සිය රට දේ සිරි සැප නොදේ?

1099

ඩොලරුත් නැති තෙලූත් නැති ගෑසුත් නැති කන්නත් හිඟ තත්ත්වයකට ශ‍්‍රී ලංකාව පත්ව ඇති මේ වෙලාවේදී කිසියම් සුද්දකු පිටකොටුවේ හරස් වීදි දිගේ ගමන් කළොත් මේ රටේ කිසිදු ආර්ථික අර්බුදයක් ඇතැයි විශ්වාස කරන එකක් නැත. පිටරටින් ගෙන්වන ලද ඇපල්, මිදි, දොඩම්, නාරං, චොකලට්, ටොෆි, බිස්කට් වර්ග ද ඕනෑම වර්ගයක බ‍්‍රෑන්ඩඞ් බඩුද කොටුවේ මේන් ස්ටී‍්‍රට් එක දෙපැත්තේ ඇති කඩවල අට්ටි ගසා තිබේ. මේ බඩුවල මිල අධිකය. රටේ මිනිස්සුන්ට සල්ලි නැතැයි කියා මේ බඩු කිසිවක් නොවිකිණී ඉතිරි වී කුණු වන්නේ නැත. ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩයක් පිටරටින් ගෙන්වීමටවත් ඩොලර් සත පහක් මේ දිනවල නොදෙයි. වැදගත් කිසිම දෙයක් පිටරටින් ගෙන්වීමට ණයවර ලිපි හෙවත් එල් සී විවෘත කරනු නොලැබේ. මෙවැනි තත්ත්වයක් තුළ ඩොලර්වලට පමණක් පිටරටින් මිලට ගත හැකි ඉහත සඳහන් චොක්ලට් සහ ඇපල්, මිදි සහ පෙයාර්ස්, නාරං සහ දොඩම් ලංකාවට එන්නේ කොහොමද? මේ වෙළෙන්දන් එම බඩු ගෙන්වීමට  එල් සී අරින්නේ කාගේ කනින් කෙසේ රිංගා ද? ඉහත සඳහන් ප‍්‍රශ්න අප විමසන්නේ උත්තර බලාපොරොත්තු වෙන්ම නොවේ. අපේ අරමුණ මෙවැනි ප‍්‍රශ්න ඇති බව මේ රටේ බලධාරීන්ට දැන්වීමය. සමහර ප‍්‍රශ්නවලට උත්තර සෙවීම උගහටය. විශ්වය කෙසේ පහළ වීදැයි ආනන්ද හාමුදුරුවන් විසින් භාග්‍යවතුන්  වහන්සේගෙන් විමසන ලද කල්හි උන් වහන්සේ දෙවා වදාරන ලද්දේ නිවන් මග සාක්ෂාත් කරගැනීම සඳහා විශ්වය කෙසේ පහළ වීද යන්න නිරාකරණය කර ගැනීමෙන් ඵලක් නැති බවය. ඒ අනුව සමහර ප‍්‍රශ්න, ප‍්‍රශ්න ලෙසම පවතී. ප‍්‍රශ්නයක් පවතින බව දැනගෙන එය නිරාකරණය කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් එය ජනතාවගේ ජයග‍්‍රහණයකි.

 කිසියම් රටක ආර්ථිකයට විශාල හානි සිදුකිරීමට හොර බඩුවලට පුළුවන. 1970 – 1977 අතර බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව පැවති කාලයේදී හොර බඩු ජාවාරම නිසා දේශීය නිෂ්පාදකයන්ට විශාල හානි සිදුවිය. දේශීය ව්‍යාපාරිකයා මේ රටේ අමුද්‍රව්‍ය යොදා කුඩයක් සාදා මාර්කට් කරන විට ඉන්දියාවේ සිට බෝට්ටුවලින් හොරෙන් ගෙනා කුඩ දේශීය කුඩයේ මිලෙන් දෙකෙන් පංගුවක මුදලට මිලට ගත හැකි විය. මෙවිට දේශීය ව්‍යාපාරිකයාගේ කුඩ ඉතිරි වී ඔහු කුඩුසංසාර විය. යාපනේ මිදි වැවෙයි. නුවරඑළියේ ඇපල් සහ පෙයාර්ස් වැවෙයි. සමගි පෙරමුණු ආණ්ඩුව ඇපල්, මිදි සහ පෙයාර්ස් වගා කරගෙන දේශීය කර්මාන්ත දියුණු කරගෙන ඉදිරියට එන විට ජේ. ආර්. ජයවර්ධන ගේ යූ එන් පී ආණ්ඩුව රටේ බලය අල්ලා ගත්තේය. එසැණින් මේ රටේ නිෂ්පාදනය කළ ඇපල් ද මිදි ද කුඩ ද රෙදි ද නන්නත්තාර කරමින් ඉන් දෙකෙන් පංගුවක මුදලට විකිණිය හැකි බඩු පිටරටින් මෙහි එන්නට පටන් ගත්තේය. මේ රටේ දේශීය කර්මාන්තය එතැනින් නිම විය. අද වනවිට මේ රටේ නිපදවනු ලබන්නේ සහල් සහ එළවළුත්, අන්නාසි සහ ගස්ලබුත්, කොස් සහ දෙලූත්, මඤ්ඤොක්කා සහ බතලත් පමණි. සෙසු සියලූම දේ ගෙන්වීමට සිදුව ඇත්තේ පිටරටිනි. ඔබ උඩ බැලූවොත් වහලේ ඔබ දකින ඇස්බැස්ටෝස් ෂීට් එක නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 90% ක් ගෙනෙන්නේ පිටරටිනි. ඔබ බිම බැලූවොත් දකින ටයිල් කැටය නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 70% ක් එන්නේ පිටරටිනි. මේ වනවිට කඩදාසි කොළයක්වත් මේ රටේ නිපදවනු නොලැබේ. රට වටේම මුහුද තිබුණ ද තලපත් මාළු ගෙන්වන්නේ මැලේසියාවෙනි. ඔබ උදේ වරුවක පෑලියගොඩ මාළු මාර්කට් එකට ගියොත් ශීතාගාර ලොරිවලින් පිටතට බාන තේක්ක කඳන් වැනි විශාල තලපත් මාළු දැකගැනීමට පුළුවන. මේවා ඔර්ජිනල් මැලේසියන් බඩුය. පොහොර හුටපටය නිසා එළවළු නිෂ්පාදනයේ තාවකාලික අඩුවක් ඇති වුවහොත් බත් පතේ ඇති එළවළුවලට විකල්පය වන්නේ මයිසූර් පරිප්පුය. ඉස්සර මයිසූර් පරිප්පු ගෙන්වන ලද්දේ ඉන්දියාවෙනි. අද ලොව විශාලතම මයිසූර් පරිප්පු නිෂ්පාදකයන් වන්නේ ඔස්ටේ‍්‍රලියාව සහ තුර්කිය ය. පොහොර ප‍්‍රශ්නය උඩ හාල් හිඟයක් ආවොත් ඉන්දියාවෙන්, වියට්නාමයෙන් හෝ තායිලන්තයෙන් හාල් ගෙන්වීමට අපට සිදුවේ. කිසිම දෙයක් රට තුළ නිෂ්පාදනය නොකර සැප ගන්නා ජාතියක් බවට පත්වීමට අප දරමින් සිටින උත්සාහයේ අවසන් කොටස දැන් එළඹී ඇත. මේ රටේ ජනයා නිෂ්පාදනය සහ ආර්ථිකය සම්බන්ධයෙන් තවදුරටත් පිස්සු කෙළියොත් අත්‍යන්තයෙන්ම සිදුවන්නේ ඉන්දියන් සාගරයට පැන සිය දිවි නසාගැනීමටය. ඒ පහසුකම ඇත්තේ ද රට වටේ පිහිටි මුහුදු වෙරළට කිට්ටුව ජීවත්වෙන ජනතාවට පමණි. මැද රට සිටින ජනයාට මුහුද බලා ඒමට බස් වියදම්වත් සොයා ගැනීමට නොහැකි වන බැවින් කඳුවලින් බිමට පැනීම, ගෙල වැල ලා ගැනීම වැනි විකල්පයන්ට යෑමට සිදුවේ.

 1977 න් පසු මේ රටේ ඇරඹි විවෘත ආර්ථික සමය තුළදී දේශීය රස කැවිලි නිෂ්පාදනය යම් ප‍්‍රමාණයකට ආපස්සට ගියේය. එහෙත් ව්‍යවසායකයන් කිහිපදෙනකුගේ දැඩි උත්සාහය නිසා එම කර්මාන්තය මේ රට තුළ නගා සිටුවීමට නැවත හැකි විය. අද තිබෙන ප‍්‍රශ්නය වූකලී එල් සී විවෘත කර හෝ විවෘත නොකර විවිධ වර්ගයේ ටොෆි, චොකලට්, බිස්කට් පමණක් නොව අයිස් ක‍්‍රීම් වර්ගද මෙරටට ගෙන්වීමය. දේශීය කිරි ඕනෑ තරම් තිබියදී ඉම්පෝර්ටඞ් කිරි සුපර් මාර්කට් රාක්කවල ඇත. දේශීය චීස් සහ දේශීය චොකලට් ඕනෑ තරම් තිබියදී ඉම්පෝර්ටඞ් චීස් සහ ඉම්පෝර්ටඞ් චොකලට් තොග වශයෙන් රට තුළට ඇදී එයි. දේශීය රස කැවිලි ව්‍යාපාරිකයා මෙරටට ගෙන්වන ඇතැම් අමුද්‍රව්‍ය කන්ටේනර්වල බහා පිටරටින් පැමිණි විදිහටම වරායේ ගුදම්වල සිරගතවී ඇත්තේ ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් නොමැති හෙයිනි. මේ මොහොතේදී අප ආණ්ඩුවට මහත් ඕනෑකමෙන් මතක් කර දෙන්නේ දේශීය නිෂ්පාදනවල ඩුප්ලිකේට් බඩු තවදුරටත් පිටරටින් ගෙන්වනු ලැබුවොත් එම කර්මාන්ත වැසී රටේ තත්ත්වය තවදුරටත් අල විය හැකි බවය.

advertistmentadvertistment