මෙත්තා – කරුණා – මුදිතා – උපේක්ඛා
මා පොළඹවනු ලැබූ ජීවිත දර්ශනයයි
දිවංගත ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන්ගේ අවසන් කටයුතු අද සවස රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරේ. මේ ලිපිය අප උපුටාගත්තේ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර ගුණදාස ලියනගේ සූරීන් ලියන ලද දෙල්ගහයට ගෙදර විප්ලවය‘ ග්‍රන්ථයෙනි.
ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන්ට රැමන් මැග්සයිසෙ ත්‍යාගය හිමිවූයේ ප්‍රජානායකත්වය සඳහාය. ශ්‍රී ලංකාවේ ප්‍රජා සංවර්ධනය උදෙසා ඔහුගෙන් කෙරුණු විශිෂ්ට සේවය සලකා බලා මෙම තෑග්ග පිරිනැමීමට තීරණය කර තිබුණි.
රැමන් මැග්සයිසෙ වනාහි 1953 වර්ෂයේදී පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වූ පුද්ගලයාය. පොදු ජනතාව අතරින් මතුවී ආ නායකයෙකු හැටියට සලකනු ලැබූ මැග්සයිසෙ දුප්පත් අසරණ ජනයා කෙරෙහි ලොකු අනුකම්පාවකින් කටයුතු කළේය. බොහෝ විට අසරණ මිනිසුන්ගේ දුක් ගැනවිලි ගැන පෞද්ගලිකවම සොයා බලා උපකාර කිරීම ඔහුගේ සිරිත විය.
මැග්සයිසෙගේ අරමුණ වූයේ සිය රටේ ජනතාවගේ තත්ත්වය නඟාලීමය. ඒ උතුම් පරමාර්ථය ඉටුකර ගැනීම පිණිස ඔහු නිශ්සරණාධ්‍යාෂයෙන්ම කැපවී කටයුතු කළේය. රජයක් සතුටුදායක ලෙස පවත්වාගෙන යෑමට නම් අවංක සේවයක යෙදෙන අතර රජය තුළින් ජනතාවගේ අපේක්ෂාවන් පිළිබිඹු විය යුතු බව ඔහු අවබෝධ කරගෙන සිටියේය.
1957 අවුරුද්දේ දිනක පිලිපීනයේ රාජ්‍යයේ එක් දූපතක සිට තවත් දූපතක් කරා ගුවනින් ගමන් කරමින් සිටියදී සිදුවූ හදිසි අනතුරකින් මැග්සයිසෙ මරුමුවට පත් විය. තමාම ගුවන්යානය පදවාගෙන ඔහු ඒ ගමන යමින් සිටියේ ද අසරණ මිනිසුන්ගේ ප්‍රශ්නයක් ගැන සොයා බැලීම පිණිසය. මැග්සයිසෙගේ අභාවයෙන් පසු ඔහු සිහිවීම පිනිස පිලිපීන් ජනතාව විසින් තෑගි පදනමක් පිහිටුවා ගන්නා ලදී. මේ අනුව අවුරුදු පතා අංශ පහක් වෙනුවෙන් තෑගි පහක් පිරිනමනු ලැබේ.
1969 අවුරුද්දේදී ප්‍රජා නායකත්වය පිළිබඳ ත්‍යාගය ශ්‍රී ලංකාවේ ඒ.ටී. ආරියරත්නට ද, රජයේ සේවය පිළිබඳ ත්‍යාගය චීන ජාතික ෂූ ශී චූට ද අන්තර්ජාතික අවබෝධය පිළිබඳ ත්‍යාගය අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයට ද පුවත්පත් කලාව, සාහිත්‍යය සහ නිර්මාණාත්මක සංනිවේදන කලා පිළිබඳ ත්‍යාගය ජපන් ජාතික මිතෝජි නිෂිමෝට ද, පොදු සේවය පිළිබඳ ත්‍යාගය කොරියන් ජාතික කිම් යුං සියෝට ද හිමි විය.
මැග්සයිසෙ ත්‍යාගය පිරිනැමීම නිමිත්තෙන් 1969 අගෝස්තු 31 වෙනිදා පිලිපීනයේ මැනිලා නුවර විශාල උත්සවයක් පැවැත් වුණි. ආරියරත්න සිය බිරිය නීතාත් සමග එම උත්සවයට සහභාගි විය. මේ ලෝකයෙන් මිලට ගත හැකි ඉහළම තත්ත්වයේ වයිවාරන ඇඳුම් කට්ටලවලින් සැරසුණු විශේෂ අමුත්තන් අතරට ආරියරත්න ගියේ සුදු සරමත් බැනියමත් ඇඳ සෙරෙප්පු දෙකකින් පමණක් සැරසීගෙනය. ලෝකයේ රූපවාහිනී වාර්තාකරුවන්ගේ පමණක් නොව පුවත්පත් වාර්තාකරුවන්ගේ ද කැමරා වැඩිපුරම එල්ල වූයේ මේ චාම් පොඩි මිනිසා වෙතටය.
පිලිපීනයේ ජීවත්වන ලාංකිකයෝ ගණනාවක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයට සහභාගි වූහ. එයින් වැඩි දෙනෙකු ආරියරත්න දෙස බැලුවේ අමුතුම ආකල්පයක් සිත් තුළ ඇතිවය. මේ මිනිහට මේ තෑග්ග ලැබෙන්න ඇත්තෙ වැරදීමකින් වෙන්න ඕනෑ. නැත්නම් මේ තරම් ලොකු තෑග්ගක් ලබන්න තරම් දෙයක් මෙයා කරල තියෙනවද? ඒක ලැබුණත් වෙලා ගොඩේ අයිය වගේ නැතුව තැනකට එනකොට හරියට ඇඳුමක්වත් ඇඳගෙන එන්න ඕනෑ නේද? යනාදි සිතුවිලි ලාංකිකයන්ගේ බැලුම්වලිනුත් කතාවලිනුත් පිළිබිඹු වූ බව ආරියරත්න තේරුම් ගත්තේය. එවකට තානාපති සේවයේ යෙදීසිටි එක් ලංකිකයෙක් ඉතාමත් අනුකම්පා සහගත ස්වරයකින් කතාකරමින් ‘මිස්ටර් ආරියරත්න දන්නව ඇතිනේ මේක අන්තර්ජාතික කටයුත්තක්. ඒක නිසා ලංකාවේ ගෞරවය රැකෙන අන්දමින් බොහොම පරිස්සමෙන් වැඩ කරගන්න ඕනෑ. මිස්ටර් ආරියරත්න මෙතෙන් දී කරන්න යන කතාවෙ පිටපත මට ටික්ක බලන්න පුළුවන් ද?”යි ඇසීය.
නිලධාරියා ආරියරත්න කෙරෙහි අනුකම්පාවක් දක්වා කතා කළත් ඇත්ත වශයෙන්ම ආරියරත්නගේ සිත තුළ ඒ නිලධාරියා කෙරෙහි අනුකම්පාවක් හට ගත්තේය. අධිරාජ්‍යවාදී ආකල්පයෙනුත් ගතානුගතික ගැතිබවිනුත් වෙලනු ලැබූ එම නිලධාරියා නියම වහල් හැඟීම්වලින් මෙහෙයවනු ලබන්නෙකු බව තේරුම් ගත් ආරියරත්න අනුකම්පා සහගත වූවත් තරමක දැඩි ස්වරයකින් කතා කළේය.
“ මොනවට ද මිස්ටර් කතාවක් කරන්න පිටපතක්. පිටපතක් ලියාගන්න ඕනෑ අදහස් නැති මිනිහෙක්. මට ඒ වෙලාවට හිතට එන අදහස් මම කතා කරන්නම්”යි ආරියරත්න කීවේය. නිලධාරියා අනේ මන්ද” හැඟීමෙන් යුතුව නිහඬ විය.
මැනිලානුවර පිලෙම් ලයිප් ඔඩිටෝරියම් ශාලාවේ අසුන් ගත් 3000කට අධික ජනකාය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ඒ.ටී. ආරියරත්නට කතා කිරීමට අවස්ථාව එළඹියේය. රූපවාහිනි කැමරා, චිත්‍රපටි කැමරා, පුවත්පත් කැමරා, විදුලි අලෝකධාරා ආරියරත්න වෙත යොමුවෙද්දී අත්පොළසන් හඬ මුළු ශාලාව ගුම් ගන්වමින් පැතිරෙන්නට විය. ආරියරත්න වේදිකාව මත නැඟී සිටියේය. තැනට ගැලපෙන ඇඳුමක්වත් ඇඳගෙන නොයෑම ගැන අපේ ඇත්තන්ට තවත් වරක් ලැජ්ජාවක් ඇතිවන්නට ඇත. ඉංගිරිසි වරද්දාවි දැයි චකිතයක් ද ඇතිවන්නට ඇත. ආරියරත්න තමාට නියමිත විනාඩි පහේ කතාව ආරම්භ කළේය. ඔහුගේ කටින් වචන ගලා ආවේ නිරායාසනෙි. මුළුමහත් ශාලාවම වශී කරවමින් පැතුරුණු ආරියරත්නගේ කටහඬ නතරවත්ම යළිත් වරක් අත්පොළසන් නාදය ශාලාව දෙදරවන්නට විය. ඒ අත්පොළසන් හඬ නතර කර ගත හැකි වූයේ ඔහු කීපවරක් අතින් සංඥා කිරීමෙන් පසුව පමණකි.
රැමන් මැග්සයිසෙ ත්‍යාගය පිරිනැමීමේ උත්සවයේදී ආරියරත්න කළ ඒ ඓතිහාසික කතාව පහතින් අපි පළ කරමි.
“මෙම ඓතිහාසික මොහොතෙහි ඔබ විසින් පිරිනමන ලද ශ්‍රේෂ්ඨ තිළිණය පිළිගනිමින් මෙම කෙටි වදන් කිහිපය මා පවසන්නේ ඉමහත් නිහතමානි බවකින් හා මිනිස් සේවය කෙරෙහි ඇති වූ නව විශ්වාසයකින් යුතුවය. මෙම ගෞරවය ඔබ විසින් මගේ මව්බිමට පිරිනැමුණු ගෞරවයක් ලෙස ද ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ අහිංසක සේවකයන් වෙත පිරිනැමුනු ගෞරවයක් ලෙස ද ඒ සියල්ලටම වඩා අපේ දයාවේ හා සේවයේ පණිවුඩය පිළිගෙන සර්වෝදය මගට පිළිපන් සාමාන්‍ය ජනතාවට පිරිනමන ලද ගෞරවයක් ලෙස ද මම සලකමි. සාමාන්‍ය මිනිසාගේ විමුක්තිය සඳහා ජීවත්වෙමින් ඒ සඳහාම යෙදෙමින් සිටියදී හදිසියේ මියගිය ඔබගේ ශ්‍රේෂ්ඨ නායකයා වූ ජනාධිපති රැමන් මැග්සයිසෙ තුමාගේ ජීවිතයෙන් බිඳක් අප රටේ සාමාන්‍ය මිනිසුන්ට කියාදීමට රැමන් මැග්සයිසෙ සම්මාන පදනමට අතදීම සඳහා දෛවය විසින් ලබාදුන් මාධ්‍යයක් හැටියට මම මේ ත්‍යාගය සලකමි.
“රැමන් මැග්සයිසෙ තුමා වැනි ශ්‍රේෂ්ඨ මිනිස්සු එක් රටකට හෝ එක් යුගයකට හෝ එක් පරම්පරාවකට හෝ අයිතිවූවෝ නොවෙත්. ඔවුහූ අන්ධකාරය අතරට විටින් විට වැටෙන ක්ෂණික විදුලිය මෙන් හිටිහැටියේ පෙනී මග පෙන්වා නොපෙනී යන සමාජ බලවේගයෝ වෙත්. ඔවුහූ මුළු විශ්වයටම අයත් වන අතර කාලය පිළිබඳ සම්මතයන් අභිබවා සිටිත් “රූපං ජීරති මච්ජානං” – නාම ගොත්තං නජීරති” යනු මගේ ශාස්තෘ බුදුරජාණන් වහන්සේගේ වචන කිහිපයකි. අපේ රූපය දිරා යන අතර අපේ සිතිවිලි වදන් හා ක්‍රියා අපේ භෞතික ශේෂයන් නැති වී බොහෝ කලක් යන තුරු පවතී.
“මිනිසෙකුගේ නියම ශ්‍රේෂ්ඨත්වය මැනිය හැක්කේ ඔහුගේ මරණින් පසු ඔහුගේ සහෝදර ජනතාව ඔහු කෙරෙහි දිගටම පවත්වා ගෙන යන ගෞරව භක්තිය අනුවය. මේ අන්දමින් ගෞරව ලැබීමට නාමයක් ඉතිරිකර ගිය ඔහුගේ ජීවය දේවත්වයට පත් වූවාට සැකයක් නැත. අපේ සහෝදර ජනතාවට – වෙසෙසින් සමාජයේ අන්ත දූගී දුප්පත් තත්ත්වයට පත්ව සිටින අපේ සහෝදර ජනතාවට සේවයට කිරීමට අප ගන්නා ව්‍යායාමයන්ට ඔහුගේ ආශිර්වාදය ලැබෙනු නියතය.
“සමාජ නායකත්වය සඳහා පිරිනැමෙන මේ සම්මානයට ඔබ විසින් මා තෝරාගෙන ඇත්තේ මාගේ බාහිර හැසිරීම් රටාව ගැන විනිශ්චය කිරීමෙන් පසුව යැයි හැඟෙිමි. එම නිසා මේ සම්භාවනීය සභාව ඉදිරියෙහි මගේ බාහිර හැසිරීම් රටාවට මා පොළඹවුණු මගේ අභ්‍යන්තරික සිතිවිලි කීපයක් ඔබ ඉදිරියෙහි තැබීම මගේ යුතුකමක් හැටියට සලකමි.
“මා ඉපදුනු හැදුනු වැඩුණු සංස්කෘතියේ සමහර සිතිවිලි මා කෙරෙහි තදින් බලපෑවේය. සමහර විට එම සංස්කෘතිය විසින්ම මේ ශ්‍රේෂ්ඨ සිතිවිලි ක්‍රියාවට පරිවර්තනය කිරීම ඊළඟ ආත්මයට කල් තැබූ බව ද සත්‍යයකි. ‘සියලු සත්ත්වයෝ සැපවත් වෙත්වා’ පිතෝ භවතු ලෝකෝච’ යන පාඨයට මා ඇදී ගිය එක් සිතිවිල්ලකි. වැඩි දෙනාගේ වැඩි යහපත සැලසීම යන සිතිවිල්ල මගේ ජීවිතයට තදින්ම කා වැදුනකි. සියලු දෙනාගේම සම්පූර්ණ යහපත යන අදහස මහත්මා ගාන්ධි තුමා සහ ආචාර්ය විනෝඛා හාවේ තුමා විසින් සර්වෝදය යන වචනයෙන් ප්‍රචලිත කෙරුණි.
සමාජයේ සියල්ලන් අවදි කිරීමට පළමු අපි අවදි විය යුතු වෙමු. මිනිසුන් හැටියට අරමුණු කරගත යුතු ශ්‍රේෂ්ඨ ඉලක්ක හතරක් මා ඉපදුණු බෞද්ධ සංස්කෘතිය විසින් මට පෙන්වා දී තිබුණි. මෙත්තා හෙවත් මෛත්‍රිය ඉන් පළමු වැන්නය. මවක් තමාගේ එකම දරුවාට තම දිවිය වුවද පුදා ආදරය කොට රැකගන්නේ යම් සේද එසේම සියලු සත්ත්වයන් කෙරෙහි දයාවත් ආරක්ෂාවත් සැලසීම අපේ පළමු අරමුණ විය යුතුය. කරුණාව දෙවැන්නයි. දුකින් පෙළෙන්නවුන් සොයාගොස් ඔවුන්ගේ එම දුකට මුල්වුණු හේතූන් ඉවත් කිරීමට කැපවීම යනු මෙහි අදහසයි. අනුන්ගේ සතුටෙන් නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳීමට පුරුදුවීම අපට පෙන්වා ඇති මුදිතා නම් වූ තෙවැනි ඉලක්කයයි. කීර්තිය හෝ අපහාසය, ලාභය හෝ අලාභය, දිනුම හෝ පැරදුම, සැප හා දුක, සෑහෙන නො ඇලීමකින් සහ ඉවසීමෙන් යුතුව පිළිගැනීමට හැකිවන සේ අපේ හැඟීම් සමබරව පාලනය කරගැනීම හෙවත් උපේක්ඛාව අපට පෙන්වා ඇති සතර වැනි අරමුණයි. මේ ලක්ෂණ හතරෙහි යම් මිනිසෙකු පිහිටියේ ද ඔහු දේවත්වයට පත් වූවකු ලෙස සැලකෙන නිසා මේවාට අපි සතර බ්‍රහ්ම විහරණයයි කියමු. ගෞරව කළ යුතු යැයි ඔබ විසින් තීරණය කෙරුණු මෙම සේවයට මා පොළඹවනු ලැබුවේ මේ ජීවිත දර්ශනයයි.
“මේවා නව විද්‍යාත්මක හා කාර්මික ලෝකයට නොගැළපෙන, පුරුදු කළ නොහැකි හිස් අදහස් නොවේ. නවතාවය තීරණය වන්නේ කාලය විසින් නොවේ. ජීවිතය දෙස සහ ජීවත්වීම දෙස අප විසින් බලන අන්දම අනුවය. නවතාවය තීරණය වන්නේ අපේ සමාජයේ සංස්කෘතිය, නිදහස හා මානව ගෞරවය රැඳී ඇති පදනම වූ අපේ ගැමි පරිසරයේ සෑහෙන ප්‍රගතිශීලී වෙනස්කම් ඇති කිරීම සඳහා අප විසින් මේ අදහස ප්‍රායෝගික වශයෙන් අත්හදා බැලුවෙමු. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගිය යුත්තේ සාමාන්‍ය ජනතාවගේ සිට බව ප්‍රකාශ කළේ ඔබගේ මේ ශ්‍රේෂ්ඨ ජාතික නායකයාණෝ නොවේද?
මේ සිතිවිල්ල ක්‍රියාවට නැගීමට අප යොදාගත් ක්‍රියාමාර්ගය නම් සහෝදර ජනතාව සමග තමාගේ කාලය, සිතිවිලි සහ කාය ශක්තිය බෙදාගැනීමට කැමැත්තන් වෙත ආයාචනා කිරීමයි. අපි මෙය ශ්‍රමදානයයි නම් කෙළෙමු. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යන බෞද්ධ සමාජ ලක්ෂණ ශ්‍රමදාන සේවයේ අනිවාර්යය ලක්ෂණ වේ. මෙම අදහස, ක්‍රියාමාර්ගය, අපේ ශක්ති ප්‍රමාණය අනුව ඉවහල්කර ගනිමින් ශක්තිමත් ආධ්‍යාත්මික හා භෞතික පදනමකින් යුතු නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අපි වෙහෙසෙමු. නැවත වරක් ධර්මය රජයන ධර්මද්වීපය යන නමට සුදුසු දිවයිනක් බවට අපේ ජන්ම භූමිය විද්‍යාවේත් අපේ අතිත ආධ්‍යාත්මික උරුමයේත් සම්මිශ්‍රණයෙන් ගොඩනැංවීමට අපි වෙහෙසෙමු. ඔබගේ ශ්‍රේෂ්ඨ නායකයාගේ නාමයෙන් මා දිවුරුම් දී ප්‍රකාශ කර සිටින්නේ ඔබ විසින් පිරිනමන ලද ගෞරවයේ හැම බිඳක්මත් ඔබ විසින් ප්‍රදානය කරන ලද මුදල් ත්‍යාගයේ හැම සතයක්මත් මගේ පෞද්ගලික කීර්තිය හෝ ලාභය සඳහා හෝ නොව මගේ මව්බිමේ ධර්මද්වීපයක් ගොඩනැංවීමේ අරමුණ සඳහා කැප කරන බවයි. අපේ සැබෑ ස්වභාවය අපට සොයාගත හැක්කේ අපේ ආත්මීය හැඟීම් අප තුළින් තුරන් කළ පමණට යැයි ඔබේ නායකයා විශ්වාස කළ පමණටම මමත් විශ්වාස කරමි. කුමක් සඳහාද ආත්මහරණය කළ යුත්තේ? මිනිස් වර්ගයාගේ සියලුම දුකට මුල් වූ හේතූන් වන ලෝභය, මෝහය සහ ද්වේෂය සහමුලින් තුරන් කිරීමට සම්පූර්ණයෙන් කැපවීම සඳහාය.
මැග්සයිසෙ ත්‍යාගය හැටියට ආරියරත්නට ඩොලර් දස දහසක මුදලක් ලැබුනේය. (ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයකට කිට්ටුය) දසකයක කාලයක් තිස්සේ දස දුක් විඳිමින් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය වෙනුවෙන් කැපවී සිටි ඔහුට එතෙක් කලක් ලැබුනේ ඇනුම් බැණුම් හා එරවිලි ගෙරවිලි පමණකි.
ඔහුගෙන් සිදුවුණු අපරිමිත සේවයට ගරු කිරීම පසෙක තිබියදී අඩු ගණනේ ඔහුගෙන් සේවයක් සිදු වූ බවට හරිහැටි පිළිගැනීමක් පවා එතෙක් සිදු වී නොතිබුණි. ඔහුගේ සේවය පිළිගෙන ඊට උපහාරයක් කෙරුණු මුල්ම අවස්ථාව එය විය.
කොළඹ අරලියගහ මන්දිරයේදී එවකට සිටි අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඩොලර් දසදහසේ චෙක්පත පරිත්‍යාග කළ ආරියරත්න ආර්ථික, දේශපාලන සහ පරිපාලන ග්‍රහණයෙන් පොදු ජනතාව බේරාගැනීම සඳහා මේ රටේ මූලික විප්ලවයක් ඇරඹීම පිනිස එම මුළු මුදල යොදවන ලෙස ඉල්ලීමක් කළේය. එම අරමුණ ඉටුකර ගැනීමට සමත් එකම සංවිධානය සර්වෝදය නිසා මුළු මුදලම සර්වෝදය අරමුදලට යෙදවීම පිනිස සේනානායක මහතා විසින් භාරදෙන ලදී.