දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ අවසන්….ඒත් පැමිණි මගේම ඉදිරියටත් යා යුතුයි
2025 අයවැය ඉදිරිපත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වන ණය වාරිකය අපට ලැබී ඇත. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ පවතින මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ තෙවන සමාලෝචනය සම්පූර්ණ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 334ක් පමණ මූල්‍ය පහසුකමක් ඒ සමගම අපට හිමිවිය. ඒ මුදල සමග මෙම විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලබා දී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.34 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව සඳහා වන විශේෂ ගැනීම් හිමිකම් බිලියන 2.286ක ( ශ්‍රී ලංකාවට හිමි කොටස මෙන් සියයට 395ක්) එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ විස්තීර්ණ ණය පහසුකමක් සඳහා අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ 2023 වසරේ මාර්තු මස 20 වැනිදාය.
මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය පහසුකමක් වුවත් වඩාත් වැදගත් වන්නේ එම අරමුදල සමග එකඟ වී අප ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනයි. අප දන්නා පරිදි එය නිර්මාණය කර ඇත්තේ අපේ විනිමය අර්බුදය වසර හතරක කාලයක් තුළ සමනය කර ගැනීමට හැකිවන පරිදිය. ඒ අනුව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් රටේ ආර්ථික තත්ත්වයේ (2022 වසරේ අප මුහුණ දුන් ආර්ථික විපතට සාපේක්ෂව) සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇත. ඒ අනුව මේ වන විට රටේ ආර්ථිකයේ ස්ථායිතාවක් ඇති කර ගැනීමට හැකිව තිබේ. ඒ නිසා මෙය තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය පහසුකමක් පමණක් ලෙස සැලකිය යුතු නොවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ පවතින විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ තෙවන සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසුව 2025 වසරේ පෙබරවාරි 28 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එහි මෙසේ සඳහන් වේ.
“මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් විය. සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2024 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ අනෙකුත් සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරාගන්නා ලදී. 2025 වසරේ ජනවාරි මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. මෑතකදී බැඳුම්කර හුවමාරුව සාර්ථකව නිම කිරීම, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ ප්‍රධාන සන්ධිස්ථානයකි. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම වේගවත් වීමත් සමඟ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ඵල දරමින් පවත’. ආර්ථිකය කෙරෙහි අවදානම් තවමත් පවතින බැවින්, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම දීර්ඝ කාලයක් පුරා පවත්වා ගැනීමට සහ ණය තිරසාරභාවයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තිරසාරව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන මේ වන විට අපි වසර දෙකක පමණ කාලයක් එහි කොන්දේසි හා ඉලක්ක සපුරමින් ක්‍රියාත්මක කර ඇත. එම අරමුදල කියන්නේ එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බවයි. 2022 වසරේ අපි අයිඑම්එෆ් සහාය පතන විට රට තිබුණු තත්ත්වය හා අද තත්ත්වය දෙස බැලීමේ මෙය පැහැදිලි වේ. එහෙත් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග නිසා රටේ පොදු ජනයා තවමත් සැලකිය යුතු ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බව නම් සත්‍යයකි. ඔවුන් විශාල බදු බරකට සහ බඩු මිල පීඩනයකට මුහුණ දී සිටින අතර එයට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම් මට්ටම් වැඩිවී නොමැත. ආර්ථික අර්බුදය නිසා උද්ධමනය සියයට 70 ක් දක්වා වැඩි වූ බව අපට මතකය. මේ වන විට උද්ධමනය අඩු වී අවධමන තත්ත්වයක් ද තිබෙන බව සත්‍යයකි. එහෙත් ඇතැම් භාණ්ඩ මිල ගණන් අඩු වී ඇතත්, ඒ වැඩි වූ බොහෝ මිල ගණන් ස්ථාවර වී තිබේ. කෙසේ වෙතත් පොදුවේ මිල මට්ටමවල වැඩිවීමක් සිදු නොවී තිබීමත් සහනයකි. කෙසේ වෙතත් ජනයාගේ පැත්තෙන් නම් කවදත් ඇසෙන්නේ ජීවන බර වැඩි බවට වන මැසිවිලිය. එහෙත් අප මුහුණ දුන් ඉතිහාසයේ මේ දරුණුතම ආර්ථික හා විනිමය අර්බුදය විසඳා ගැනීම සඳාහා එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අප නොගත්තා නම්, මේ වන විට රටේ ජනතාවට මීට වඩා බෙහෙවින් දරුණු අහිතකර ආර්ථික බලපෑම්වලට මුහුණ දීමට සිදුවන බව ද කිව යුතු වේ. මේ අනුව ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම වේගවත් වීමත් සමඟ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ඵල දරමින් පවතින බව ද මූල්‍ය අරමුදල කියන අතර එය අපට ආර්ථික දර්ශක මගින් ද පැහැදිලි වන්නකි. කෙසේ වෙතත් ආර්ථිකය ස්ථාවර වී හොඳ තැනකට මේ වන විට පැමිණ තිබුණත්, එහි අදහස 2022 වසරේ ආර්ථිකය වැටුණු වළෙන් මුළුමනින්ම ගොඩ පැමිණ ඇති බවක් නම් නොවේ. ඒ නිසා අපට මේ මාර්ගයේ තවත් ඉදිරියට ගමන් කිරීමට තිබෙන බවත් ආර්ථිකයට අවදානම් තිබෙන බවත් අමතක නොකළ යුතුය. මේ අවදානම් තත්ත්වය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ආර්ථිකය කෙරෙහි අවදානම් තවමත් පවතින බැවින්, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම දීර්ඝ කාලයක් පුරා පවත්වා ගැනීමට සහ ණය තිරසාරභාවයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තිරසාරව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.”
ආර්ථිකය මුළුමනින්ම යථා තත්ත්වයට පත්ව නැති නිසා රටේ විනිමය අර්බුදය තවදුරටත් සමනය කර ගැනීමට නම් අපට අයිඑම්එෆ් සහාය ඇතිව මෙතෙක් දියත් කරගෙන පැමිණි ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තවත් වසර දෙකක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. ඒ සඳහා මේ රජය ද කැප වී සිටින බවත් ප්‍රකාශ කර ඇති අතර පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මංගල අයවැය ලේඛනයෙන් ද තහවුරු කර ඇත. එනම් එසේ නොවූයේ නම් අපට අයිඑම්එෆ් සිව්වැනි ණය වාරිකය ලැබෙන්නේ නැත. අපට මේ ණය වාරිකය ලබාදීමට පෙර, එනම් 2025 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමටත් පෙරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ අරමුණු ඉටුවෙන ලෙස අයවැය සම්පාදනය කළ යුතු බවයි. ඒ නිසා මේ අයවැය සකස් කර ඇත්තේ මේ අයිඑම්එෆ් ණය වැඩසටහනේ ඉලක්ක ඉටුකරගත හැකිවන පරිදි එම රාමුව තුළ බව අපට පැහැදිලි වේ. ඒ නිසාම මෙය ඇතැම් අය හඳුන්වා දුන්නේ අයිඑම්එෆ් අයවැය ලේඛනයක් ලෙසය. එහි යම් සත්‍යයක් තිබුණත් එය පූර්ණ සත්‍යයක් ද නොවේ. අයිඑම්එෆ් රාමුව තුළ සිටිමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති මහජනයාට පොරොන්දු වූ වෙනත් ප්‍රතිපත්ති වෙනස්කම් සඳහා වන යෝජනා ද මෙවර අයවැය තුළින් ඉදිරිපත්ව තිබෙන බව අපගේ විශ්වාසයයි.
අමාරු ප්‍රතිසංස්කරණ අවසන්
ආර්ථිකය තවදුරටත් යථා තත්ත්වයට පත්වීම දීර්ඝ කාලයක් පුරා පවත්වා ගැනීමට සහ ණය තිරසාරභාවය ඇති කර ගැනීමට ආර්ථික ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. තවදුරටත් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව විසින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බව අයිඑම්එෆ් මාධ්‍ය නිවේදනයේ ද සඳහන් වේ. එහෙත් මේ වන විට අප බොහෝ දුරට අමාරු ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සමත්ව ඇත. එය මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද පෙරේදා (07දා) මුදල් අමාත්‍යංශයේ පැවති උත්සවයකදී කියා සිටියේය. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා වන දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ බොහෝ දුරට සිදුකර අවසන් වුවත් දැන් සියල්ල අවසන්ය කියා අපට නිකන් සිටීමට හැකියාවක් නැති බවත් සිදුකළ ප්‍රතිසංස්කරණ රැකගනිමින් මේ මාර්ගයේ ඉතාම පරිස්සමින් සහ සැලකිල්ලෙන් යාමට සිදුවෙන බවත් ඔහු අවධාරණය කළේය. ආර්ථිකය අමාරු තත්ත්වයෙන් ගොඩගැනීමට හැකියාව ලැබෙනුයේ ආර්ථික ප්‍රතිසංස්කරණ දිගින් දිගටම කරගෙන ගියොත් පමණක් බව ද මේ ලියුම්කරුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන තවදුරටත් කියා සිටියේය. ඇත්ත වශයෙන්ම ඔහු සඳහන් කළ පරිදිම අප පසු කළේ ඉතාම අමාරු කාලයකි. ඒ අමාරුවෙන් ඇතිකරගෙන තිබෙන ආර්ථිකයේ ස්ථායිතාව රැකගනිමින් අපට තවදුරටත් ඉදිරියට යාමට තිබේ.
මේ නිසා අපට සිව්වැනි ණය වාරිකය ලබා දීමෙන් පසුව අයිඑම්එෆ් එක අපට කියන දේවල් මේවාය. ඒ නිසා අපට අයිඑම්එෆ් එක ලබා දී ඇති පණිවිඩය ඉතාම පැහැදිලි එකක් වන අතර එම එකඟතා ප්‍රකාරව රජයට කටයුතු කිරීමට සිදුවෙනු ඇති බව ද කිව යුතු වේ. අයිඑම්එෆ් මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
දිළිඳුකම පිටුදැකීමට ‘ප්‍රජා ශක්ති’
“දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම හා පවත්වා ගැනීමට, බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැංවීම හා පාලනය ශක්තිමත් කිරීම ඇතුළුව වර්ධනයට නැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් සඳහා මෙම වැඩසටහන සහාය වේ.”
මේ කියන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට ප්‍රමුඛ අවධානයක් යොමු කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා වන ප්‍රධාන අයවැය යෝජනාවක් ද ‘ප්‍රජා ශක්ති’ නමින් මෙවර අයවැයේ ඇතුළත් වේ. වත්මන් ආණ්ඩුව විසින් ද මෙරට දිළිඳුකම තුරන් කර සමාජ සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව නව වැඩසටහනක් මෙසේ ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුගතව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ද හිමිව ඇත. රටේ ජනගහනයෙන් සියයට 25 ක් වැනි ප්‍රමාණයක් මේ වන විට දුප්පත්කමට ඇද වැටී ඇත.
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මෙසේ ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සාර්ථක වෙමින් තිබෙන අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. උද්ධමනය පහළ මට්ටමක පවතී, ආදායම් රැස් කිරීම වර්ධනය වෙමින් පවතී, එමෙන්ම සංචිත අඛණ්ඩව ඉහළ යමින් පවතී. 2023 වසරේ තුන්වන කාර්තුවේ සිට ධන ආර්ථික වර්ධනයක් නැවත ආරම්භ වීමෙන් පසු ආර්ථික වර්ධනයේ සාමාන්‍යය සියයට 4.3ක් විය. 2024 වසර අග වන විට, ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2018 සහ 2023 වසර අතර සිදු වූ ආර්ථික හානියෙන් සියයට 40ක් පමණ යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. 2025 වසරේ දී ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්වීම දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථිකය තවමත් අවදානම් මට්ටමක පවතින බැවින්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය හා ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා සහ දිගුකාලීන අඛණ්ඩ වර්ධනයක් ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ප්‍රතිපත්තිමය වැරදීම් ඇතිවීම සඳහා ඉඩක් නැත.
මෙහි වඩාත්ම අවධාරණය කර ඇති කාරණය ලෙස අප තේරුම් ගත යුතු වන්නේ ප්‍රතිපත්තිමය වැරදීම් ඇතිවීම සඳහා ඉඩක් නැති බවයි. ඒ නිසා අප සිටින්නේ ආර්ථීකය යථා තත්වයට පත් කර ගැනීම සඳහා අත්හදා බැලීම් කළ හැකි මොහොතක නොවන බවත්, ඒ නිසා මේ පැමිණි ගමන් මගේ අනුගමනය කළ ප්‍රතිපත්ති දිශානතියේ වෙනසකින් තොරව ඉදිරියට යා යුතුව තිබෙන බවටත් වන පණිවිඩය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිව්වැනි ණය වාරිකය ලබාදෙමින් අපට පවසා තිබේ.
2022 වසරේ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ රජයේ ආදායම් කඩා වැටීමයි. බදු ආදායම සාපේක්ෂව බොහෝ අඩු මට්ටමක පැවති අතරම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු සිදු කළ දැවැන්ත බදු කප්පාදුව අපේ බදු ආදායමට මරු පහරක් විය. මේ නිසා කඩා වට්ටන ලද රජයේ බදු ආදායම් සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීම අයිඑම්එෆ් වැඩසටහන තුළ සිදුකළ යුතුව පැවති ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් විය. ඒ අනුව බදු වැඩි අනුපාත කිරීමට පසුගිය කාලයේ රජය විසින් ක්‍රියා කළ අතර, එය පසුගිය වසර දෙකක කාලයේ දී සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රාජ්‍ය බදු ආදායමේ සැලකිය යුතු වර්ධනයක් සිදුව තිබේ. එහෙත් තවමත් රජයට බදු සහන දීමට හැකි වාතාවරණයක් උදා වී නැත. ඒ නිසා රජයේ ආදායම් රැස් කිරීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මෙන්ම සමාජ ආරක්ෂණ වැඩසටහන් වඩාත් හොඳින් සහන අවශ්‍ය අය වෙනුවෙන් ඉලක්ක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද ඉදිරි කාලයේ දී සිදුවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙසේ සඳහන් කරයි.
රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ රජයට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සැපයීමට හැකි බව සහතික කිරීම සඳහා තිරසාර ලෙස ආදායම් රැස්කිරීමේ ප්‍රයත්නයන් ඉතා වැදගත් වේ. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු නිදහස් කිරීම් වලින් වැළකී සිටීම ප්‍රධාන වේ. ආර්ථික දුෂ්කරතා ලිහිල් කිරීමට සහ දිළිඳු හා අවදානමට ලක්විය හැකි කාණ්ඩවලට ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් වීමේ ක්‍රියාවලියට සහභාගී විය හැකි බව සහතික කිරීම සඳහා, සමාජ වියදම් ඉලක්ක සපුරා ගැනීම සහ සමාජ ආරක්ෂණ ජාලයේ ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑම වැදගත් වේ. ඉදිරි කාලයේදී, සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශයක් සහිතව සාර්ව අන්තර්ගතභාවයකින් යුත් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා, සමාජ සහයෝගය වඩාත් බලපෑමට ලක්වූ පුද්ගලයින් වෙත හොඳින් ඉලක්ක කළ යුතුය.
විදුලි මිල ගණන් යළි වැඩි වෙයි ද ?
පාඩු ලබන සහ අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් වඩා හොඳ තත්ත්වයට පත් කරගනිමින් ඒවායේ මහජනතාව පිට පැටවී ඇති බර අවම කරගැනීමට ද රජය විසින් පියවර ගත යුතු වේ. මේ බව අයිඑම්එෆ් මාධ්‍ය ප්‍රකාශයේ මෙසේ සඳහන් කර ඇත.
“රජය සතු ව්‍යවසායයන්ගේ රාජ්‍ය මූල්‍ය අවදානම් පාලනය කිරීම සඳහා ප්‍රමාදයකින් තොරව පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කිරීම අවශ්‍ය වේ.”
මූල්‍ය අරමුදල මෙහි සඳහන් කර ඇති ප්‍රධාන කරුණක් වන්නේ ප්‍රමාදයකින් තොරව පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කිරීම අවශ්‍ය වන බවයි. මෙහි කියන පරිදි නම් ලංකාව මේ වන විට පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණයෙන් ඉවත් වී ඇත. එනම් දැනට තිබෙන විදුලි මිල ගණන්වලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ වියදම් ආවරණය නොවන බවයි. එය එසේ නම් මූල්‍ය අරමුදල රජයට මේ කියන්නේ විදුලි ගාස්තු නැවත වැඩි කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් රජය හෝ විදුලිබල මණ්ඩලය කියන්නේ කුමක්ද? මේ ගැන රජයේ ස්ථාවරය වහාම ජනතාවට පැහැදිලි කිරීම් වටී. මෙසේ අයිඑම්එෆ් එක අපට මේ අලුත් ණය වාරිකය දීමෙන් පසුව තවදුරටත් කියා සිටින්නේ විදේශ සංචිත (බාහිර ස්වාරක්ෂක) නැවත ගොඩනැංවීමට සහ විදේශීය අංශය නැවත තුලනය කිරීමට පහසුකම් සැලසීම සඳහා විනිමය අනුපාතිකයේ නම්‍යශීලීභාවය අඛණ්ඩව පවත්වා ගැනීම හා ගෙවුම් තුලනයේ පාලන පියවර ක්‍රමයෙන් ඉවත් කිරීම ඉතා වැදගත් වන බවයි. බොහෝ අමාරු වෙනස්කම් සිදු කිරීමෙන් පසුව අප දැන් ආර්ථිකමය වශයෙන් හොඳ තැනකට පැමිණ ඇති නිසා මේ කියන ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීම එතරම්ම දුෂ්කර නොවනු ඇති බව අපගේ විශ්වාසයයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]