලියොනල් මෙසී වාර්තා කළ නමවැනි ගෝලය වූ අතර ඒ අනුව සුපිරි ආර්ජන්ටිනා ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා ආර්ජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන තරගවලදී රැස් කරන ලද ගෝල් 8 වාර්තාව ඉක්මවා යෑමට ද මෙසී සමත් වූයේය.

පාපන්දු ලෝක කුසලාන තරගවලදී ආර්ජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල් රැස් කළ ක්‍රීඩකයා වන ගේබි්‍රයල් බැට්ස්ටුටාට පමණක් මෙසී මේ වන විට දෙවෙනි වී සිටී. ඔහු ගෝල් දහයක් රැස්කර ඇත.

ඔස්ටේ්‍රලියාවට එරෙහිව මෙසී වාර්තා කරන ලද එම ගෝලය මෙවර තරගාවලියේ තරග හතරක් තුළදී ඔහු වාර්තා කරන ලද තෙවෙනි ගෝලය වේ.

ආර්ජන්ටිනාව වෙනුවෙන් එම තර්ගයේදී දෙවන ගෝලය ජූලියන් අල්වාරෙස් වාර්තා කළ අතර ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ද ආර්ජන්ටිනා ක්‍රීඩකයකු අතින් වාර්තා වීම විශේෂ සිද්ධියක් විය.

ආර්ජන්ටිනා ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් අතින් වැරදීමකින් තම පිලේම දැල තුළට පන්දුව යොමු වීමෙන් ඔස්ටේ්‍රලියාවට එම ගෝලය හිමිවිය.

අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.

අද පැවැත්වෙන තරග

 එංගලන්තය සෙනගාලය රාත්‍රී 8.30

 ජපානය ක්‍රොඒෂියාව රාත්‍රී 8.30

advertistmentadvertistment
advertistmentadvertistment