සියඹලාණ්ඩුවේ සූර්ය බල ව්‍යාපෘතියක ටෙන්ඩර් මගඩියක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

431

සීඅයිඩීයට කිව්වත් විමර්ශනයක් කර නෑ

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සූර්ය බලශක්ති විදුලි බලාගාරයක් සම්බන්ධව ටෙන්ඩර් පටිපාටිය තුළ සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් භාර දී ඇත.

ලාංකික මහජන එකමුතුව සංවිධානයේ කැඳවුම්කරු කේ. එම්. එන්. ප්‍රේමතිලක මහතා විසින් මෙම පැමිණිල්ල පෙරේදා (09දා) අල්ලස් හා දූෂණ කොමිසමට ඉදිරිපත් කරනු ලැබීය. මෙම පැමිණිල්ල මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ද ඉදිරිපත් කර තිබුණු නමුත් කිසිදු පරීක්ෂණයක් සිදු නොවූ බව හෙතෙම පවසයි.

පසුගිය රජය සමයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සෝලා පැනල් සවිකිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් දූෂණ කොමිෂන් සභාවට සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පිරිසක් පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ද හෙතෙම කීය.

පසුගිය ආණ්ඩුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය මගින් මෙගාවොට් 100ක සූර්ය බලශක්ති බලාගාරයක් සියඹලාණ්ඩුව ඇතිමලේ ග්‍රාමයේ පිහිටුවීමට අදාළ ව්‍යාපෘතියට ටෙන්ඩර් කැඳවීමේදී විශාල අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව ඔහු අනාවරණය කළේය. ටෙන්ඩර් පටිපාටියට අනුව මිල ගණන් කැඳවීමේදී අඩු ලන්සුවක් ඉදිරිපත් කළ පාර්ශව නොසලකා වැඩි ලන්සුවක් ඉදිරිපත් කළ පාර්ශවයට ටෙන්ඩරය ප්‍රදානය කළ බවට ලැබුණ තොරතුරු මීට පෙර විදුලි

පාරිභෝගිකයන්ගේ සංසදය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. එහිදී අදාළ කරුණ පිළිබඳ විමර්ශනයට දේශපාලන බලපෑම් කරනු ලැබුවේ නම් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමටත් නව ආණ්ඩුව යටතේ පෙර සිදුවූ අක්‍රමිකතා සහ එම විමර්ශනවලදී අනාවරණය වන චුදිතයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමටත් උත්සුක වන්නේ නම් එය රටේ ජනතාවට යහපතක් බව ද ඔහු කීය.

මෙවැනි අක්‍රමවත් ටෙන්ඩර් පටිපාටි මත පෙර ආණ්ඩුවේ බලධාරීන් අයථා ලාභයක් නොලැබුවේ නම් වැඩි ලන්සුවට ටෙන්ඩරය ඉදිරිපත් කළේ කුමන හේතු මත ද යන්නත් මෙකී තත්ත්වය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා කිරීමත් නිසා එකී ප්‍රශ්නය පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බවත් හෙතෙම කීය.

මෙම ප්‍රශ්නය නිසා වගා භූමි ලෙස හඳුනාගත් ප්‍රදේශ අහිමි වීමෙන් ගොවිජනතාව දැඩි අපහසුතාවට පත්වීමත් මෙවැනි ව්‍යාපෘති සඳහා භූමිය වෙන් කිරීමේදී පරිභෝජනයට අවශ්‍ය භූමිය යෙදවීම නිසා ගොවීන්ට අවශ්‍ය වගා භූමි අහිමි වීම යන කාරණය පිළිබඳවත් රජය ඉතා ඉහළ අවධානයක් යොමු කළ යුතු බව ද ලාංකික මහජන එකමුතුව සංවිධානයේ කැඳවුම්කරු කේ.එම්.එන්. ප්‍රේමතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment