අනුරපුර රෝහල් මහාචාර්ය ඒකකයේ
සහෝදරයා අත්අඩංගුවට ගනීවි යැයි කණස්සල්ලෙන් සිටලා
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ අංක 66 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හතළිස් එක් හැවිරිදි රෝගියකු පෙරේදා (26 දා) සවස එහි සිව්වෙනි මහලෙන් බිමට පැන සිය දිවිහානි කර ගෙන ඇත.
අනුරාධපුර සාලියපුර පානියන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. එස්. සේනාරත්න නමැති අය මෙසේ මියගොස් ඇත.
සිය වැඩිමහල් සහෝදරයා පෞද්ගලික හේතුවක් මත සිදුකළ බව කියන පහරදීමක් නිසා ඉකුත් 23 වෙනිදා එම රෝහලේ 11 වාට්ටුවට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර ඔහු මූලික ප්රතිකාරවලින් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂා කිරීම්වලට ලක් කිරීම සඳහා අංක 66 වාට්ටුවට මාරුකර යවා තිබිණ.
තමාට පහරදීමේ චෝදනාව මත සිය සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇතැයි දැඩි කණස්සල්ලෙන් පසුවී ඇති ඔහු කීප වතාවක්ම හොර රහසේම වාට්ටුවෙන් පලායෑමට උත්සාහ කර ඇතත් එය ව්‍යර්ථ වූ පසු මෙසේ සිව්වෙනි මහලෙන් බිමට පැන තිබේ.
එම අවස්ථාවේ ඔහු එම වාට්ටු සංකීර්ණයේ තෙවැනි මහලේ පිටට පන්නා ඇති අගුව සහිත වහළය මතට වැටී පසුව බිමට ඇදවැටී ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා එම රෝහලේ අංක 11 වාට්ටුවට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (26 දා) රාත්‍රියේ මියගොස් තිබිණ.
මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (27 දා) පැවැත්වීමට නියමිතව තිබිණ. අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු