සිරිල් ගාමිණී පියතුමාගෙන් සීඅයිඞීය පැය 7 ක් ප‍්‍රශ්න කරයි

111

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පාස්කු ප‍්‍රහාර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඊයේ (15 දා) පැය හතක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිරිල්  ගාමිණී පියතුමන්ට දැනුම් දීමක් කර තිබිණි. ඒ අනුව ඊයේ පෙරවරු 9.45 ට පමණ එතුමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස 5.00 වන තුරු පැය 7 ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කරන ලදී.

ඒ අනුව මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ එම දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

එහිදී සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණ.

මෙම පෙත්සම තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත් අතර නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන බවයි.

ඒ අනුව ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සුදුසු දිනයකදී සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන් කැඳවා මෙම ප‍්‍රකාශය ලබා ගැනීම සිදු කෙරිණි.

අද (16 දා) උදෑසන යළිත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පියතුමන් වෙත ඊයේ දැනුම්දී තිබුණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment