සියවසක සටහන් – නායකයා ඉදිරියට

70

52 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතුවෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ පක්‍ෂ නායකත්වයට මා ඕ ත්ස-තුං පත් වූ ආකාරය ගැනයි.

කොමියනිස්ට් ජාත්‍යන්තරයෙන් ලබාගත්ත අනුමැතියේ හැටියට රතු හමුදාව ගමන්කරන්න ඕන හූ-නන් පළාතේ බටහිර මායිමේ උතුරු පැත්තේ හදලා තියෙන මූල කඳවුරට. ඒ විදිහට හ-ලූංගේ 2 වැනි සේනාවත් රන් පී-ෂිගේ 6 වැනි සේනාවත් එක්ක එකතුවීමෙන් හමුදාවේ ශක්තිය වැඩිකරගන්න පුළුවන්. මේ යන ගමන ගැන චියං කායි-ෂෙක් දැනගෙන හිටියා. ඉතින් ඒ යන පාර මැද්දේ උගුලක් ඇටෙව්වොත් රතු හමුදාව කොටු කරගෙන මුළුමනින්ම විනාශ කරලා දාන්න පුළුවන්. රතු හමුදාවේ

ගමන සිද්දවෙන්නේ හූ-නන් පළාතේ බටහිර මායිම දිගේ උතුරට. ඉතින් ශියං ගෙඟ් සටනින් පස්සේ චියං කායි-ෂෙක් කළේ තමන්ගේ හමුදා හු-නන් බටහිර ප‍්‍රදේශයේ ඡියැන්-යං සහ හුං-චියං ප‍්‍රදේශවල රඳවන එක. මේ විදිහට උගුල අටවපු චියං කායි-ෂෙක් ගොදුර ළඟට එන කල් බලාගෙන හිටියා.

මේ වෙද්දි පා ගමනේ යෙදෙන රතු හමුදාව ළඟාවෙලා හිටියේ හු-නන් පළාතේ දකුණු මායිමේ බටහිර කෙළවරේ පිහිටි තුං-තා ඕ කෝරළයට. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උපදෙස්වල හැටියට රතු හමුදාව මෙතැනින් උතුරට හැරෙන්න ඕන. ඒත් ඒ පාර දිගේ කිලෝ මීටර් 100 ක් 120 ක් යද්දි රතු හමුදාව ඇතුළුවෙන්නේ චියං කායි-ෂෙක් විසින් අටවලා තියෙන උගුල ඇතුළට. ඒ හින්දා මේ ගමන නොයා යුතු බව 1934 දෙසැම්බර් 12 වැනිදා පවත්වපු තුං-තා ඕ රැස්වීමේ දී මා ඕ ත්ස-තුං අවධාරණය කළා.

දේශපාලන සහ හමුදා තීරණගන්න රැස්වීමකට මා ඕ ත්ස-තුං කැඳෙව්වේ අවුරුදු දෙකකට පස්සේ. 1931 නොවැම්බර් 7 වැනිදා සෝවියට් ජනරජය පිහිටුවලා ඒ ජනරජයේ නාමික නායකත්වය මා ඕ ත්ස-තුංට පවරපු වං මිංගේ පාර්ශ්වය පක්‍ෂය ඇතුළේ බලවත් වුණා. එතැනින් නවතින්නේ නැතුව, 1932 ඔක්තෝබර් මුල පවත්වපු නිං-තු සම්මේලනයේ දී මා ඕ ත්ස-තුංව මුළුමනින්ම අක‍්‍රීයකරන්නත් ඒ අය කටයුතු කළා. (මේ ලිපි මාලාවේ 44 වැනි කොටස බලන්න). ඒත් ඇතිවෙලා තියෙන විනාශය මැද්දේ තවදුරටත් එහෙම කරන එක වැරැදියි කියලා බහුතරයකට තේරුණා. ඉතින් විනාශයේ එළිපත්තටම ඇවිල්ලා ඉන්න ඒ අවස්ථාවේ කළ යුතු දේ තීරණය කරන්න මා ඕ ත්ස-තුං ඉදිරිපත්වෙන්න ඕන කියලයි ඒ අය කිව්වේ.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උපදෙස් පරිදි රතු හමුදාව ගමන්කරන්න ඕන උතුරට බව පෝ කු සහ ඔටූ බ‍්‍රවුන් (ලී ත) අවධාරණය කළා. ඒත් චියං කායි-ෂෙක් අටවලා තියෙන උගුල මැද්දට දැන දැනම යන්නේ කොහොම ද කියලා මා ඕ ත්ස-තුං ප‍්‍රශ්න කළා. තවදුරටත් බටහිරට ගමන් කරලා කුයි-චෝ පළාතට ඇතුළුවෙන්න ඕන බවයි ඔහු කිව්වේ. කුයි-චෝ කියන්නේ කඳුකර, ඉතා දුෂ්කර ප‍්‍රදේශයක්. ඒ වගේම, ඒක ආර්ථික වශයෙන් පොහොසත් පළාතකුත් නෙවෙයි. කුයි-චෝ පළාත පාලනය කළේ වං චියා-ලියේ කියන හමුදා ලොක්කා. ඔහුගේ හමුදාවත් එච්චර ශක්තිමත් නෑ. චියං කායි-ෂෙක් තමන්ගේ පළාත අල්ලගනියි කියන බයත් ඔහුට තිබුණා. මේ හැම සාධකයක්ම පෙන්නපු මා ඕ ත්ස-තුං තවදුරටත් බටහිර පැත්තට ගිහිල්ලා කුයි-චෝ පළාතට ඇතුළුවිය යුතුයි කියන අදහස තහවුරු කළා.

තුං-තා ඕ රැස්වීමට සහභාගි වුණු බහුතරයක් මා ඕ ත්ස-තුංගේ අදහස පිළිගත්තා. ඔටූ බ‍්‍රවුන් (ලී ත) සහ පෝ කු කියන විදිහට උතුරට ගිහිල්ලා මාරයාගේ කටට පනින අදහසට කවුරුවත් එකඟවුණේ නෑ. ඒත් මේ අදහස කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ නිර්දේශයට පටහැනියි. ඒත් ඒ වෙද්දි කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උපදෙස් ගන්න විදිහක් තිබුණේ නෑ. ෂං-හයි නගරයේ තිබුණු විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන ඔක්තෝබර් 10 වැනිදා හතුරා විසින් අල්ලගත්තා. ඒත් එක්කම පක්‍ෂයට කොමියුනිස්ට් ජාත්‍යන්තරයත් එක්ක සන්නිවේදනය කරන්න මාර්ගයක් නැතිවුණා. ඇතිවෙලා තිබුණු වාතාවරණය ඇතුළේ වෙනත් විකල්පයක් නැති බවත් රතු හමුදාව බටහිරට ගමන් කළ යුතු බවත් ඒ රැස්වීමේ දී තීරණය කෙරුණා.

කලින් දවසේ තමන් ගත්ත ස්වාධීන තීරණය මත පදනම්වෙලා 1934 දෙසැම්බර් 13 වැනිදා රතු හමුදාව කුයි-චෝ පළාතට පිවිසීම ආරම්භ කළා. ඒත් ඔටූ බ‍්‍රවුන් (ලී ත), පෝ කු සහ තවත් නායකයන් කීපදෙනෙක් මේ වෙනස ගැන කැමැත්තෙන් හිටියේ නෑ. පොදු නිෂ්පාදන පක්‍ෂය කියන්නේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ශාඛාවක්. කොමියුනිස්ට් ජාත්‍යන්තරය ලබාදීපු උපදෙස් නොකතා වැඩකරන්නේ කොහොම ද? ඒ අය දිගින් දිගටම තමන්ගේ විරෝධය පළකරන්න පටන්ගත්තා. ඉතින් මේ ආරවුල විසඳගන්නත් මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ රැස්වීමක් කැඳවන්න සිද්දවුණා.

සියවසක සටහන් - නායකයා ඉදිරියට
ගමනේ සිතියම

1934 දෙසැම්බර් 18 වැනිදා ඒ රැස්වීම පැවැත්තුවේ කුයි-චෝ පළාතට අයිති ලී-පිං නගරයේ දී. චෝ අන්-ලයිගේ ප‍්‍රධානත්වයෙන් පවත්වපු ඒ රැස්වීමේ දී පෝ කු ඇතුළු පිරිස නැවතත් අවධාරණය කළේ මුලින් තීරණය කරලා තිබුණු විදිහට 2 වැනි සහ 6 වැනි සේනාත් එක්ක එකතුවෙන්න රතු හමුදාව යන්න ඕන කියලා. ඒත් මේ අදහස ප‍්‍රායෝගික නැති බව මා ඕ ත්ස-තුං පෙන්නලා දුන්නා. රතු හමුදාවේ ගමනාන්තය විය යුත්තේ කුයි-චෝ පළාතේ ත්සුන්-යී නගරය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශය බව ඔහු කිව්වා. ත්සුන්-යී නගරය කේන්ද්‍ර කරගෙන අලූත් මූල කඳවුරක් හදන්න පුළුවන් බවත් ඔහු පැහැදිළි කළා.

දීර්ඝ විවාදයකින් පස්සේ දේශපාලන මණ්ඩලය විසින් මා ඕ ත්ස-තුංගේ යෝජනාව අනුමත කළා. 2 වැනි සහ 6 වැනි සේනා එක්ක එකතුවෙන්න ඇරගෙන තිබුණු මූලික තීන්දුව අවලංගු කරන්නත් දේශපාලන මණ්ඩලය ක‍්‍රියාකළා. ඒ වගේ ම, ලී-පිං රැස්වීමේ තීරණ තහවුරු කිරීම සඳහාත්, කු ඕ-මින්-තං හමුදා ක‍්‍රියාත්මක කරපු පස්වැනි වටලෑමේ දී රතු හමුදාව පැත්තෙන් සිදු වූ වැරැදි විමසීම සඳහාත් දේශපාලන සහ හමුදා නායකයන් සහභාගිවෙන පුළුල් රැස්වීමක් ත්සුන්-යී නගරයේ දී පවත්වන්න ඕන කියලත් දේශපාලන මණ්ඩලය තීන්දු කළා.

මේ තීන්දුවෙන් පස්සේ රතු හමුදාව ඉදිරියට ගියේ මා ඕ ත්ස-තුං ලබාදීපු උපදෙස් පිළිගනිමින්. චියං-ශි සෝවියට් ප‍්‍රදේශය අත්හැරලා ආපු ගමනේ දී රතු හමුදාව එක දිගටම ක‍්‍රියාකළේ ආරක්‍ෂාවීමේ ප‍්‍රතිපත්තියක. ඒත් මා ඕ ත්ස-තුං ලබාදීපු උපදෙස් පිළිඇරගෙන හුදෙක් ආරක්‍ෂාවීමේ පිළිවෙතින් ඉවත්වෙලා පහරදෙන්නා බවට පත්වෙන්නත් රතු හමුදාවට පුළුවන් වුණා. ඉතින් ඉතාමත් ඉක්මනින් කුයි-චෝ පළාතේ ගිනිකොනදිග ප‍්‍රදේශයේ කෝරළ ගණනාවක බලය අල්ලගන්න රතු හමුදාවට පුළුවන් වුණා.

1934 දෙසැම්බර් 31 වැනිදා නායකයන් ගමන්කරපු ප‍්‍රධාන සේනාව වං-අන් කෝරළයේ වඳුරු වෙළෙඳපොළ නමින් හැඳින්වෙන ස්ථානයට පැමිණියා. (පැරැණි ලිත් ක‍්‍රමයේ හැටියට මෙම ස්ථානයේ තිබුණු වෙළෙඳපොළේ ව්‍යාපාරික කටයුතු කෙරෙන්නේ වඳුරා නමින් නම් කරපු දවස්වල. ඉතින් මේ වෙළෙඳපොළට වඳුරාගේ නම ලැබෙන්න හේතුවුණේ ඒ කාරණය). ත්සුන්-යී ප‍්‍රදේශයට හමුදා මෙහෙයවීමේ අවසාන තීරණය ගත්තේ මෙම ස්ථානයේ පවත්වපු රැස්වීමේ දී. 1935 ජනවාරි 1 වැනිදා මේ තීන්දුව ගත්ත නායක හමුව පක්‍ෂ ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ ”වඳුරුපොළේ රැස්වීම’’ කියන නමින්.

ත්සුන්-යී ප‍්‍රදේශයට යන්න නම් වූ ගෙඟන් එතෙරවෙන්න ඕන. මේ එතෙරවීමේ සටන මෙහෙයවීමේ වගකීම පැවරුවේ ලියු පෝ-ඡුං සෙනෙවියාට. (මේ ලිපි මාලාවේ 49 වැනි කොටසින් ඔහු ගැන කියලා තියෙනවා). ”වඳුරුපොළේ රැස්වීම’’ පවත්වපු දාට පහුවදාම ඒ මෙහෙයුම ආරම්භ වුණා. ඉතාමත් උපක‍්‍රමශීලී විදිහට සටන්කරපු රතු හමුදාව ඉතා පහසුවෙන් වං චියා-ලියේගේ හමුදා පැරැද්දුවා. ඉතින් 1935 ජනවාරි 2 වැනිදා සහ 6 වැනිදා අතර කාලයේ දී ස්ථාන තුනකින් වූ ගංගාව තරණය කරන්න රතු හමුදාවේ සියලූම සේනාවලට පුළුවන් වුණා. පෙරමුණේ ගිය සේනා ජනවාරි 7 වැනිදා උදෑසන ත්සුන්-යී නගරයට ඇතුළුවුණා.

රතු හමුදාව විසින් ත්සුන්-යී නගරය වටේ තියෙන කෝරළ හතක බලය තහවුරු කරගත්තා. මේ හැම දෙයක්ම ඉතා ඉක්මනින් සිද්දවෙච්ච හින්දා හතුරාට සූදානම්වෙන්න අවස්ථාවක්වත් ලැබුණේ නෑ. චියං කායි-ෂෙක් දිගටම හිතුවේ රතු හමුදාව කුයි-චෝ පළාතට ඇතුළුවුණේ තමන්ව රවට්ටන්න කියලා. ඉතින් ඔහු තවදුරටත් තමන්ගේ හමුදා හූ-නන් පළාතේ බටහිර මායිමේ රඳවාගෙන හිටියා. ඒත් නොහිතපු දෙයක් සිද්දවුණු බව ඔහුට තේරුණේ රතු හමුදාව ත්සුන්-යී නගරයටත් ඇතුළු වුණාට පස්සේ.

කු ඕ-මින්-තං හමුදා හූ-නන් බටහිර ප‍්‍රදේශයේ රැඳීසිටීම නිසාත් කුයි-චෝ පළාත පාලනය කරපු වං චියා-ලියේගේ හමුදා දුරින් දුරුකිරීමට හැකිවීම නිසාත් අවදානමක් නැතුව ත්සුන්-යී නගරයට ඇතුළුවෙන්න රතු හමුදාවේ ප‍්‍රධාන සේනාවට පුළුවන් වුණා. කලින් සැලසුම් කරපු විදිහට දේශපාලන මණ්ඩලයේ රැස්වීම තියන්න අවශ්‍ය පරිසරයත් මේ වෙද්දි නිර්මාණය වෙලා තිබුණා.

මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය විසින් පවත්වපු ඒ රැස්වීම ආරම්භ කළේ 1935 ජනවාරි 15 වැනි දා. ඒ රැස්වීමේ මූලික අවධානය යොමුවුණේ චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශ කිරීමේ අරමුණින් චියං කායි-ෂෙක් විසින් මෙහෙයවපු පස්වැනි වටලෑමට රතු හමුදාව මුහුණදුන් ආකාරය පිළිබඳව විමසා බැලීමටයි. මේ සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කළේ පෝ කු විසින්. හතුරු බලය ඉතාමත් ශක්තිමත් හින්දා මේ පරාජය අත්වුණු බවකුයි ඒ වාර්තාවෙන් ඔහු අවධාරණය කළේ. තමන් විසින් සහ ඔටූ බ‍්‍රවුන් (ලී ත) විසින් ගත්ත වැරැදි තීරණ ගැන වචනයක්වත් ඒ වාර්තාවට ඇතුළත් වෙලා තිබුණේ නෑ.

රැස්වීමේ දෙවැනි වාර්තාව ඉදිරිපත් කළේ චෝ අන්-ලයි විසින්. පරාජයට හේතුවුණු කාරණා විදිහට ඔහු අවධාරණය කළේ හමුදා නායකත්වයේ සහ අනුගමනය කරපු උපක‍්‍රමවල වැරැදි. ඒ වැරැදි තීරණවලට දායකවීමේ වගකීම භාරගත්ත ඔහු ඒ සම්බන්ධයෙන් ස්වයං-විවේචනයකුත් ඉදිරිපත් කළා. පෝ කු සහ ඔටු බ‍්‍රවුන් (ලී ත) ගත්ත වැරැදි තීරණ පිළිබඳ විවේචනයකුත් ඔහුගේ වාර්තාවේ තිබුණා.

එයින් පස්සේ රැස්වීම අමතා කතා කළේ චං වන්-ථියැන් (ලූ ඕ ෆූ). ඔහු ඉතාමත් තදින් පෝ කුගේ වාර්තාව විවේචනය කළා. පෝ කු සහ ඔටූ බ‍්‍රවුන් (ලී ත) ගත්ත වැරැදි තීරණ හින්දා ඒ මහා විනාශය සිද්දවුණු බවයි ඔහු අවධාරණය කළේ. ඒ වැරැදි පිළි නොගැනීම ගැනත් ස්වයං-විවේචනයක් නොකිරීම ගැනත් ඔහු පෝ කු සහ ඔටූ බ‍්‍රවුන් (ලී ත) දෙන්නාට දොස් කිව්වා.

ලූ ඕ ෆූ කතා කළාට පස්සේ රැස්වීම ඇමැතුවේ මා ඕ ත්ස-තුං. පෝ කු සහ ඔටූ බ‍්‍රවුන් (ලී ත) දෙන්නා ගත්ත තීරණ එකින් එක විශ්ලේෂණය කරමින් ඒවායේ වැරැදි පෙන්නලා දෙන්න ඔහු ක‍්‍රියා කළා. අතීත වැරැදි පෙන්වාදීමෙන් නොනැවතුණු ඔහු අනාගත මෙහෙයුම් සිදුවිය යුතු ආකාරයත් පැහැදිළි කළා. හතුරාගේ ශක්තිය සහ රතු හමුදාවේ ශක්තිය සන්සන්දනය කරමින් කරපු ඒ විග‍්‍රහයේ දී චීන භූමියේ සහ දේශපාලන පරිසරයේ ස්වභාවයත් විස්තර කළා. ඒ අනුව අනාගත උපක‍්‍රම තීරණය විය යුතු ආකාරයත් ඔහු අවධාරණය කළා.

වං චියා-ශියං, චූ ත, ලියු ෂ ඕ-ඡී ඇතුළු විශාල පිරිසක් පෝ කුගේ වාර්තාව විවේචනය කළා. ඒ හැම දෙනෙක් ම මා ඕ ත්ස-තුං සහ ලූ ඕ ෆූ ඉදිරිපත් කරපු අදහස් අගය කළා. කරපු වැරැදි තේරුම් ඇරගෙන ඉදිරි කටයුතු මා ඕ ත්ස-තුං කියපු විදිහට කරන්න ඕන බවත් ඒ අය අවධාරණය කළා. කුයි-චෝ, ස-ඡුවාන් සහ යුන්-නන් පළාත් ආශ‍්‍රිතව අලූත් මූල කඳවුරක් පිහිටුවන්නත් ත්සුන්-යී රැස්වීමේ දී තීරණය කළා. ඒ වගේ ම, හමුදා තීරණ ගැනීමට පත් කරගෙන තිබුණු ”තුන්දෙනාගේ කණ්ඩායම’’ (මේ ලිපි මාලාවේ 48 සහ 49 කොටස්වලින් ඒ ගැන කියලා තියෙනවා) අහෝසි කරන්නත් මේ රැස්වීමේ දී තීරණය කෙරුණා. මේ රැස්වීම අවසන් වුණේ දවස් තුනකට පස්සේ. ඒ කියන්නේ ජනවාරි 17 වැනිදා.

රැස්වීමේ තීන්දු ඇතුළත් අවසාන වාර්තාව ලිවීමේ වගකීම පැවැරුණේ ලූ ඕ ෆුට.

පක්‍ෂය විසින් කාලයක් තිස්සේ හොයපු නායකයා මා ඕ ත්ස-තුං බව හැම කෙනෙක්ම තේරුම්ගත්තා. මෙහෙම නායකයකුගේ මගපෙන්වීම නැතුව තවදුරටත් ඉදිරියට යන්න බැරි බව කාටත් පැහැදිළිවෙලයි තිබුණේ. ඒ භාරදූර වගකීම භාරගැනීමේ හැකියාව සහ සූදානම මා ඕ ත්ස-තුං තුළ තිබුණා. ඒත් පක්‍ෂයේ නිල තනතුරු භාරගන්න ඔහු කැමැති වුණේ නෑ. පොදු නිෂ්පාදන පක්‍ෂය කියන්නේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ශාඛාවක්. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ආශීර්වාදය ලැබිලා තිබුණේ චෝ අන්-ලයි, පෝ කු ඇතුළු පිරිසකට. ඉතින් පක්‍ෂයේ වැඩබලන ලේකම් තනතුරේ වැඩබැලීම තවදුරටත් පෝ කුට පැවරුණා. (එයින් සති තුනක් ඇතුළත පෙබරවාරි 3 – 5 දවස්වල පවත්වපු රැස්වීමක දී මේ තනතුර ලූ ඕ ෆූට පැවරුවා). අවසාන හමුදා තීරණ ගැනීමේ බලය චෝ අන්-ලයිට පවරලා දුන්නා. මේ මොන පැවැරීම් කළත් පක්‍ෂයේ නායකයා මා ඕ ත්ස-තුං කියන එක ඒ් වෙද්දි තහවුරු වෙලා ඉවරයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment