සියදිවි නසාගැනීම ද ලෝකයේ අනෙක් හැම සිදුවීමක් සේ ම සුලභ දෙයක් වී තිබේ. කවර කලත් කවර සමාජයකත් එය සිදු වේ. ලෝකයේ හැම තරාතිරමක ම මිනිස්සු සියදිවි නසාගනිති. මේ පිළිබඳ කොතෙක් වාද, විවාද, සංවාද පැවැතිය ද ඒ කිසිවකින් ඊට බලපෑමක් ඇති වන බවක් ද නො පෙනේ. කුමන හේතු මත සියදිවි නසාගත්ත ද ඉන් පෙනෙන දේ නම් ජීවත්වීමට ඇති බිය මරණයට ඇති බියට වඩා වැඩි අගයක් ගන්නා බව යි! ජීවිතය දරාගැනීමට අසමත් වූ කල මිනිස්සු ස්වකැමැත්තෙන් ම එය හැර යති. ඒ කෙසේ වෙතත් අගනා මිනිස් ජීවිත නිකරුණේ විනාශ වීම නම් අපරාධයකි!

ජීවිතය අභියෝගයකි. එය ජයගත නොහැකි වූ කල මානසික ව්‍යාකූලත්වයට පත් ව ජීවිතය හැර යෑමට යමෙක් සිත යි. එසේ වූ ජීවිත අභියෝගයෙන් පීඩිත මනසට සහනය ගෙන දී සුවපත් කර දිරි දෙන්නකි, සාහිත්‍ය-කලා ආදිය, පොතපත ඇසුරු කිරීමෙන් මානසික සහනය ලබන්නෝ අනල්ප වෙති. ඔවුහු ඉන් දිරි ලැබ ජීවිත අභියෝගයට සවිමත් ව මුහුණ දෙති. මෙසේ බලන කල ලේඛකයා ජීවත්වීමට දිරි දෙන්නෙකි. එහෙත් එසේ වූ ලේඛකයෝ ද ඇතැම් විට ජීවිත අභියෝගය හමුවේ නිරුත්තර වෙති. ඔවුහු ද සියදිවි නසාගනිති. සියදිවි නසාගත් ලේඛකයින්ගේ ලැයිස්තුව ද දිගු ය! ඒ ලැයිස්තුවේ සිටින ප්‍රකට ලේඛකයින් කිහිප දෙනෙකු ගැන පමණි, අප මේ මඳක් තතු විමසා බලන්නේ.

  1. එඩ්ගර් ඇලන් පෝ (1809 – 1849)
සියදිවි නසාගත් ප්‍රකට ලේඛකයෝ

සුප්‍රකට ඇමෙරිකානු ලේඛකයකු වන එඩ්ගර් ඇලන් පෝ කෙටිකතා කලාවේ පුරෝගාමීන් අතරින් එක් අයෙකි. කවියකු, කෙටිකතාකරුවකු, අභිරහස් ප්‍රබන්ධ රචකයකු, සඟරා කතුවරයකු හා සාහිත්‍ය විචාරකයකු ලෙස කීර්තිමත් නමක් හිමි ඔහු ඇමෙරිකාවේ ප්‍රමුඛ සාහිත්‍යකරුවකු ලෙස සැලැකේ. ලේඛනයෙන් පමණක් ජීවිකාව සපයාගත් ඇමෙරිකාවේ පළමු වෘත්තීයමය ලේඛකයා ලෙස හැඳින්වෙන ඔහු දුෂ්කර හා දිළිඳු ජීවිතයක්

ගෙවූවෙකි. 1809 ජනවාරි 19 දා ඇමෙරිකාවේ බොස්ටන් නගරයේ දී උපන් ඇලන් පෝ ඔහුට වයස අවුරුදු එකක් වෙද්දී පියා පවුල හැර යෑමත් ඊළඟ වසරේ දී මව මිය යෑමත් නිසා අනාථ දරුවෙක් විය. ඉක්බිති වෙනත් යුවළක් විසින් ගෙන යන ලද ඔහු තරුණ විය තෙක් ඔවුන් ළඟ හැදී වැඩුණේ ය. වර්ජීනියා සරසවියට ඇතුළු වීමට වරම් ලද නමුත් ඇලන් පෝගේ උසස් අධ්‍යාපනය වසරකට පමණක් සීමා වූයේ මුදල් නොමැතිකම නිසා ය. 1827 දී ඔහු හමුදාවට බැඳුණේ ය. ඔහුගේ පළමු කවි එකතුව පළ කරන ලද්දේ එම කාලයේ ය. හමුදාවෙන් ඉවත් වූ ඇලන් පෝ පූර්ණකාලීන ලේඛකයකු ලෙස ජීවිතය ඇරැඹී ය. ඔහු සාහිත්‍ය සඟරා හරහා තමාට ආවේණික විචාර ශෛලියකින් ජනප්‍රිය වූ අතර තම කාව්‍ය හා ගද්‍ය රචනා තුළින් ද නමක් දිනාගත්තේ ය. ඔහු 1836 දී වර්ජිනියා ක්ලෙම් සමග විවාහ වූ අතර 1847 දී ඈ මිය යන තෙක් ඈ හා එක් ව ජීවත් විය. “The raven, The fall of the house of usher, the tell-tale heart, The gold bug” යන කෘති ඇලන් පෝගේ රචනා අතර වේ.

එඩ්ගර් ඇලන් පෝගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස වැඩි දෙනකු විසින් සලකනු ලැබුණ ද එය තවමත් නො විසඳුණු අභිරහසක් ව පවතින්නකි. ඔහු මිය ගියේ 1849 ඔක්තෝබර් 07 දා ඇමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ දී ය. ඔක්තෝබර් 03 දා ජෝසෆ් වෝකර් නමැත්තකු විසින් සිහිසුන් ව සිටි ඇලන් පෝ වොෂින්ටන් වෛද්‍ය විද්‍යාලය වෙත යොමු කරන ලද අතර ඔහු මළේ එහි දී ය. ඔහුගේ මරණ සහතිකය ඇතුළු වෛද්‍ය වාර්තා සියල්ල අස්ථානගත වී තිබේ. වෝකර් විසින් සොයා ගැනෙන විට ඔහු වෙනත් අයකුගේ ඇඳුම් හැඳ සිටි බවත් මරණයට පෙර දින රාත්‍රියේ ඔහු “රෙනෝල්ඩ්ස්” යන නම නැවත නැවත කී බවත් පැවැසේ. ඔහු අවසන් වරට, “ස්වාමීනි, මගේ දුප්පත් ආත්මයට පිහිට වන්න” යනුවෙන් මැතිරූ බව ඔහුගේ වෛද්‍යවරයා පවසා තිබේ. ඇලන් පෝ මිය යෑමට තරම් සිහිවිකල හා දරුණු තත්ත්වයකට පත් වූයේ කෙසේ ද යන්න අනාවරණය නො විණි. ඔහුගේ මරණය මොළයේ ආබාධයක් නිසා සිදු වූ බව එකල පුවත්පත් වාර්තා කොට තිබේ. කෙසේ නමුත් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ සාහිත්‍යික එදිරිවාදීන් විසින් පළ කරන ලද ලිපි හා පොත්පත් මඟින් ඔහුගේ චරිතයට දැඩි සේ හානි පමුණුවා තිබේ. ඒවායේ ඇලන් පෝ හඳුන්වා දී ඇත්තේ “වීදි පුරා කියවමින් ඇවිදි උම්මත්තකයකු” ආදි ලෙසිනි! ඇලන් පෝගේ මරණයට හේතු ලෙස හෘද රෝග, මොළයේ ආබාධයක්, රසායනික විෂ වීමක්, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, සියදිවි නසාගැනීම යන ආදිය වරින් වර දැක්වී තිබේ. එහෙත් සැබෑ හේතුව තවමත් අභිරහසකි. එඩ්ගර් ඇලන් පෝගේ නම ද සියදිවි නසාගත් ලේඛකයන්ගේ නම් අතරට ඇතුළත් ව තිබේ. ඔහුගේ දේහය මිහිදන් කොට ඇත්තේ බැල්ටිමෝර්හි වෙස්ට්මිනිස්ටර් සුසානයේ ය.

  1. වර්ජිනියා වුල්ෆ් (1882 – 1941)
සියදිවි නසාගත් ප්‍රකට ලේඛකයෝ

ඉංගිරිසි ජාතික ලේඛිකාවක වන වර්ජිනියා වුල්ෆ් 20 වැනි සියවසේ වැදගත් ම නූතනවාදී ලේඛකයින් අතරින් කෙනෙකි. විශිෂ්ට නවකතා රචිකාවියක වූ ඈ විඥානධාරා සංදර්භය වෙනුවෙන් පුරෝගාමී වූ නවකතා කතුවරිය යි. ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ දී වර්ජිනියා වුල්ෆ් වැදගත් චරිතයක් ලෙස සලකනු දැකිය හැක. ඈ උපන්නේ 1882 ජනවාරි 25 දා ලන්ඩනයේ දී ය. ධනවත් පවුලක දියණියක වූ ඈට හොඳ අධ්‍යාපනයක් ලැබිණි. සම්භාව්‍ය සාහිත්‍යය හා ඉතිහාසය හැදෑරූ ඈ පසුකාලීන ව සිය මිතුරන් හා එක් ව “බ්ලූම්ස්බරි” නමින් සාහිත්‍ය හා කලා එකතුවක් පිහිටුවා ගත්තා ය. 1900 වසරේ සිට වෘත්තීයමය ලේඛනයට පිවිසි ඈ සිය පළමුවැනි නවකතාව එළිදැක්වූයේ 1915 දී ය. ඇගේ විශිෂ්ට නවකතා ලොව පුරා භාෂා 50කට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ. “The voyage, mrs dalloway, to the lighthouse, orlando, A room of one’s own, The waves” ආදිය වර්ජිනියා වුල්ෆ්ගේ කෘති අතර වේ. වර්ජිනියා 1912 දී ලෙනාඩ් වුල්ෆ් සමග විවාහ වූවා ය. ඔහු ප්‍රකට ලේඛකයකු මෙන් ම කලක් ලංකාවේ යටත්විජිත ආණ්ඩුවේ ඒජන්තවරයකු ලෙස ද සේවය කළේය.

කොතරම් විශිෂ්ට පොත් ලියූවත් වර්ජිනියා වුල්ෆ් නොයෙක් කායික හා මානසික රෝගාබාධවලින් නිතර පීඩා විඳිමින් දිවි ගෙවූ කාන්තාවකි. ඇගේ යොවුන් විය අවසන් වත් ම මව, පියා හා සහෝදරයකු ද මිය ගොස් තිබීම හේතුවෙන් ඈ දැඩි මානසික කඩාවැටීමකට ලක් වූ අතර මානසික ප්‍රතිකාර සඳහා යොමු වූවා ය. ඈ එම කාලයේ කිහිප වරක් ම සියදිවි නසාගැනීමට ද උත්සාහය කොට තිබේ. විවාහයෙන් පසු ඇගේ මානසික රෝගී තත්ත්වය යහපත් අතට හැරුණු අතර ඈ දිගට ම ප්‍රතිකාර ලබාගත්තා ය. එහෙත් දෙවැනි ලෝක යුද්ධය පටන් ගැනුණු සමයේ ඇගේ රෝගී තත්ත්වය යළි මතු විය. සැමියා ග්‍රාමාරක්ෂක හමුදාවට බැඳුණු අතර ඈ ඊට කැමැති නො වූවා ය. ලන්ඩන්හි ඇගේ මහගෙදර ද විනාශ විය. ඇගේ කායික රෝගාබාධත් තවත් සිත් වේදනාත් බහුල විය. මේ සියල්ල හේතුවෙන් දැඩි මානසික අවපීඩනයකට බඳුන් වූ ඈ සියදිවි නසාගැනීමට පෙළඹුණා ය. අවසන් වරට සැමියාට ලිපියක් ලියා තැබූ ඈ 1941 මාර්තු 28 වැනි දා සසෙක්ස්හි ඇගේ නිවස සමීපයේ ඇති “ඔවුස්” ගඟට පැන සියදිවි නසාගත්තා ය. ඇගේ සිරුර හමු වී ඇත්තේ 1941 අප්‍රේල් 18 වැනි දා ය. ගඟට පනින විට ඇගේ කබායේ සාක්කු ගල්වලින් පුරවාගෙන තිබූ බව සඳහන් වේ. ඇගේ දේහය සසෙක්ස්හි ඔවුන්ගේ නිවෙස පරිශ්‍රයේ එල්ම් ගසක් යට තැන්පත් කෙරිණ. 1969 දී ලෙනාඩ් මළ පසු ඔහුගේ දේහය ද මිහිදන් කෙරුණේ ඒ අසල ම ය. වර්ජිනියා ඔහුට ලියූ අවසන් ලිපියේ තැනක මෙසේ සඳහන් වේ;

“මා බේරාගත හැකි කෙනෙක් ඉන්නවා නම් ඒ ඔබ යි. ඔබගේ යහපත්කම හැර අනෙක් සියල්ල මගෙන් ඈත් වී ඇත. මං හිතන්නෙ නෑ යුවළකට අපි දෙන්නා හිටියාට වඩා සතුටින් ඉන්න තිබුණා කියල.”

  1. අර්නස්ට් හෙමිංවේ (1899 – 1961)
සියදිවි නසාගත් ප්‍රකට ලේඛකයෝ

අර්නස්ට් හෙමිංවේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පවා දිනූ විශිෂ්ට නවකතාකරුවෙකි. එමෙන් ම ඔහුගේ ජීවන චරිතය ද ආන්දෝලනාත්මක එකක් ලෙස ප්‍රකට ය. ඔහු 1899 ජූලි 21 වැනි දා ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඕක්පාර්ක් නගරයේ දී උපන්නේ ය. අධ්‍යාපනයෙන් පසු වාර්තාකරුවකු ලෙස සේවය කළ ඔහු පළමුවැනි ලෝක යුද සමයේ දී ගිලන් රථ රියැදුරකු ලෙස ඉතාලියේ සේවය කළේ ය. එහි දී ඔහු බරපතළ ලෙස තුවාල ලැබී ය. පසු කාලයේ ඊ පුවත්පත් වාර්තාකරුවකු හා ලේඛකයකු ලෙස හෙමිංවේ ජනප්‍රිය වූ අතර 1926 දී ඔහුගේ පළමු වැනි නවකතාව එළිදැක්වී ය. ඔහු නවකතා හා කෙටිකතා පොත් කිහිපයක් ම ලියූ අතර ඒවා ලොව පුරා ජනප්‍රිය වී ය. 1954 දී ඔහුට සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වූයේ “The old man and the sea” (මහල්ලා සහ මුහුද) නවකතාව වෙනුවෙනි. හෙමිංවේ විවාහ හතරක් කරගෙන තිබේ. 1921, 1927, 1940 වසරවල සිදු කරගත් විවාහ දික්කසාදවලින් කෙළවර වූ අතර දෙවෙනි ලෝක යුද සමයේ දී “මේරි වේල්ස්” සමග සිදු වූ විවාහය ඔහු මිය යන තෙක් ම පැවැතිණි. හෙමිංවේ ඇමෙරිකාව, කියුබාව, ප්‍රංශය යන රටවල වරින් වර පදිංචි ව සිටියේ ය. ඔහු වාර්තාකරුවකු ලෙස බොහෝ රටවල සංචාරය කළේ ය. අවසන් කාලයේ කියුබාවේ පදිංචි ව සිටි හෙමිංවේ එහි ගොවිපොළක් පවත්වාගෙන යමින් ලේඛකයකු ලෙස නිදහස් ජීවිතයක් ගත කළේ ය. ”The sun also rises, A farewell to arms, For whom the bell toll, The torrents of spring, Men without women, The old man and the sea, The snows of kilimanjaro” යන කෘති හෙමිංවේගේ ජනප්‍රිය නිර්මාණ අතර වේ.

කස්ත්‍රෝ පාලනය යටතේ කියුබාවේ ගොවිපොළවල් රජයට පවරා ගැනුණු පසු හෙමිංවේ යළි ඇමෙරිකාවේ පදිංචියට ආයේ ය. ඉක්බිති නොයෙක් රෝගාබාධවලින් හා සිත් පීඩා ආදියෙන් පෙළුණු ඔහු පරම්පරාගත මානසික රෝගයකට ගොදුරු විය. මේ නිසා ම ඔහුට ලිවීමේ හැකියාව ද අහිමි වූ අතර බොහෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කෙරුණ ද සුවයක් නො ලැබිණ. ඔහුගේ පියාත් සහෝදරියක හා සහෝදරයකුත් ඊට පෙර මෙම රෝගයෙන් ම පීඩා විඳ සියදිවි නසාගෙන තිබිණි. හෙමිංවේ ද අවසන් කාලයේ සිය පියා මරණයට පෙර හැසිරුණු ආකාරයෙන් හැසිරුණු බව වාර්තා වී තිබේ. ජීවිත කාලය පුරා අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඔහුගේ රෝගය තවත් සංකීර්ණ විය. කෙසේ වෙතත් දැඩි මානසික අවපීඩනයකට පත් හෙමිංවේ 1961 ජූලි 02 වැනි දා ඉඩහෝහි කෙචුම්හි පිහිටි තම නිවසේ දී සිය තුවක්කුවෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගත්තේ ය. ඔහුගේ බිරිඳ එය අත්වැරැදීමකින් තුවක්කුව පත්තු වීම නිසා වූ මරණයක් බව පළමු ව ප්‍රකාශ කළ ද පසු ව එය සියදිවි නසාගැනීමක් බව තහවුරු කළා ය. හෙමිංවේ සිය ප්‍රියතම තුවක්කුවෙන් වෙඩි තබාගෙන තිබුණේ එහි බටය මුව තුළට දමා මොළය පුපුරා යන පරිදි වෙඩි දෙකක් පත්තු කිරීමෙනි.

  1. රියුනොසුකෙ අකුතගාවා (1892 – 1927)
සියදිවි නසාගත් ප්‍රකට ලේඛකයෝ

විශිෂ්ට ජපන් ලේඛකයකු වන රියුනොසුකෙ අකුතගාවා අවුරුදු 35ක් වැනි කෙටි කලක් ජීවත් වුවත්, ලියූ පොත් ගණන දෙක තුනක් පමණක් වුවත් වයසට වැඩි මුහුකුරා ගිය බවක් පළ කළ එම සීමිත නිර්මාණවල විශිෂ්ටත්වය නිසා ලොව පුරා ජනප්‍රියත්වයට පත් ලේඛකයෙකි. ඔහු උපන්නේ 1892 මාර්තු 01 වැනි දා ජපානයේ ටෝකියෝ නගරයේ දී ය. ඔහු කුඩා කල ම ඔහුගේ මව මානසික රෝගයකට ගොදුරු වූයෙන් ඔහු හැදීවැඩුණේ සිය මාමා යටතේ ය. අකුතගාවා පාසලේ දී චීන සාහිත්‍යයත් සරසවියේ දී ඉංගිරිසි සාහිත්‍යයත් හැදෑරී ය. 1918 දී “ෆුමි ත්සුකමොටෝ” සමග විවාහ වූ අකුතගාවා කෙටි කලක් ඉංගිරිසි ගුරුවරයකු ලෙස ද සේවය කළ අතර පසු ව පූර්ණකාලීන ලේඛකයෙක් විය. සඟරා සඳහා ලිවීමෙන් ලේඛකයෙකු ලෙස ජනප්‍රිය වූ අකුතගාවා විශිෂ්ට කෙටිකතා ලිවී ය. ඔහු හැඳින්වෙන්නේ “ජපන් කෙටිකතාවේ පියා” යන නමිනි. ඔහු සිය නිර්මාණ තුළ ජපන් හා බටහිර සංස්කෘතීන් එක් ව ගෙන යෑමට උත්සාහ කළේ ය. “Rashomon, kappa” ඔහුගේ ජනප්‍රිය නිර්මාණ වේ.

අකුතගාවා සිය අවසාන කාලයේ ලියූ කතා ස්වයං චරිතාපදාන යැයි පිළිගැනේ. ඔහු කායික හා මානසික සෞඛ්‍යය අතින් පිරිහී සිටියේ ය. තම මවගේ මානසික රෝගය තමාට ද උරුම වී ඇතැයි යන කනස්සල්ලෙන් ඔහු පෙළුණු බව පැවැසේ. දැඩි මානසික ව්‍යාකූලත්වයට පත් අකුතගාවා 1927 වසරේ දිනක පළමු වරට සියදිවි නසාගැනීමට උත්සාහ කළ නමුත් එය නොහැකි විය. එහෙත් එම වසරේ ම ජූලි 24 වැනි දා මිතුරකු වෙතින් ලබාගත් Veronal ඖෂධය අධිමාත්‍රාවක් ලබාගැනීමෙන් ඔහු සියදිවි නසාගත්තේ ය. ඔහුගේ අවසන් ලිපියෙහි තමාට “අනාගතය ගැන නොපැහැදිලි අනාරක්ෂිත බවක් දැනෙන” බව ලියා තිබේ. ජපානයේ ප්‍රමුඛතම සාහිත්‍ය ත්‍යාගය “අකුතගාවා ත්‍යාගය” ලෙස නම් කෙරී ඇත.

  1. කිම් සෝවොල් (1902 – 1934)
සියදිවි නසාගත් ප්‍රකට ලේඛකයෝ

කිම් සෝවොල් කොරියාවේ විශිෂ්ටතම කවියා ලෙස හැඳින්වේ. ඔහු උපන්නේ 1902 සැප්තැම්බර් 07 වැනි දා වත්මන් උතුරු කොරියාවට අයත් කුසොං ප්‍රදේශයේ ය. සෝවොල් කුඩා කල ම සිය මව මිය යෑමත් පියා මානසික රෝගියකු වීමත් නිසා ඔහු හැදී වැඩුණේ පතල් කර්මාන්තකරුවකු වූ සිය සීයා ළඟ ය. සීයාගෙන් චීන බස උගෙන පාසල් අධ්‍යාපනයට පිවිසි ඔහු එහි දී කවි ලිවීමට ද යොමු විය. උසස් අධ්‍යාපනය සඳහා ජපානයට ගිය සෝවොල් උපාධිය නො ලබා ම යළි පැමිණි අතර සීයාගේ පතල් ව්‍යාපාරයේ නිරත වෙමින් ම පුවත්පත් වාර්තාකරුවකු ලෙස ද වැඩ කළේ ය. සෝවොල්ගේ කවි මුලින් සඟරාවල පළ වූ අතර 1925 දී ඔහු “ජින්දල්ලේකොත්” (අසෙලියා මල්) නමින් කවි එකතුවක් පළ කළේ ය. එය ඔහුගේ පළමු හා එක ම කෘතිය යි. කොරියානු ජන ගායනාවල රිද්මය ඇති සෝවොල්ගේ කවි මහත් ජනාදරයට පත් විය. ඔහුගේ ඒ එක ම කෘතිය අද දකුණු කොරියාවේ ජාතික උරුමයක් ලෙස නම් කෙරී ඇත.

විවාහකයකු වූ සෝවොල් දරුවන් කිහිපදෙනකුගේ පියකු ලෙස ඉතා අමාරුවෙන් පවුල නඩත්තු කරමින් කටුක ජීවිතයක් ගෙවූවෙකි. පවුලේ කරදරත් ආර්ථික අපහසුතාත් නිසා ඔහු පීඩාවට පත් විය. පුවත්පත් කාර්යාලයක් ආරම්භ කළ නමුත් එය ද අසාර්ථක විය. උපාධිය නො ලැබූ සරසවි සිසුවකු ලෙසත් අසාර්ථක ව්‍යාපාරිකයකු හා පුවත්පත් වාර්තාකරුවකු ලෙසත් කනස්සල්ලට පත් ව සිටි සෝවොල් මත්පැන් පානයට පුරුදු විය. ඔහු රුමැටික රෝගයෙන් ද පීඩා වින්දේ ය. මේ සියල්ල නිසා මානසික පීඩාවට පත් සෝවොල් 1934 දෙසැම්බර් 24 වැනි දා සියදිවි නසාගත්තේ ය. සැප්තැම්බර් 07 වැනි දා දකුණු කොරියාවේ “සෝවොල් කවි දිනය” ලෙස නම් කෙරී ඇත්තේ ඔහුට උපහාර පිණිස ය.

● චන්දන ඉලන්දාරිගේ

advertistmentadvertistment
advertistmentadvertistment