සිරි වෙසඟ, නිවන් මග සහ භික්ෂු චර්යාව

569

ඉකුත් සිකුරාදට යෙදී තිබුණු වෙසක් උළෙලෙහි සුවඳ තවමත් පවතී. ජනවාරි 1 දා සතුට එදා රෑ 12 න් අවසන් ය. සිංහල අවුරුද්දේ සතුට අප්‍රේල් 15 දා වනවිට ඉවරය. වෙසඟෙහි සතුට ඒ ආකාරයේ පැය 24 සතුටක් නොවේ. මේ රට බෞද්ධ රටක් බවට පත්වූ දවසේ සිට අද දක්වාම වෙසඟෙහි සතුට සහ හරය පැය 24 ට සීමා නොවී දිගටම පවතී. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ ස්වකීය විමුක්තිය උදෙසා මෙන්ම සෙස්සන්ට ද විමුක්තිය ළඟාකරදීම සඳහා සොයාගත් නිවන් මග මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කිසියම් මනුෂ්‍යයකු විසින් හෙළි පෙහෙළි කරගන්නා ලද විශිෂ්ටතම මාර්ගය වන්නේය. දැනට මේ රටේ දැහැමි සමාජයටත් විද්වත් සමාජයටත් කිසියම් ප්‍රශ්නයක් තිබේ. එනම් වෙසක් උළෙල එහි සැබෑ අරුත ධ්වනිත වන පරිදි අදටත් ක්‍රියාත්මක වන්නේ ද යන්නය. බුදු සසුන අවුරුදු 2500 ට වඩා පැරණිය. බුදු තෙමඟුල උළෙලක් ලෙස පැවැත්වීමට පටන්ගෙන අවුරුදු දෙදහසක් පමණ ගතවී ඇති බවක් පෙනෙන්නට තිබේ. අවුරුදු දෙදහසක් තිස්සේ යන ගමනකදී බොහෝ දේවල් සිදුවිය හැකිය. ඒ නිසා සමහර දේවල මූලික හරය පමණක් ඉතිරිව තිබෙද්දී කාලයාගේ ඇවෑමෙන් බොහෝ වෙනස්කම් සිදුවේ. බුදු තෙමඟුලෙහි ප්‍රමුඛ අරමුණ වන්නේ ප්‍රතිපත්ති පූජාවයි. මේ අනුව අප විසින් කල්පනා කරනු ලැබිය යුත්තේ ප්‍රතිපත්ති පූජාව නිසි පරිදි සිදුවේ ද යන්න පමණි.

ලෝකය නවීනවත්ම පැරණි දේවල මුල් ස්වරූපය බෙහෙවින් වෙනස් විය. ඉතා ආසන්න උදාහරණයක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාව ගත හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටීස් ලෙස සලකනු ලැබේ. ඔහු උපදින්නේ බුදුන් වහන්සේගේ උපතින් අවුරුදු දෙසීයකට පමණ පසුය. ඔහු ග්‍රීකයෙකි. ග්‍රීසියේ සම්භාව්‍ය යුගය නියෝජනය කළ ඔහු හඳුන්වාදුන් වෛද්‍ය ක්‍රමය ඉතාම ජනප්‍රිය විය. එය මධ්‍යකාලීන යුගය තෙක්ම කිසිදු වෙනසක් නොවී ඒ ආකාරයෙන්ම පැමිණියේය. ලොකුම ප්‍රශ්නය වූයේ කොතරම් කල් ගියත් එය සීමාසහිත වෛද්‍ය ක්‍රමයක් වීමය. හිපොක්‍රටීස්ගේ ප්‍රතිකාර ක්‍රමය අනුව ශරීරයේ ලේ ඉවත් කිරීම යනුවෙන් ක්‍රමවේදයක් තිබිණ. මෙහිදී සිදුවන්නේ කිසියම් රෝගියකු රෝගී වී ඔහුට අධික ලෙස උණ ගැනුණු විට ශරීරයේ අධික ලෙස හටගන්නා අධික රුධිර පීඩනය අඩු කිරීම ය. අද අධික රුධිර පීඩනයට විසඳුම වන්නේ එකම එක ටැබ්ලට් එකකි. එහෙත් එදා එවැනි දේවල් නොතිබිණ. එදා සිදුකළේ බරපතල ලෙස උණෙන් පෙළුණු රෝගියාගේ නහරයක් සිදුරු කර ශරීරයේ ලේවලින් කොටසක් එළියට ගලා යෑමට සැලැස්වීමය. එවිට සිරුරේ ලේ ප්‍රමාණාත්මකව අඩුවීම නිසා රෝගියාගේ රුධිර පීඩනය අඩුවී රෝගියාගේ උණ ද බැස්සේය. නැවත වරක් රුධිර පීඩනය වැඩිවී උණ ද වැඩිවූ විට නැවත මෙයම සිදුකරන ලදි. මෙය නැවත නැවත සිදුකිරීමේදී රෝගියාගේ ශරීරයේ ලේ නිමවී හෙතෙම මළේය. ලෝක ප්‍රකට කවියකු වූ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් මිය යන්නේ ද මෙකී ලේ ඉවත් කිරීමේ ප්‍රතිකාරය නිසාය. එහෙත් අද වනවිට බටහිර වෛද්‍ය විද්‍යාවේ හිපොක්‍රටීස්ගේ වේස්ටේජ් ඉවත් කර වඩා පලදායි වෛද්‍ය ක්‍රමයක් හඳුන්වාදී ඇත.

කාලයාගේ ඇවෑමෙන් බුදු දහමට සිදුවුණේ කුමක්දැයි සොයාබලමු. දහම එසේම පවතී. එහෙත් එය පරිහරණය කරන ඇතැම්මු පල් හොරුය. සමහරු පවුල් හා පන්සල් දෙකම එකට run කළ ගණින්නාන්සේලා හා සමානය. ඇතැම් බෞද්ධ භික්ෂුන් වන්හසේලා අපවත් වූ කල්හි උන්වහන්සේගේ දේපළ බෙදාහදාගැනීම පිණිස ගිහියන් අතර ආරවුල් හටගන්නා තත්ත්වයක් දැන් පැන නැගී තිබේ. කිසියම් භික්ෂුවක් නැසුණු කල්හි උන්වහන්සේගේ මොන්ටෙරෝව තමන්ට අයිති බව කියමින් එක් පුද්ගලයෙක් පොලිසි යයි. උන් වහන්සේගේ ඉඩකඩම් තමන්ට අයිති බව කියමින් තවත් කාන්තාවක් උසාවි යයි. මෙය බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල පරිහානියක් හෝ ශාසනයේ පරිහානියක් නොව එම සසුනෙහි කරණම් ගසන ඇතැම් දුශ්ශීල භික්ෂුන්ගේ හැසිරීමෙහි ප්‍රතිපලයකි. මේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලා විසින් මෑත ඉතිහාසයේ කරන ලද වඩාත්ම නරක සහ වඩාත්ම නිග්‍රහශීලී ක්‍රියාව වූ කලී දේශපාලනය කිරීමයි. භික්ෂුන් වහන්සේලා දේශපාලනයට යෑමත් සමගම පාර්ලිමේන්තුවේ කුණුහරුප වරුසාවලට මැදිවීමට උන්වහන්සේලාට සිදුවිය. එක්තරා අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ සිටි දාමරික සහ දූෂිත දේශපාලනඥකු විසින් සභාගර්භයේදීම යටිකය මඩින ලදි. මෙය කොතරම් නරකට බලපෑවේ ද යත් ඊළඟ ඡන්දයේදී එම භික්ෂු කණ්ඩායමෙන් 75% ක් පමණ දේශපාලනයෙන් ඉවත් වූහ. බලලෝභී භික්ෂුන් කිහිපදෙනෙක් පමණක් කහ සිරුරෙන් කය වසාගෙන දේශපාලන කටුඉඹුලෙහි අදටත් එල්ලී සිටිති. දේශපාලනය කරන භික්ෂුන්වහන්සේලා නිදහසට ඉදිරිපත් කරන කාරණය නම් රජ දවසේ සිට භික්ෂුන් වහන්සේලා රජුට උපදෙස් දුන් බවය. රජාට උපදෙස් දීම එක වැඩකි. රජාගේ ඇමැති මණ්ඩලයේ වාඩි වීම තවත් වැඩකි. උදැල්ලක් ගෙන පොළවෙහි පස් පිඬක් කැපීම පවා භික්ෂුන්ට තහනම් ය. එයට හේතුව පස් කපන විට ඒ තුළ සිටින ගැඩවිලුන්ද කැපීයෑමය. එවිට ප්‍රාණඝාතයක් සිදුවේ. දේශපාලනය යනු වංචා දූෂණ මනුෂ්‍ය ඝාතන යනාදී සියලු අවැඩට මගය. භික්ෂුන් දේශපාලන මගට පිවිසීමෙන් නිවන් මග සම්පූර්ණයෙන්ම රසඩැරි විය.

ගතවූ වෙසක් උළෙලට සමාන්තරව අප සිත්හි උපන් අදහස් මේවාය.

advertistmentadvertistment
advertistmentadvertistment