සිරිපාල පිලට බාධා කිරීම වළක්වමින් මෛත්‍රී පිලට වාරණ නියෝගයක්

52

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ පක්‍ෂ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුකිරීම වළක්වමින් හිටපු ජනාධිපති හා හිටපු ශ්‍රීි ල.නි.ප. සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම ඔහු පක්‍ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරගත් ආචාර්ය විජයදාස රාජපකක්‍ෂ, සරත් ඒකනායක හා කීර්ති උඩවත්ත යන මහත්වරුන්ට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (28දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ආචාර්ය විජයදාස රාජපක්‍ෂ, සරත් ඒකනායක හා කීර්ති උඩවත්ත යන මහත්වරුන්ට ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩ බලන සභාපති ධුරය ඇතුළු තනතුරු දැරීම වළක්වමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කළ අතිරේක දිසා විනිසුරුවරයා ලබන 11 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ ලසන්ත අලගියවන්න මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිඥ අමිල පෙරේරා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ පර්මාන් කාසිම් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා එම නියෝග කළේය.

ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඇතුළු පෙර කී වගඋත්තරකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ තනතුරුවලට තෝරාපත් කරගැනීම හා එකී පත්කර ගැනීම් සිදු කළ පසුගිය 12 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව යැයි කියාගත් ඊනියා රැස්වීම අනීතික හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙමින් ලසන්ත අලගියවන්න මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකමින් ඉල්ලා අස්වන බව විධායක සභාව යැයි කියාගත් රැස්වීමකදී පවසා පසුගිය 12 වැනිදා ඉන් ඉවත් වී ඇතත් ඒ වනවිටත් ඔහුගේ පක්‍ෂ සභාපතිධුරය අධිකරණය විසින් තහනමට ලක්කර තිබූ බව ජනාධිපති නීතිඥ පර්මාන් කාසිම් මහතා අධිකරණයට පැවැසීය. යමකුට යම් ධුරයකින් ඉවත් විය හැක්කේ එවැනි ධුරයක් දරන විටදී පමණක් යැයි අධිකරණයට පැවැසූ ජනාධිපති නීතිඥවරයා ධුරයක් නොමැති අයකු යම් ධුරයකින් ඉල්ලා අස්වනුයේ කෙසේදැයි විමසා සිටියේය.

මැයි 12 වැනිදා පැවැති විධායක සභා රැස්වීමට විධායක සභාවේ සාමාජිකයන් 246 දෙනා අතරින් 108 දෙනකුම පැමිණ විජයදාස රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස පෙරකී තනතුරුවලට ඒකමතිකව තෝරා පත්කර ගෙන ඇතත් පක්‍ෂයේ සුළුතරයක් නියෝජනය කරන එක්තරා සිවුදෙනකුගේ අවශ්‍යතාව අනුව අධිකරණ නියෝග ලබාගෙන පක්‍ෂය මෙහෙය වීමට උත්සාහ දරන්නේ යැයි ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා අධිකරණයට පැවැසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment