සිරකරුවෝ ඉල්ලා සිටින්නේ මනුෂ්‍යයත්වයයි

61

ඕනෑම සමාජයක ජීවිතය යහපත්ව විඳින මෙන්ම ජීවිතය අවාසනාවන්ත ලෙස විඳවීමට සිදුව ඇති පිරිස්ද අපට දැකගන්නට පුළුවන්. අපේ රටේ සිරගෙවල්වල ළගින්නට සිදුව ඇති සිරකරුවන්වූ මිනිසුන්ට ගත කරන්නට සිදුව ඇති ජීවිතය, අපායක ජීවිතයකට සමාන කරන තොරතුරු කථා බහට ලක්වීම දැන් පෙනෙන්නට තිබෙනවා.

කළ වැරදිවලට දඬුවම් වශයෙන් සිරගෙවල්වල ළගින්නට සිදුව ඇති මනුෂ්‍යයන්ට පමණක් නොව, කිසිදු වරදකට වැරදිකරුවන් නොවී නඩු සඳහා චෝදනාවනට ලක්ව සිටින සැකකාර මනුෂ්‍යයන්ට පවා රජයේ භාරයේ රඳවා සිටින කාලය තුළ ගතකරන්නට සිදුව ඇති සිරකාර ජීවිතය අපා දුකක්මය. බන්ධනාගාර පද්ධතිය තුළට සැකකාර රැඳවියන් ලෙස ඇතුළු වන තරුණ ජීවිත, බරපතළ අපරාධකරුවන් බවට පරිවර්තනය වීමේ ප‍්‍රවණතාවය අපි දකිමින් සිටිනවා. රජයේ වගකීම යටතේ පවතින, රජය භාරයේ සිටින රැඳවියන්ගේ සහ සිරකරුවන්ගේ ජීවිත, රජයේ භාරයේදී අහිමිවීම ද අපි දකිමින් සිටිනවා.

මේ තත්ත්වය දෙස ඇස් කන්පියා සිටීම, වගකිවයුතු සමාජයකට සුදුසු නොවේ. රැඳවියන්ගේ මෙන්ම සිරකරුවන්ගේද ජීවිත රැකවරණය, ආත්ම ගරුත්වය, මනුෂ්‍යයන් ලෙස ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් සඳහා ඔවුන්ට ඇති අයිතිය ආදී සියල්ල මූලික අයිතිවාසිකම් ය. මේ සියල්ල උල්ලංඝනය කරන කල් ඉකුත්වූ බන්ධනාගාර ක‍්‍රමවේදයන් අප රට තුළ තවමත් ක‍්‍රියාත්මක වෙමින් පැවතීමට ඉඩදී සිටීම සුදුසු නොවේ. බන්ධනාගාරවල අද පවතින මේ තත්ත්වය ශිෂ්ට සම්පන්න ලෝකයකට ගැලපෙන තත්ත්වයක් නොවෙයී. අපට උරුම අපේ සංස්කෘතියට හෝ අපේ ආගමික වටිනාකම්වලට හෝ අපේ හර පද්ධතීන්ට හෝ ගැලපෙන තත්ත්වයක් ද නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට ගැලපෙන තත්ත්වයක් ද නොවෙයි. මේ බන්ධනාගාරයන් තුළ අද සිදුවන බව සහ පවතින බව කියන තත්ත්වයන් රටට නින්දාවක්. ලැජ්ජාවක්. අපරාධ සඳහා දඬුවම් විඳින අයට මෙන්ම, වරදකරුවන් වී නැති චෝදනාවලට පමණක් බඳුන්වී ඇති අයටත්, රඳවාගෙන සිටින කාලය තුළ ජීවත්වීමට ඇති අයිතිය පවතිනවා. චෝදනාවනට බඳුන්ව ඇති කාලය තුළ මෙන්ම දඬුවම් විඳින කාලය තුළද, නිදහස අහිමිව ඔවුන් සිටින අතරතුර, මානුෂිකව සැලකීමට බඳුන්වීමට ඔවුන්ට අයිතිය තිබෙනවා.

සාධාරණ නඩු විභාගයක් සඳහාත් ඔවුන්ට අයිතිය තිබෙනවා. නීතියේ සර්ව සාධාරණ රැකවරණය සඳහා ද ඔවුන්ට අයිතිය තිබෙනවා. එහෙත් කාලයක් තිස්සේ මේ සියල්ල අභියෝගයනට ලක්වීම අපි දකිමින් සිටිනවා. මේ තත්ත්වය නීති විරෝධී තත්ත්වයක්. සදාචාර විරෝධී තත්ත්වයක්. මේ තත්ත්වය ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳව වන ප‍්‍රමිතීන් උල්ලංඝනය කිරීමක්. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම උල්ලංඝනය කිරීමක්.

ශිෂ්ට සම්පන්න රටක් වශයෙන් මෙම ජාත්‍යන්තර බැඳීම්වලට සහ ප‍්‍රමිතීන්වලට ගරුකරන තත්ත්වයක් අප රට තුළ පවත්වාගත යුතුයි. මේ ජාත්‍යන්තර බැඳීම්වලට සහ ප‍්‍රමිතීන්වලට ගරු නොකරන රටවල් ගොන්නට අපේ රටද ඇතුළත් වී තිබීම හේතුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළ අපේ රටට තිබූ කීර්ති නාමය බරපතළ ලෙසින් පළුදු වී තිබීම කනගාටුදායක තත්ත්වයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, ක්ෂමා ආයතනය ඇතුළු ලොව මානව හිමිකම් ගැන උනන්දු වන ප‍්‍රධාන පෙළේ සංවිධාන පමණක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ පාර්ලිමේන්තු කිහිපයක්ම නිදසුන් සඳහන් කරමින්ම, අපේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම් ගැන ඇඟිල්ල දික් කිරීම අපි දකිනවා.

”සිරකරුවන්ද මනුෂ්‍යයන්ය” යන තේමාව නමට පමණක් හෝ ප‍්‍රදර්ශනයට පමණක් හෝ සීමා නොකර, ප‍්‍රායෝගිකව ඔවුන්ට ආත්ම ගරුත්වය ඇතිව, තම මූලික අවශ්‍යතාවන් සපුරා ගත හැකි මෙන්ම ඔවුන්ගේ මූලික අයිතීන් ආරක්ෂා වන වාතාවරණයක් ලබාදීම සමාජයක වගකීමක්.

සිරකරුවන් ද මනුෂ්‍යයන් ලෙස අප පිළිගන්නවා නම් ඔවුන්ට හරි නින්දක් නිදාගත හැකි තත්ත්වයක් තිබිය යුතු වෙනවා. පිරිසිදු කෑම වේලක් ලබා ගත හැකි තත්ත්වයක් තිබිය යුතු වෙනවා. ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා වෙනුවෙන් ඊළඟ දින පහන් වන තුරු ක‍්‍රමයක් නොමැතිව, ඒ සඳහා සිලි සිලි බෑග් පාවිච්චි කරමින්, දුසිම් ගණන් සිරකරුවන් සමගින් කුඩා ඉඩ ප‍්‍රමාණයක තෙරෙපෙමින්, තදවෙමින් රාත‍්‍රිය පුරා සෑම දිනකම ගතකරන්නට සිදුව තිබේ නම් එය කොතරම් අමානුෂික තත්ත්වයක්ද? මේ තත්ත්වය සෞඛ්‍යයට හිතකර තත්ත්වයක් නොවෙයි. මේ තත්ත්වය මිනිසුන්ට නොව සතුන්ටවත් සුදුසු තත්ත්වයක් නොවෙයි.

”අපි කරන්නේ පොලිතින් උරයකට ශරීර කෘත්‍ය කරන එක. ඒක ගැටගහලා උදේම වැසිකිළියට දානවා. අපට මුළු ?ම ඒ ගඳ ඉවසගෙන ඉන්න වෙනවා. මුල් දවස්වල මගේ කාමරේ 11 දෙනෙකු සිටියා.” මේ බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ අධ්‍යයනයකදී වැලිකඩ සිටි සිරකරුවකුගේ වචන.

දුර්වල සහ අයහපත් සනීපාරක්ෂාව හේතුවෙන් මීයන්, මදුරුවන්, කෘමීන් ඇතුළු සතුන් විශාල ප‍්‍රමාණයක් බන්ධනාගාරවල සිටින බව මේ අධ්‍යයනයේදී හෙළිදරව් වී තිබෙනවා. බන්ධනාගාරවල ඉඩකඩ ප‍්‍රශ්න නිසා ඇතැම් සිරකරුවන් නිදාගෙන ඇත්තේ මාරුවෙන් මාරුවට බවත්, ඇතැම් පිරිස් මේ නිසා වැසිකිළි කාමරවල පවා නිදාගෙන ඇති බවත් මෙහිදී හෙළිවී තිබෙනවා. සිරගතව සිටින රැඳවියන් එලෙස සිරගතවීමට හේතු වූ විවිධ පසුබිම් කාරණා තිබෙනවා. එම සිදුවීම් ගැන බොහෝ විට පසුතැවිලිවන තත්ත්වයක් ඔවුන් බොහෝ දෙනා තුළ ඇතිවීම සාමාන්‍ය දෙයක්. මෙම සිදුවීම ජීවිතයේ යම් යම් අවස්ථාවලදී අවසන් තත්පරයකදී ගත් තීන්දු තීරණ විය හැකියි. මේ තීන්දු තීරණවලට නිසි දඬුවම් ලබලා, නිසි පුනරුත්ථාපනයක් ලබලා ඔවුන් නැවත සමාජයට ආ යුත්තේ සාමාන්‍ය පුරවැසියන් ලෙසයි. මෙහිදී ඔවුන් වෙත රැඳවුම් කාලයේදී අප දක්වන ආකල්ප සහ සැලකිල්ල ඔවුන්ගේ නැවත ආගමනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරනවා. එබැවින් මේ රැඳවුම් කාලය නිසි ලෙස සහ ඵලදායී ලෙස සිදුවන බවට වගබලා ගැන්ම වගකිවයුතු සියලූ දෙනාගේ වගකීමයි.

මේ සඳහා බන්ධනාගාර ක‍්‍රමවේදයන් සහ එයට සම්බන්ධ නීතිරීති පුළුල් ලෙස ප‍්‍රතිසංස්කරණය මෙන්ම බන්ධනාගාර පද්ධතිය සඳහා ප‍්‍රමාණවත් ආයෝජනයන් ලබාදීම ඉහළ ප‍්‍රමුඛතාවදී සිදු කළ යුතුව තිබෙනවා. ඊට අදාළව බන්ධනාගාරවල ඉඩ ප‍්‍රමාණය පුළුල් කිරීම, කාර්ය මණ්ඩල හිඟය පිරවීම, බන්ධනාගාරය තුළ වෛද්‍ය පහසුකම් සඳහා අවශ්‍ය ප‍්‍රමාණවත් කාර්ය මණ්ඩල ඇතුළු අදාළ පහසුකම් ලබාදීම, කාර්ය මණ්ඩල සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීම ආදිය ඉටු විය යුතුව තිබෙනවා.

සමාජය වෙත ඔවුන්ගේ නැවත පැමිණීම සිදුවිය යුත්තේ කිසිසේත් සමාජය කෙරෙහි හෝ රජය කෙරෙහි හෝ බන්ධනාගාර නිලධාරීන් කෙරෙහි හෝ වෙනත් කිසිවකු කෙරෙහි වෛරයක් ඇතිව නොවෙයි. ඔවුන්ගේ නැවත ආගමනය සිදුවිය යුත්තේ රටට හානිදායී නොවන, යහපත් පුරවැසියන් ලෙසයි. මේ අරමුණේ පිහිටා කටයුතු කරන වාතාවරණයක් අපේ බන්ධනාගාරවල ඇති විය යුතුව තිබෙනවා.

”යම් කිසි සමාජයක තරම සැබෑ ලෙසින් මිණිය හැක්කේ, එම සමාජය තම සමාජයේ පීඩා විඳින ජනකොටස් වෙත දක්වන සැලකිල්ල අනුවයි.”

මහත්මා ගාන්ධි

advertistmentadvertistment
advertistmentadvertistment