සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණෙන රථවාහන මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් නගරය තුළ අනවශ්‍ය රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම තදබදය අවම කරගැනීම සඳහා මහනුවර නගරයට රථවාහන ඇතුල්වීම ඊයේ (17 දා) සිට සීමා කිරීමකට ලක් කෙරිණි.
සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණෙන වාහන පහත සඳහන් ස්ථානයන්හි ගාල්කිරීමට කටයුතු කර බැතිමතුන්ගේ පහසුව සඳහා එම ස්ථානවල සිට සහන ගාස්තුවක් යටතේ විශේෂ බස්රථ සේවා මගින් ශ්‍රී දළදා මාලිගාව දක්වා ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත.
- ගම්පොළ හා කොළඹ දෙස සිට පැමිණෙන වාහන ගැටඹේ හන්දියෙන් නවත්වා එම වාහන ගැටඹේ ක්‍රීඩාංගණයේ හා ගන්නෝරුව මාර්ගයේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
- කුරුණෑගල කටුගස්තොට මාර්ගය දෙසින් පැමිණෙන වාහන 4 කණුව අසල නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
- මඩවල මාර්ගයේ පැමිණෙන වාහන පොල්ගොල්ල මහින්ද රාජපක්‍ෂ රඟහල් භූමියේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
- මාතලේ මාර්ගයෙන් පැමිණෙන වාහන රා කඩේ හන්දියෙන් ධර්මාශෝක මාවතේ නැවැත්වීමට පහසුකම් සලසා දී ඇති අතර සැහැල්ලු වාහන පී. ටී. රාජන් ක්‍රීඩාංගණයේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
- මහියංගණය (18 වංගුව) දෙස සිට පැමිණෙන වාහන පල්ලෙකැලේ බණ්ඩාරනායක විද්‍යාල ක්‍රීඩාංගණයේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
- බදුල්ල දෙස සිට පැමිණෙන වාහන ගුරුදෙණිය ප්‍රදේශයේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
එමෙන්ම මහනුවර නගරය හරහා ධාවනය කරනු ලබන දුර ගමන් බස් සේවා හා මහනුවර නගරයෙන් ආරම්භ වන ගමන් සේවා බස්රථ එලෙසම ක්‍රියාත්මක වන අතර එම බස්රථ YMBA අසල රජපිහිල්ල බස්රථ ගාල හා බෝගම්බර ක්‍රීඩාංගණය ඉදිරිපිට පමණක් නවතා තැබීමට කටයුතු කරනු ලබයි. තවද කෙටි ගමන් වාර බස්රථ නගරය තුළ නවතා තැබීමට අවසර ලබාදෙනු නොලැබේ.
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය හරහා පැමිණෙන වාහන සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.
- කුරුණෑගල, මාතලේ මාර්ගවල සිට මහනුවර නගරය හරහා කොළඹ, නුවරඑළිය දෙසට ගමන් කරන වාහන කටුගස්තොට පාලම අසලින් ගොහාගොඩ මාර්ගය ඔස්සේ පේරාදෙණිය දෙසට ගමන් කර කොළඹ සහ නුවරඑළිය දෙසට ගමන් කළ හැකිය.
- කොළඹ නුවර මාර්ගයේ සහ නුවරඑළිය දෙස සිට කුරුණෑගල මාතලේ මහියංගණය දෙසට ගමන් කරන වාහන පේරාදෙණිය ගොහාගොඩ මාර්ගයෙන් පැමිණ කුරුණෑගල, මාතලේ සහ මඩවල හරහා මහියංගණය දෙසට ගමන් කළ හැක.
- බදුල්ල දෙසට ගමන් කරන වාහන මහයියාව බිංගෙය අසලින් ධර්මාශෝක මාවත ඔස්සේ තැන්නේකුඹුර හරහා බදුල්ල දෙසට ගමන් කළ හැක.
තම දෛනික අවශ්‍යතා සඳහා මහනුවර නගරය වෙත පැමිණෙන මහජනතාවගේ වාහන නගරයේ නවතා තැබීමට අවසර ලබා නොදෙන බැවින් එම වාහන නවතා තැබීම සඳහා පහත රථගාල් භාවිතා කළ හැක.
- වේවැල්පිටිය ක්‍රීඩාංගණය අසල රථ ගාල – සැහැල්ලු වාහන
- සහස් උයන රථගාල – සැහැල්ලු වාහන
- ගැටඹේ මහානාම ක්‍රීඩාංගණය – සැහැල්ලු වාහන
- මහයියාව සුසාන භූමිය ඉදිරිපිට – බස් රථ
- ධර්මාශෝක මාවත මහ වැංගුවේ සිට ජපන් කඩේ හන්දිය දක්වා මාර්ගය – බස්රථ
- KMC රථගාල – සැහැල්ලු වාහන
YMBA අසල රජපිහිල්ල බස්රථ ගාල – බස්රථ
- කරලිය රථගාල – සැහැල්ලු වාහන
- බෝගම්බර බන්ධනාගාරය ඇතුළත – බස්රථ
- බෝගම්බර ක්‍රීඩාංගණය – බස්රථ
- තැන්නේකුඹුර හන්දියේ සිට හාරගම මාර්ගයේ වම්පස – බස්රථ
- SWRD බණ්ඩාරනායක මාවත – බස්රථ
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව තුළ පහත ස්ථානවල මාර්ග බාධක යොදවා ඇත.
- විලියම් ගොපල්ලව මාවත හීරැස්සගල හන්දිය
- සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ගැටඹේ
ක්‍රීඩාංගණයේ ගේට්ටුව අසල
- අම්පිටිය රතු බෝක්කුව අසල
- මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණය අසල
- ලේවැල්ල පාලම
- තැන්නෙකුඹුර මාර්ග බාධකය
- කටුගස්තොට පාලම අසල
- කඩුගන්නාව මාර්ග බාධකය
- දොඩම්වල පාලම අසල
- හන්තාන පාර IFS ආයතනය අසල
- පොල්ගොල්ල වේල්ල අසල
- බෝතලාපිටිය මාර්ග බාධකය
- බලකඩුව මාර්ග බාධකය
- දිගන හන්දිය
සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණීමේදී සුදුවතින් සැරසී පැමිණෙන ලෙසත්, විශාල ප්‍රමාණයේ ගමන් මළු, කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විiුත් උපකරණ ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව හා රථවාහන පාලනය වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, පොලිස් නිල සුනඛ අංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවේ නිලධාරීන් ද රාජකාරි සඳහා යොදවා සිටී.
සමන්ති වීරසේකර