සිරිලක ප‍්‍රථම සම්බුද්ධාගමනය සිදුවූ දුරුතු පොහොය

59

මේ අනුව ලක්දිව බුදුපියාණන්ගේ පළමුවන වැඩමවීමේදී මහියංගණයට පමණක් නොව වඩිනාගල, පාදාගොඩ යන ස්ථාන දෙකටද බුදු පියාණන් වැඩමකර ඇති බව එම ලිපියට අනුව පෙනී යයි. එමෙන්ම මොනරාගල දිස්ත‍්‍රික්කයේ බඩල්කුඹුර ප‍්‍රදේශයේද කඳු ගැටයක් මත රෝස පාටට හුරු ගලක ශ‍්‍රීපාද සටහනක් තිබූ බවට තවත් ලේඛනයක ඇත. මෙයද ගලක කෙටූ පා සටහනක් නොව, ගලමත පිහිටුවූ පා සටහනක් බව අතීත මතය වී ඇත්තේය.

 මහවැලි මහ නදිය අසබඩ ඌව දනව්වේ මහියංගනය අප රටේ ශ්‍රේෂ්ඨතම ඉතිහාසයකට උරුමකම් ඇති පුණ්‍ය තීර්ථයකි. අප රටේ ඉතිහාසයට අනුව බුදුපියාණන්ගේ ලංකාගමනයට මුල් වූ මෙම ප‍්‍රදේශය අදද ආදිවාසීන් ජීවත්වන ප‍්‍රදේශයකි. බුද්ධකාලීන යුගයේදී යක්ෂ ගෝත‍්‍රිකයන් ජීවත් වූ මෙම ප‍්‍රදේශය තුළ ඇති වීමට ගිය මහා යුද්ධයක් වැළැක්වීම සඳහා බුදුපියාණන් වහන්සේ මහියංගනයට වැඩමකර ඇත.

 අද මහියංගනය නමින් හ`දුන්වන එම ප‍්‍රදේශය එය හැ`දින්වූයේ ‘‘මහනාග” නමිනි. දීපවංශය මෙම ප‍්‍රදේශය හැ`දින්වන්නේ ‘‘මහිය පොක්කල” යනුවෙනි. අද මිනිපේ නමින් එම ප‍්‍රදේශය ආසන්නයේ ඇති ඉපැරණි ජනපදය එදා පුරාණයේදී මහියංගනයේම කොටසක් විය.

 මෙම භූමිය බිම්තැන්න නමින් හඳුන්වා ඇත්තේ එම භූමියෙ පිහිටීම අනුවය. බුදුපියාණන්ගෙන් ශාරීරික කේශ ධාතුන් වහන්සේ නිධන් කර මෙහි ඉදි වූ මහා දා ගැබ ලෝකයේම ඉදි වුණු ප‍්‍රථම දා ගැබ විය හැක. සිරිපා සමනලට අධිපති සුමන දිව්‍ය රාජයා විසින් ප‍්‍රථම වරට නිර්මිත වූ මෙම ස්ථුපය මෙරට නිදහසින් පසුව පිළිසකර වූ ප‍්‍රථම චෛත්‍ය කර්මාන්තයද වන්නේය.

 විජය කුමරුන් ලක්දිවට පැමිණෙන විට මෙහි පාලකයා වී ඇත්තේ ‘‘ජුතින්ධර” නම් යක්ෂ ගෝත‍්‍රිකයෙකි. දුටු ගැමුණු රජු විජිත පුර සටනට පිවිසෙන විට ප‍්‍රථමයෙන්ම බිඳ හෙළ සතුරු බලකොටුව පිහිටා තිබුණේද මහියංගනයේය. ඒ සමයේ එම ප‍්‍රදේශය පාලනය කර ඇත්තේ ඡුත්ත නම් ද්‍රවිඩ නායකයෙකි. ඔහුගේ පාලනයට නතුව තිබූ මහියංගන දාගැබ සහිත ජනපදයම පරිහානියට පත්ව තිබුණි. දුටුගැමුණු රජු මහියංගනයට නව ජීවයක් ලබා දුන් බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිසඟ බෝ රජු කුමර අවධියේදී මෙහි ජීවත් වෙමින් අධ්‍යාපනය ලැබූ බව සඳහන්ය. වෝහාරකතිස්ස, මහාපැකුම්බාවො, නිශ්ශංක මල්ල ආදී රජවරුන්ගේ අවදානය මත සුරැුකී දියුණු වූ පුණ්‍ය භූමියට බටහිර ආක‍්‍රමණ යුග වලදී විනාශ වී තිබුණු අතර මහා දාගැබ කැඞී බිඳීගොස් නටඹුන් විය.

 1851 දී පූජ්‍ය ඉද්දමල්ගොඩ ධම්මපාල නම් හිමිනමක් යළි මහියංගන ස්ථුපය පිළිසකර කිරීමට පියවර ගෙන ඇත. එයින් වසර 100 කට පසු පසුගිය සියවසේදී ඞී. ඇස්. සේනානායක මැතිතුමන්ගේ මූලිකත්වයෙන් නව චෛත්‍ය කර්මාන්තය ඇරඹුනේ මිනිපේ, මහියංගන ආදී ගොවිජනපද බිහි වීමත් සමගය. මීට වසර 60 කට පෙර ඩඞ්ලි සේනානායක අගමැතිතුමා විසින් මෙම සෑයේ කොත පළඳවා බෞද්ධ ජනී ජනයාගේ වන්දනාමානයට ලක් කළ බව කවුරුත් දන්නා කරුණකි.

 බුදුපියාණන් වහන්සේ සහ මහියංගනයත්, ඒ අවට ඇති ගම් බිම් සමගත් ඇති සබඳතාවය ජනප‍්‍රවාදගත බොහෝ කරුණු වලින් ගහණය. තවත් සුන්දර දුරුතු පොහොයක් යෙදෙන අද දිනයේ එම කරුණු පිළිබඳව සොයා බැලීමද යෙහෙකි.

 තවත් සුන්දර සීතල දුරුතු පොහෝ දිනයක් සිරිලකට උදාවී ඇත. අදවන් දිනයක මීට වසර 2611 කට පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබෙත්, මගෙත් මව්බිම වූ ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කළේ බුද්ධත්වය ලබා නව වෙනි මාසයේදීය. තමන් වහන්සේ උපත ලද කිඹුල්වත් පුරයටත් වැඩම කරන්නට පෙර බුදුපියාණන් ලක්දිවට වැඩම කිරීමෙන් අපට දැක්වූ කාරුණිකත්වය කොපමණ උසස් දැයි සිතා ගන්නට හැක. එදා ශ‍්‍රී ලංකාද්වීපයේ වත්මන් ඌව දනව්වේ මහියංගනය පුදබිමට වැඩමකර සිදුවන්නට ගිය දෙපිරිසකගේ යුද්ධය නිමාකර, ඔවුනට දහම් දෙසා, සමන් දෙවියන් සෝවාන් භාවයට පත්කර බුදුපියාණන් යළි දඹදිවට වැඩම කළ බව නොදන්නා සිංහල බෞද්ධයකු අප රටේ නොමැති තරම්ය.

 අප කවුරුත් දන්නා එම කතා පුවතට අමතරව තවත් කතා ඇතුළත් වූ සිරිලක ප‍්‍රථම සම්බුද්ධාගමනය පිළිබඳව තොරතුරු, කතා පුවත්, ජනප‍්‍රවාද හා පැරණි ලේඛණ අප රටේ සමහර දෙනා සතුව ඇත. මීට වසර 59 කට පෙර එනම් වර්ෂ 1963 මැයි මස ‘‘දිනමිණ’’ වෙසක් කලාපයට ලිපියක් සපයන පුජ්‍යපාද මුත්තෙට්ටුගම ධම්මේශ්වර නම් මා හිමිපාණන් වහන්සේ ලියන ලිපියකින් සම්බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව ඉපැරණි තොරතුරු කිහිපයක් අනාවරණය වේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමේදී මුලින්ම වැඩියේ මහියංගණයට නොව ‘‘වඩිනාගල’’ නම් ගිරි ශිඛරයට බවයි එහි සඳහන් වන්නේ. වර්තමානයේ වඩිනාගල පිහිටියේ දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේය.

 මෙම වඩිනාගල ප‍්‍රදේශයේදී මේ පුදුම ගිරි ශිඛරයද මා දැක ඇත්තෙමි. වඩිනාගල මෙන් මේ හා සමාන නම් ඇති පුණ්‍ය භූමි රාශියක් දිගාමඩුල්ලේ සිට පොළොන්නරුව දක්වා පිහිටා ඇත. ඒවා අතර වඩිනාගල, මුවංගල, බුද්ධංගල, පියංගල, රජගල, තොප්පිගල, දිඹුලාගල සහ කුඩුම්බිගල ආදී ස්ථාන වේ. මෙම ස්ථාන සොළොස්මස්ථාන වලට සම්බන්ධ නොවුනද අතීතයේ බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලද පුණ්‍ය භූමිය යැයි සිතිය හැකි තැන්ය.

 මුත්තෙට්ටුගම ධම්මේශ්වර මා හිමියන් සඳහන් කරන පරිදි අහසින් වැඩි බුදුපියාණෝ වඩිනාගලට පළමුව වැඩම කළ නිසා එම ගල් පර්වතය ‘‘වඩිනාගල’’ නමින් හඳුන්වා ඇත. වඩිනාගලින් බිමට වැඩම කළ බුදුපියාණන් වහන්සේ ප‍්‍රථම දහම් දෙසුම පැවැත්වූයේ ඒ ආසන්නයේ සිටි වැදි මිනිසුන් හෙවත් ආදිවාසීන් වෙතය. එම වැසියන් සිටි ගම අද හ`දුන්වන්නේ ‘‘පාදාගොඩ’’ යන නමිනි. එහි නාගගෝත‍්‍රික ජනතාවද සිටියහ. මෙම පිරිසට ධර්මය දේශනා කළ පසු ඔවුන් බෞද්ධයන් වී ඇත. ඒ ආසන්නයේ එදා මහෝදර නා රජුගේ මාලිගයක්ද තිබී ඇත. ධර්මය ඇසූ මේ වැසියෝ බුදුපියාණන් සිහිපත් වීම සඳහා වඳින්නට, පුදන්නට යමක් ඉල්ලූ විට බුදුපියාණන් වහන්සේ ඔවුන්ට තමා අතවූ පාරිභෝගික වස්තුවක් වන පාත‍්‍රා ධාතුව පිරිනැමූ බව එම ලිපියෙන් ධම්මේශ්වර හිමියන් පවසයි. මෙම බුද්ධ පාත‍්‍රය ලබාගත් නා රජු බුදු පුද පිණිස මෙම පාත‍්‍රය නිධන්කර දාගැබක් බඳවා ඇත. මේ අනුව පාත‍්‍රා ධාතුව නිධන් කළ ගම නිසා පා + දා+ ගොඩ (පාදාගොඩ) යනුවෙන් මෙම ගමට නම ලැබුණ බව එම ප‍්‍රදේශවාසීන්ගේ මතයයි.

 මේ අනුව ලක්දිව බුදුපියාණන්ගේ පළමුවන වැඩමවීමේදී මහියංගණයට පමණක් නොව වඩිනාගල, පාදාගොඩ යන ස්ථාන දෙකටද බුදු පියාණන් වැඩමකර ඇති බව එම ලිපියට අනුව පෙනී යයි. එමෙන්ම මොනරාගල දිස්ත‍්‍රික්කයේ බඩල්කුඹුර ප‍්‍රදේශයේද කඳු ගැටයක් මත රෝස පාටට හුරු ගලක ශ‍්‍රීපාද සටහනක් තිබූ බවට තවත් ලේඛනයක් මා කියවා ඇත. මෙයද ගලක කෙටූ පා සටහනක් නොව, ගලමත පිහිටුවූ පා සටහනක් බව අතීත මතය වී ඇත්තේය. මේ අයුරින් බලන කළ පාදාගොඩ බැඳවූ සෑය මහෝදර නා රජු විසින් කරවන ලද්දකි. එම දාගැබද තිබුණේ නම් එයද මහියංගණය, තිරියාය යන ස්ථානවල බඳවන ලද දාගැබ් තරමටම ඉපැරණි වනු ඇත.

 බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර සිරිපා සටහන සමනොළ ගල මුදුනේ තැබූ සමයේදී එවැනි පා සටහනක් බළන්ගොඩ ‘‘නියඳගල ආරණ්‍ය සේනාසන’’ භූමියේ එදා තබා ඇති බවට විශ්වාසයයි. එම සිරිපා සටහන අදද එම ආරණ්‍ය සේනාසනයේ තිබෙන බව ධම්මේශ්වර මා හිමි සිය ලිපියේ සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ ඒ ආසන්නයේම පිහිටි බුදුගලටත්, කූරගලටත් වැඩම කර ඇත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්නට නියමිතව ඇත්තේද එම කූරගල පුණ්‍ය භූමියේ බව පැවසෙයි. අතීතයේදී මුස්ලිම් ආගමිකයන් විසින් වන්දනා මානයටද යොදා ගෙන ඇති මෙම ස්ථානය වර්තමානයේ යළි බෞද්ධ ප‍්‍රබෝධයට මුල් වෙමින් ගොඩනැගීගෙන යෑම පැරණි බෞද්ධ උරුමය යළි ඉස්මතු කර ගැනීමක් ලෙස සැළකිය හැක. ඒ අසළ ඇති ගල්පර්වතය බුදුගල ලෙස සඳහන් වන්නේ බුදුපියාණන් එම පර්වතය මත දිවා විවේකය ගතකළ තැනක් වූ නිසා බව විශ්වාසයයි. ඒ අනුව මේ ස්ථානයද පාරිභෝගික චෛත්‍යයක් බවට සැළකිය හැක.

 බුදුරජාණන් වහන්සේ කැළණි ගෙ`ගන් දිය ස්නානය කළ බවට තොරතුරු ඇත. නමුත් බුදුරාජාණන් වහන්සේ වලවේ ගංගාවෙන්ද දිය ස්නානය කළ බවට තොරතුරු හමුවේ. ධම්මේශ්වර මා හිමි සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ වලවේ ගඟ ආසන්නයේ බුදුගලට ඈතින් පිහිටි ‘‘පන්සදාරන්ගල” බුදුහිමියන් ප‍්‍රමුඛ මහරහතන් වහන්සේලා පන්සියයක් දෙනා ස්නානයට පෙර සිය සිවුරු තැන්පත් කළේ මෙම ස්ථානය ලෙසය. ඉතා දැකුම්කළු ස්ථානයක් වන මෙතැන සහ ඒ අවට ඇති භූමිය සුදු ජාතික පාලකයන්ගේද නෙත සිත ඇදී ගිය දර්ශනීයක් තැනක් බවට අතීතයේදී ප‍්‍රචලිතව තිබුණි.

 මේ අයුරින් ගත් කළ බුදුහාමුදුරුවන් වහන්සේ හා බැඳුනු ස්ථාන හා නාම රාශියක් අප‍්‍රකටව අප රට තුළ පවතින බව පෙනී යයි. ‘‘බුදුන්වෙල’’ නැමැති ගමද එයින් එකකි. අතීතයේ මෙම වෙල්යාය බුදුපියාණන් වෙනුවෙන් පිදූ පූජාවක් බවට ජනප‍්‍රවාදයේ සඳහන් වේ. මෙම වෙල්යාය මැද පිහිටි කළු ගල්තලාව යට විශාල නිධානයක් පිහිටි බවට අතීතයේ උන් අය විශ්වාස කළහ. එකළ සිටි නිධන් හොරුන්ද මෙම බුදුන්වෙලේ ගල්තලාව යට තිබෙන නිධානය ගන්නට විවිධ කෙම්පහන් සිදු කළහ. ඒ හැම විටම ගල යටින් මතුවන කළු දෙබරුන් අවුත් නිධන් හොරුන් පසුපස එළවමින් පහරදී නිධානය රැකගෙන ඇත.

 සමහර අවස්ථාවලදී නිධන් ගන්නට පැමිණි නිධන් හොරුන්ද, ආවතේවකාරයන්ද අමනුෂ්‍යයන් විසින් ගලින් පහළට පෙරළා දමා මරණයට පත්කර තිබේ. එක් අවස්ථාවකදී නිධන් ගන්නට පිරිසක් තැත් කරන විට පොළොව පළාගෙන මතුවූ පොල්ගස් තරම් දිග මහත නාගයන් සිව් දෙනකු එම පිරිස පළවා හැර සිව් දෙසට ගියේ එම ප‍්‍රදේශයන් පුරා තිබෙන සියලූම කුඹුරුවල වී ගොවිතැන් පොළවට සමතලා කරමිනි. පොල්ගසක් කුඹුරක ඇදගෙන ගියා සේ සියලූම කුඹුරු පොඩි පට්ටම් වී ගොස් විනාශව ගිය නිසා වී ගොවිතැන් කළ කිසිවකුට වී නැළියක්වත් ලබා ගන්නට නොහැකි විය. මේ අතර රත්නපුර කුරුවිට දෙසට ගිය එක් නාගයකු සියලූම කුඹුරු පොඩිකර දැමුවත් එක් කුඹුරක කුඩා කොටසක් පමණක් ඉතිරි විය. එම කොටසේ පමණක් නැළියක් පමණ වී කපා ගන්නට හැකි විය. ඒ නිසා එම කොටස ‘‘එක්නැළිගොඩ’’ ලෙස නම් විය. අදද එම ප‍්‍රදේශය කුරුවිට ප‍්‍රදේශයේ තිබෙන ගම්මානයකි. මෙහි පිහිටි වලව්ව හ`දුන්වන්නේ ‘‘එක්නැළිගොඩ වලව්ව’’ ලෙසය. එක්නැළිගොඩ වලව්වේ සිටි එක්නැළිගොඩ මොහොට්ටාල, ශ‍්‍රී වික‍්‍රමරාජසිංහ රජු ඉංග‍්‍රීසීන්ට අල්වා දුන් රදළ නායකයා ලෙස ඉතිහාසයේ සඳහන් වේ.

 සියලූම කුඹුරු පොඩි පට්ටම් කර සබරගමුව වී වලින් ශුන්‍ය කර බුදුන්ගේ වෙළට ආපසු පැමිණි නාගයන් සිව්දෙනා යළිත් පොළොව පලාගෙන නාග ලෝකයට පිටත් වූ බව ජනප‍්‍රවාදයෙහි සඳහන් වන කරුණකි. බුදුරජාණන් වහන්සේ උපන් ශාක්‍ය වංශය ඒ පරපුරෙන්ම සුපිරිසුදු වූ උභය කුලයකින් බිහිවූ ‘‘විඩුඩභ කුමාරයාණන්” විසින් විනාශ කළේ සිත්පිත් නොමැති ආකාරයටය. විඩුඩභගෙන් බේරීමට ශාඛ්‍යයෝ විවිධ වෙස්ගෙන ලංකාවට අවුත් කතරගම පදිංචි විය. ඔවුන් එනවිට රැුගෙන පැමිණි මහාර්ඝ වස්තුවක් වූයේ සිදුහත් කුමරු පාවච්චි කළ ම`ගුල් කඩුවය. එම මඟුල් කඩුවෙන් කෙස් වැටිය කපා දමා සිදුහත් කුමරු වෙසක් පොහොදා පැවිදි විය. කවදාවත් කිසිවකු කපා දමන්නට හෝ මරා දමන්නට ප‍්‍රයෝජන නොගත් මෙම කඩුව ඡුන්න ඇමැතියා විසින් ආපසු සුදොවුන් රජුට කුමරුගේ ඇඳුම් ආයිත්තම් සමඟ ආපසු ගෙනැත් දුනි. ශාඛ්‍ය පරපුරේ මහාර්ඝ වස්තුවක් ලෙස සුරැකි මෙම මඟුල් කඩුවද රැගෙන ලක්දිවට පැමිණි ශාඛ්‍ය කුමාරවරු කතරගම පදිංවි විය. එම ප‍්‍රදේශයට කතරගම යන නම ලැබුනේද එම ශාක්‍ය කුමාරවරු පදිංචි වූ නිසාය. ශාක්‍ය ග‍්‍රාම, ක්ෂත‍්‍රීය ග‍්‍රාම, කාජර ග‍්‍රාම පසුව කතරගම වූ බව පෙනී යයි. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන විට ශාක්‍යයෝ කතරගම රජකම් කළහ.

 වර්තමාන කිරිවෙහෙර දාගැබ පිහිටි බිමෙහි වාඩි වී මහසෙන් රජු ඇතුළු පිරිසට දහම් දෙසූ තැන් ඉදිකළ මහා දැගැබ කිරිවෙහෙරයි. කිරිවෙහෙර ධාතු ගර්භයේ නිධන් කළ මහා අනර්ඝ වස්තුන් අතර ශාඛ්‍යන් පිදු සිදුහත් කුමරුගේ මඟුල් කඩුවද විය. පොත පතෙහි හෝ සෙල්ලිපි වල සඳහන් නොවුනත් බුදුපියාණන් මෙම කතරගම පුණ්‍ය භූමියෙහි පිහිටි මැණික් ගංගාවෙන්ද ස්නානය කළ බව සිතිය හැක. මෙම ප‍්‍රදේශයද අයත් වන්නේ බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම වැඩම කළ ඌව දනව්වටය.

 බුදුරජාණන් වහන්සේගේ තවත් සිරිපා සටහනක් අනුරාධපුර ජේතවනාරාමය පිහිටි ස්ථානයේද තබා ඇති බවට සඳහන් වේ. එම පා සටහන තැබූ කුඩා කඳු ගැටය වටකර එම ජේතවනාරාම දාගැබ මහසෙන් රජු බැඳවූ බවටද අදහසක් පවතී. බුදුපියාණන් ලංකාවට වැඩම කළේ නැතැයි සමහරු පුහු තර්ක, විතර්ක ගෙනහැර දක්වති. මේ අතර ආචාර්ය මහාචාර්යවරුද, ඇතැම් ස්වාමින් වහන්සේලාද සිටිති. නමුත් බුදුපියාණන් ඉන්දියාවේ වැඩම කළ ගම්බිම් වලද උන්වහන්සේ වැඩම කළ බවට, දහම් දෙසූ බවට, වස් විසූ බවට කිසිම සෙල්ලිපියක් සොයා ගෙන නැත. ඒ අනුව ඉන්දියාවේ බුදුපියාණන් නොසිටියා යැයි කියන්නට හැකියාවක් වේද? බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මය ජීවමානව පවතින්නේ මේ උතුම් වූ ශ‍්‍රී ලංකාද්වීපයේය. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන පූජා වස්තූන් රාශියක් අප රටේ ඇත. දිනපතාම ඒ ශුද්ධ වස්තූන් වන්දනාවට, පූජාවට ලක්වෙයි. එබැවින් බුදුරජාණන් වහන්සේ හා ලංකාව අතර ඇති සබඳතාවය සුළුපටු නොවේ. සියලූ බැඳීම් වලින් මිදුන බුදුරදුන්ට ලංකාද්වීපය හා ඇති බැඳීමෙන් මිදීමට අපහසු වී ඇති බව පෙනී යයි. ඒ ලංකාද්වීපයම කාන්දමට යකඩයක් ඇදෙන්නා සේ බුදු රුවට ඇදී බැඳී ගොස් ඇති බැවිනි. අප රටක් හැටියටත් ජාතියක් හැටියටත් තව වසර 2500 ක්ම ඒ රන් හුයෙන් වෙලී බැඳී පවතිනු ඇති බව නොඅනුමානය.

 අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා

advertistmentadvertistment
advertistmentadvertistment