සියවස් දෙකක බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සබඳතාවක අර්ථවත් බව

873

දෙවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාව යටත් විජිත දූපත් රටක් ලෙස භූ දේශපාලනිකව වැදගත් වූයේ එම කාල සීමාව තුළ ජපන් ප්‍රහාර සහ ආක්‍රමණ ඉන්දියන් සාගර කලාපයේ බ්‍රිතාන්‍යය බල තුලනය හි විශාල වෙනසක් කළ හැකි නිසාය. මේ හේතුව නිසා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ පැවති ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ, තෙල් ගබඩා ටැංකි 103ක් සමග බෙංගාල බොක්ක වෙත ප්‍රවේශය ලබා දෙන ත්‍රිකුණාමල වරාය සහ දිවයිනේ බටහිර දෙසින් පිහිටි කොළඹ වරායට සැලකිය යුතු ලෙස රාජකීය හමුදා බලඇණි යොමු කිරීම තුළින්, ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂක වාසිය දෙවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයට පක්ෂව තුලනය කිරීමට හැකි විය. අදටත් මෙම වලංගු කරුණ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ ස්ථානගත වීම, ත්‍රිකුණාමල සහ කොළඹ වරායන්වල භූගෝලීය සැකසුම බ්‍රිතාන්‍ය ඇතුළු අනෙකුත් බටහිර රටවල් ඉන්දු පැසිෆික් ආරක්ෂක සංකල්පය හරහා දැඩි අවධානයකට යොමු කරයි. සියවස් දෙකකට වඩා වැඩි බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දේශපාලන සමාජ ආර්ථික සහ වෙනත්, ක්ෂේත්‍රවලට පරිවර්තනයන් කර තිබුණි. විශ්ලේෂණාත්මකව බැලුවොත් 1815 සිට 1948 දක්වා බ්‍රිතාන්‍යය විසින් ලංකාව පාලනය කළ කාලය සහ ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු කාලයයි. තවද බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව සමග සබඳතා දශක ගණනාවක් පුරා අභියෝගාත්මක කාලයන් සහ ශක්තිමත් කාලයන් දැක ඇත. අද දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වඩාත් අර්ථවත්ය.

ශක්තිමත් පදනමක් සහ රටේ වෙනසක්

විශේෂයෙන්ම යටත් විජිතකරණය යටතේ ලංකාවේ, අධ්‍යාපන යටිතල කෘෂිකාර්මික අංශවල වෙනසක් විය. අද වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක ආදායමක් ගෙන දෙන තේ වගාව සහ ඇමරිකානු ඩොලර් මිලියන 900ක ආදායම ගෙන දෙන රබර් වගාව බ්‍රිතාන්‍යයන්, විසින් ආරම්භ කරන ලදී. දේශපාලන කෝණයෙන් බලන විට 1920 ගණන්වල අගභාගයේදී, ඩොනමෝර් කොමිෂන් සභාව වැදගත් නිර්දේශ ගණනාවක් කර තිබුණි. ඩොනමෝර් කොමිසම සෝල්බරි ව්‍යවස්ථාව මගින් ප්‍රතිස්ථාපනය කරන ලදි. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය ලංකාවට සෝල්බරි කොමිසම විසින් හඳුන්වා දෙන ලදි. යටිතල පහසුකම් දෙස බලන විට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකරන ලද දුම්රිය මාර්ග දිවයිනට අසීමිත සම්බන්ධතාවක් සහ අත්‍යවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දුන්නේය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ කෝල්බෲක් කොමිසමේ නිර්දේශ මත රජයේ පාසල් ආරම්භ කර අධ්‍යාපනය නවීන පාසල් ක්‍රමයකට පරිවර්තනය කරන ලදි. 1948 දී ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු සාක්ෂරතා අනුපාත සහ අධ්‍යාපන මට්ටම් ක්‍රමයෙන් ඉහළ ගියේය.

නිදහසින් පසු ද්විපාර්ශ්වික සබඳතා

කෙසේ වෙතත්, නිදහසෙන් පසු ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්ති දිශානතිය තුළ මධ්‍යස්ථ නොබැඳි ප්‍රවේශයක් ගත්තේය. මෙම බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතාවට නිරන්තර අවධානය අවශ්‍ය විය. නිදහසින් පසු බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාව ගැන තවත් වැදගත් කරුණක් නම්, පළමුව 1953 දී සහ පසුව 1981 දී දෙවන එලිසබෙත්

රැජින දෙවරක්, ශ්‍රී ලංකාවට පැමිණීමයි. මීට අමතරව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවට හිතකර ආර්ථික තත්ත්වයන් සඳහා පහසුකම් සැලසෙන සංවර්ධන ආධාර අඛණ්ඩව ලබාදී තිබුණි. 1984 දී, අගමැති මාග්‍රට් තැචර් ශ්‍රී ලංකාවට පැමිණ පවුම් මිලියන 113 ක වික්ටෝරියා වේල්ල උත්සවාකාරයෙන් විවෘත කිරීමට රටට පැමිණ ඇත. තවද දෙරට අතර ද්විපාර්ශ්වික සන්ධිස්ථානයක් නම් 2013 නොවැම්බර් මාසයේදී තුන්වැනි චාල්ස් රජු (එවකට වේල්ස් කුමරු) සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණීමයි.

අපනයන සහ ආනයන පදනම

ශ්‍රී ලංකාව සිය අපනයන පදනම බ්‍රිතාන්‍ය සමග පුළුල් කර ඇත. ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිවීමත් සමඟ පසුගිය දශක දෙක තුළ දෙරට අතර අපනයන සහ ආනයන ඉහළ ගොස් තිබේ. 2022 දී පමණක් දෙරට අතර ද්විපාර්ශ්වික අපනයන සහ ආනයන පවුම් බිලියන 1.3කට ළඟා විය. බ්‍රිතාන්‍ය සමාගම් 100කට අධික සංඛ්‍යාවක් රට තුළ ක්‍රියාත්මක වන එක්සත් රාජධානිය දැනට ශ්‍රී ලංකාවේ හොඳම ආයෝජකයින් 10 අතර රැඳී සිටියි.

වෙළෙඳාම සහ ආයෝජන හැරුණු විට, ඉන්දියානු සාගර දූපත් රට සඳහා විශාලතම විදේශ ආදායම් උපයන්නන්ගෙන් එකක් වන බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මිට අමතරව බ්‍රිතාන්‍යයේ ශක්තිමත් ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් සිටී. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව 300ල000 ක් පමණ බවට ඇස්තමේන්තු කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව තලයකට

විශ්ලේෂණාත්මකව සාරාංශ කරන්නේ නම්, 1948 දී ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ස්වයං පාලන රටක් බවට පත්වීමෙන් පසුව, දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවට ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික පදනමක් දැමීමට බ්‍රිතාන්‍යයට හැකි විය. දිගුකාලීන බැඳීම්, අනුව අනාගතයේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාන ස්වාධීන සාමාජිකයන් ලෙස බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව තලයකට ඔසවා තැබීම දැකගත හැකි වනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය සමග ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ශක්තිමත් කරමින් බටහිර විදේශ ප්‍රතිපත්ති දිශානතියක්, දෙසට යොමු වීම අනාගතයේදී දැකිය හැකිය.

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment