මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයත් ග්‍රන්ථ කර්මාන්තයත්, සාහිත්‍ය නිර්මාණකරුවනුත්, වටිනා පොත් පත් ලියමින් සමාජ මෙහෙවරක් කළ සාහිත්‍යධරයනුත් නිහඬ කරමින් මුද්‍රණ කර්මාන්තය කඩා වැටෙමින් පවතින අතර කඩදාසි සඳහා පනවා ඇති බද්ද මෙයට මූලික හේතුව වී ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩන මහතා කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සමිති සංගම් ශාලාවේදී පැවති සියනෑවේ මාධ්‍යවේදියෝ මාධ්‍ය සංගමයේ මංගල සභාව අමතමින් පැවසීය.
මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතයක් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩන මහතා වර්තමානයේ මුද්‍රිත මාධ්‍ය පවත්වාගෙන යන්නේ ඉතාම අසීරු අඩියක බව රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවේ සංවේදී වෙමින් පැවසුවේය. අපේ රටේ මුද්‍රිත මාධ්‍ය කලාව වසර එකසිය ගණනක් පැරණි ඉතිහාසයකට උරුමකම් කියනවා.
අඬබෙර කරුවාගෙන් පස්සෙ රටේ බිහිවුණු බලවත්ම පැරණිම සන්නිවේදන මාධ්‍ය වුණු මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය අද කඩා වැටීමට ලක්වෙලා. ඒකට ප්‍රධානම හේතුව මුද්‍රණ කර්මාන්තය සඳහා යොදාගන්න කඩදාසිවලට අය කරන බදු මුදල් කාලයක පටන්ම ඉහළ දැමීම.
වසර ගණනක පටන් අපි මුහුණ දීලා තියෙන කඩදාසිවලට ගහන බද්ද ගැන පැවති සෑම රජයකටම අපි කිව්වා. කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. එය මෙතෙක් නොවිසඳුණු ගැටලුවක් බවට පත්වෙලා. සෑම වසරකම රාජ්‍ය සාහිත්‍ය උත්සවය මහ ඉහළින් පවත්වනවා. මේ අවස්ථාව නියෝජනය කරන්න එන බලධාරීන් එදාට දහසක් පොරොනඋ්දු දෙනවා. ඇත්තටම මේක මාධ්‍ය සංදර්ශනයක් විතරයි. ඒ අද්විතීය පොරොන්දු එක දවසකට සීමා වෙනවා.
මැතිවරණයකදී එකිනෙකා පරදවමින් රට පුරා පෝස්ටර් බැනර් ප්‍රචාරය කරන්න නම් කඩදාසි එළිදකිනවා. මාධ්‍යකරුවා කියන්නෙ රටේ සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරමින් පවතින ඕනෑම ගැටලුවක් ජනගත කරන්න ඉදිරිපත් වුණු ස්චෙච්ඡාවෙන් නැඟිසිටින රටක සිව්වෙනි බලවේගය.
නමුත් අපි අනුන්ගේ උද්ඝෝෂණ, මාධ්‍යට ගෙනිච්චා මිසක අපි කිසිම දෙයක් ඉල්ලලා උද්ඝෝෂණය කරලා නැහැ.
අපි තවදුරටත් ඉල්ලා සිටින්නේ මුද්‍රණ කර්මාන්තය කඩා වැටීමට ඉඩ නොදී මේ අහස උසට ගිය කඩදාසි බද්දට සහනයක් සලසන ලෙස යැයි නෝමන් පලිහවඩන මහතා පැවසීය.
සියනෑ පුරවරයේ සිටින මාධ්‍යවේදීන් ගේ සුබසාධනය උදෙසා කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සංගමය මූලික වී පිහිටුවූ සියනෑවේ මාධ්‍යවේදියෝ සංගමයට මඟ කියා දුන් කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍යපාද මාකොළ මංගල හිමිපාණන් වහන්සේගේ පාද නමස්කාර කරන බව සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පී. එම්. සේනාරත්න මහතාට ස්තුතිය පුදකරන බවද නෝමන් පලිහවඩන මහතා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට ප්‍රදේශය නියෝජනය කරමින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.
කැලණිය – මංගලා මදුරප්පෙරුම