සිව් සිය වසක් පරාදීන වූ ජාතියත් දේශයත් නිදහස් කළ එක්සත් ජාතික පක්ෂය… එජාපයට 75 යි

198

මහාමාන්‍ය ඩි.එස්. සේනානායක මහතා එදා එජාප රැළියක් ඇමතු අයුරු

වර්ෂ 1873 වසරේ පැවැති ඓතිහාසික පානදුරාවාදයත් සමග ලංකාවේ යශෝරාවයත් හා නිර්මලත්වයත් ලොව පුරා පැතිර ගියේ එවන් ජාතියකට, දේශයකට බි‍්‍රතාන්‍යයන් සිදු කරන බලවත් අසාධාරණකම් ලොව හමුවේ කියා පාමිනි. 1880 වසරේදී සිදු වූ ඕල්කට්තුමාගේ පැමිණීමත් සමගම ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නව පිම්මක් පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ ලංකාවේ ප‍්‍රථම ශාඛාව ගාල්ලේදී 1880 වසරේදී ආරම්භ වීමත් සමග ය. දෙවන ශාඛාව කොළඹින් ගොඩනැගුනු අතර එයින් දෙස් විදෙස් අධ්‍යාපනඥයන් ලංකාවට පැමිණෙමින් සිදු කළ නව බෞද්ධ අධ්‍යාපන ප‍්‍රබෝධය මෙරට නිදහස් සටනට එදා මංගල පාවාඩයක් විය.

ඉන්දියානු නිදහස් සටනට නායකත්වය දුන් භාරතීය ජාතික ව්‍යාපාරයේ ආභාෂය ලංකා ජාතික සංගමයට මුල සිටම ලැබීම විශේෂ කාරණයක් විය. ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමන් ක‍්‍රියාත්මක කරන ලද අවිහිංසාවාදී ව්‍යාපාරයට මුල් වූයේ බි‍්‍රතාන්‍යයන් සමග අවි ගැටුමක යෙදීමෙන් ජය ලැබීමක් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව මහත්මා ගාන්ධිතුමා අතීත භාරතීය නිදහස් සටන් අධ්‍යනය කිරීමෙන් ලබා ගත් විශාල දැනුමත් නිසාය. 1857 වසරේ ඉන්දියාවේ ඇති වූ ”සිපොයි” නම් කැරැුල්ල නිසා සිදු වූයේ එහි අසාර්ථකත්වය මත පෙරදිග වෙළඳ සමාගම යටතේ පාලනය වූ ඉන්දියාවේ සියලූම ප‍්‍රදේශ බි‍්‍රතාන්‍ය කිරීටයට අත්පත් වීම ය.

අතීතය මනාව අධ්‍යනය කළ ලංකා ජාතික සංගම් නායකයෝ වටහා ගත්තේ 1818 හා 1848 ලංකා ජාතික විමුක්ති අරගල අසාර්ථක වී රටේ වීර නායකයන්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නටත්, ඇතැමුන්ට රටෙන් පිටුවහල් වීමටත් සිදු වූයේ ඉංග‍්‍රීසින් සමග අවි හරඹයක යෙදී ජය ගැනීම අපහසු බවක් සක් සුදක් සේ පැහැදිලි කරමිනි.

1865 සිට 1873 දක්වා ලංකාවේ පැවැති පංච මහා වාදයන් තුළින් සිංහල අසිංහල හා බෞද්ධ අබෞද්ධ සියලූ දෙනාට යම් යම් ජයග‍්‍රහණයන් භුක්ති විඳීමට හැකි වූයේ කඩුව, හෙල්ල, දුන්න, තුවක්කුව වෙනුවට වාග් ශක්තියේත්, බුද්ධි ප‍්‍රභාවයේත් ශක්තිය නිසා බව රටටම පසක් කරමිනි. එතුළින් ගොඩනැගුණු ජාතික පුනර්ජීවන ව්‍යාපාරය ද, පසුව ගොඩනැගුණු අමද්‍යප සභාව ද, එයින් පසු ගොඩනැගුණු ලංකා ජාතික සංගමය ද යන සංවිධාන ත‍්‍රිත්වය එකම ව්‍යාපාරයක දිගුවක් ලෙස ගලාගෙන ආ බව වටහා ගත හැක.

සිව් සිය වසක් පරාදීන වූ ජාතියත් දේශයත් නිදහස් කළ එක්සත් ජාතික පක්ෂය... එජාපයට 75 යි
එක්සත් ජාතික පක්ෂයේ එදා මෙදා තුර නායකයින්

ලංකා ජාතික සංගමයේ නව අරගල පිළිවෙත නිසා අප රට ක‍්‍රමයෙන් නිදහස් මාවතට තල්ලූ වෙමින් පැමිණි අතර ඉංග‍්‍රීසීන්ට ද නව අරගලයට මුහුණ නොදී සිටීමට අපහසු විය. එහි ප‍්‍රතිඵල වශයෙන් 1920 දශකය උදාවීමත් සමගම ලංකාවේ වෘත්තීය සංගම් පිහිටුවීම ආරම්භ විය. එහි නායකත්වය ගත්තේ ජාතික සංගමයේ ඉදිරි පෙළ නායකයෙකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතා ය.

මිගෙට්ටුවත්තේ ශ‍්‍රී ගුණානන්ද, හික්කඩුවේ ශ‍්‍රී සුමංගල, රාජගුරු වස්කඩුවේ ශ‍්‍රී සුභූති ආදී සංඝ පීතෘවරුන්ගේ අනුශාසනා පරිදි ඕල්කට්තුමන් ඇතුළු පිරිස ගොඩනැගූ බෞද්ධ අධ්‍යාපන නවෝදය මත බිහි වූ පාසල් තුළින් ගොඩනැගුණු උගත් මධ්‍යම පාන්තික පිරිස් ජාතික නිදහස් සටනට එකතු වීම මේ යුගයේදී ආරම්භ විය. ශ‍්‍රීමත් ශ‍්‍රී ආරුමුගම්නාවලර්තුමා ඇරඹූ හින්දු ආගමික අධ්‍යාපන පුනරුදයත්, මුස්ලිම් ජාතික එම්. සී. සිද්ධිලෙබ්බේතුමා ඇරඹූ ඉස්ලාමීය ආගමික පුනරුදයත් දෙවන වරට පවත්වාගෙන යෑමේ වගකීම පැවරුණේ ලංකා ජාතික සංගමයේ දෙමළ සහ මුස්ලිම් නායකයන් හටය.

බෞද්ධාගමික ජාතික පුනරුදය අනගාරික ධර්මපාලතුමා, බ‍්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර තුමන්ලා විසින් මහාබෝධි සමාගම හරහා සිදු වූ අතර, සර් ඞී. බී. ජයතිලක මහතාගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ කොළඹ තරුණ බෞද්ධ සංගමය, බෞද්ධ ජාතික පුනරුදය ඉදිරියට ක‍්‍රියාත්මක කරගෙන යෑමට නායකත්වය දුනි. බෞද්ධයා වෙනුවෙන් සිංහල බෞද්ධයා පුවත්පත ද, ජාතික වශයෙන් සරසවි සඳරැුස, ස්වදේශ මිත‍්‍රයා, සිංහල ජාතිය ආදී පුවත්පත් ද දිනමිණ පුවත්පත ද ක‍්‍රියාත්මක වීම සිදු විය. මුස්ලිම්වරුන් ඇරඹූ මුස්ලිම් නේෂන් පුවත්පත ද ජාතික නිදහසට ජීව වායුව පෙවූ බලවේගයක් බවට පත් විය.

ලංකා ජාතික සංගමයේ දේශපාලන ව්‍යාපාරය තුළ ලද ජයග‍්‍රහණ අතිවිශාලය. ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම, රාජ්‍ය මන්ත‍්‍රණ සභාව ඇති වීම මෙම ක‍්‍රියාදාමයන්හි ප‍්‍රතිපල විය.

පක්ෂය පිහිටුවා වසරක් පිරෙන්නටත් පෙර පැවැති ලංකාවේ ප‍්‍රථම මහ මැතිවරණයේ මුල්ම දින ප‍්‍රතිපලය එක්සත් ජාතික පක්ෂයට ගෙන ආ මුල්ම අමිහිරි අත්දැකීම විය. නමුත් මැතිවරණය අවසන් දිනය වූ සැපැතැම්බර් 20 දින වන විට එක්සත් ජාතික පක්ෂයට සමස්ත මන්ත‍්‍රී පිරිස 95 අතරින් 42 ක් හිමි වී තිබුණු අතර, ස්වාධීන මන්ත‍්‍රීවරු ලෙස 21 දෙනෙකු පත් වී තිබුණි. ලංකා සම සමාජ පක්ෂයට මන්ත‍්‍රීවරු 10 ක් අයත් විය. 5 ක් බෝල්ෂේවික් ලෙනින්ස්ට් පක්ෂයට ද මන්ත‍්‍රීවරුන් 7 දෙනෙකු ද්‍රවිඩ සංගමයට ද, කොමියුනිස්ට් පක්ෂයට මන්ත‍්‍රීවරු 3 ක් ද, ලංකා ඉන්දියානු සංගමයට මන්ත‍්‍රීන් 6 ක් ද කම්කරු පක්ෂයට එක් මන්ත‍්‍රී පදවියක් ද හිමි වී තිබුණි. මේ අනුව 1947 සැප්තැම්බර් 26 වන දින ලංකාවේ නව රජයක් පිහිටුවීමේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි විය. නව රජයක් පිහිටුවීමෙන් පසුව පාර්ලිමේන්තුව හා හා පුරා කියා 1947 ඔක්තෝම්බර් 17 වෙනිදා රැුස්විය.

1936 වසරේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට මාතර මැතිරවණ කොට්ඨාශයේ රාජ්‍ය මන්ත‍්‍රීවරයා වශයෙන් තේරී පත් වූ මෙම රාජා හේවාවිතාරණ මහතා වන අතර ඔහුගේ සොහොයුරු නීල් හේවාවිතාරණ මහතා ගාල්ල දිස්ත‍්‍රික්කයේ උඩුගම කොට්ඨාශයේ රාජ්‍ය මන්ත‍්‍රීවරයා වශයෙන් පත් වී රාජ්‍ය මන්ත‍්‍රණ සභාව එකවර නියෝජනය කළ සහෝදරයන් දෙදෙනෙකු ලෙස ඉතිහාසයට එක් වී ඇත.

එක්සත් ජාතික පක්ෂය මෙරට බෞද්ධ ආගමික පුනරුදයට මුල පිරුවේ සම්බුදු හිමියන් ප‍්‍රථමයෙන් ලක්දිවට වැඩම කර දහම් දෙසූ මහියංගන පුණ්‍ය භූමියේ ඉදි වූ ඉපැරණි දා ගැබ යළි පිළිසකර කරමිනි. ඞී. එස්. සේනානායක මහතාගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කළ එම දා ගැබ් ප‍්‍රතිසංස්කරණය නිමා කිරීමට හැකි වූයේ එතුමාගෙ පුතණුවන් වූ ඩඞ්ලි සේනානායක මැතිතුමාගේ නායකත්වයෙනි. ඞී. එස්. ආරම්භ කළ හැම ගොවි ජනපදයකම අභිනවයෙන් වෙහෙර විහාර ආරම්භ කිරීමට මුල පිරූ අතර, අභිනවයෙන් පිරිවෙණ් ද ආරම්භ කිරීමට අවකාශය ලැබිණි.

මේ සේවාවාන් අතර අනුරාධපුර බුද්ධශ‍්‍රාවක ධර්මපීඨය ආරම්භ කිරීම, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම, සංස්කෘතික ත‍්‍රිකෝණය පිහිටුවීම, දහම් පාසල් දරුවන්ට නොමිලේ දහම් පොත් පත් ලබා දීම, ත‍්‍රිපිටයකය සිංහලට පරිවර්තනය කර ආරාම පිරිවෙණ් පුස්තකාලවලට ලබා දීම. 1972 වසරේ දී පාසල් විෂයන්ගෙන් ඉවත් කළ ඉතිහාසය හා සිංහල සාහිත්‍යය යළි පාසල් විෂය ධාරාවට එක් කිරීම, දළදා මාළිගයේ රන් උයන ඉදි කිරීම, ගම් උදාව යටතේ නව දාගැබ් වහන්සේලා ඉදි කිරීම, කිරි වෙහෙර, සෝමාවතිය, මිරිසවැටිය, ජේතවනාරාමය යළි ගොඩනැංවීම, රජයට පවරාගෙන තිබුණු දළදා මාළිගාවේ මහ මළුව යළි මාළිගයට පැවරීම,

මාළිගාවිල බුදුපිළිමය සහ බෝධි සත්ත්ව පිළිමය යළි ඔසවා තැබීම, කතරගම සිට සිතුල්පව්ව දක්වා සැතපුම් 16 1/2 ක මාවත සැකසීම, සමගි පෙරමුණු රජය මගින් තහනම් කර තිබුණු දඹදිව වන්දනා චාරිකා යළි සාමාන්‍ය ජනතාවට විවර කිරීම, ජාතික කොඩියට බෝ පත් සතරක් එකතු කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සම්බුදු දහම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට බැඳී සිටීම, බුද්ධශාසන අමාත්‍යංශයක් හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවක් පිහිටුවීම එක්සත් ජාතික පක්ෂය මෙරට සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ගත් සේවාවාන් අතර ස්වල්පයක් බව සඳහන් කිරීම 75 වන සංවත්සරය සිහිපත් කරන මේ අවස්ථාවේදී අපගේ වගකීමක් හා යුතුකමක් ලෙස සළකමු. එමෙන්ම පක්ෂයේ සළකුණ ලෙස තෝරාගත්තේ දළදා වහන්සේ වැඩම කරවන ඇත් රජු සංකේතවත් කරමින් ”අලියා” ලකුණ ය. පක්ෂයේ වර්ණය ලෙස බෝපතේ වර්ණය හා ගොයමේ පාට වන හරිත වර්ණය යොදා ගත්තේ ඒ බෞද්ධ පදනම ලොවට පසක් කරමිනි.

පාසල් මට්ටමින් එන්නත් ලබා දීම, ත‍්‍රිපෝෂ ආහාර ලබාදීම ආදියේ සිට වර්තමාන සුවසැරිය දක්වා එක්සත් ජාතික පක්ෂ රජය ක‍්‍රියාත්මක කළ සෞඛ්‍ය සේවාවාන් ප‍්‍රධාන තැනක් ගනී. එමෙන්ම ජයවර්ධනපුර මහා රෝහල, ගාල්ල කරාපිටිය මහ රෝහල ආදී රෝහල් අභිනවයෙන් ගොඩනැගුණු අතර වෛද්‍ය පීඨයක් කරාපිටිය රෝහල ආශ‍්‍රිතව ගොඩනැගීම ද සිහිපත් කිරීම වැදගත් ය. ගොවි ජනපද ව්‍යාපාරය යටතේ සෑම නිවසකටම වැසිකිළියක් ද පිරිසිදු පානීය ජලය ද ලබා දීමට උත්සුක වූ අතර, දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය නගාසිටුවීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යංශ බිහි කර දේශීය වෛද්‍ය ඇමැතිවරයෙක් ද පත් කළේ මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වඩ වඩාත් සුවදායි කිරීම සඳහාය.

එක්සත් ජාතික පක්ෂය සැමවිටම ජාතික හා ආගමික සමගිය ප‍්‍රාර්ථනා කළ පක්ෂයකි. අතීතයේ මුස්ලිම්

ජනතාවගෙන් 95% ක්ම නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂය යි. එක්සත් ජාතික පක්ෂය තරම් මෙරට ගොවිතැනට හා කෘෂිකර්මයට සේවය කළ වෙනත් පක්ෂයක් නොමැත. ඞී. එස්. සේනානායක මහතා රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේදී ආරම්භ කළ ගොවිජනපද ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ බලවත් වී අතිවිශාල කෘෂිකාර්මික බහු කාර්යය සංවර්ධන යෝජනා වලින් මෙරට තුළ ඇති කළ කෘෂි විප්ලවය පැරකුම් රාජ සමයට සම වනවා මිස දෙවෙනි නොවනු ඇත. ගල් ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ වී ගොවි තැන පමණක් නොව වැවිලි බෝගයන් ද ඇති කරමින් සිදු කළ මෙහෙවර ප‍්‍රශංසනීය එකකි. ඒ යටතේ අක්කර දහස් ගණනක් උක් වගාවට යට කර සීනි නිෂ්පාදනය කිරීම සඳහා හිඟුරාන සීනි කර්මාන්තශාලාව ආරම්භ විය. ගල්ඔය ජලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සහ අම්පාර අවට නගර ගම්මාන බිහි කර දිගාමඩුල්ල නව ගොවි ශිෂ්ටාචාරය ගොඩනැගීම සිදු කිරීම එක්සත් ජාතික පක්ෂ රජයේ සේවාවන් අතර මහ මෙහෙවරක් විය. හිඟුරාන හා කන්තලේ සීනි නිෂ්පදන ආයතන වලට අමතරව ජේ. ආර්. ජයවර්ධන යුගයේ පැල්වත්ත හා සෙවණගල ප‍්‍රදේශවල සීනි නිෂ්පාදනය සඳහා දැවැන්ත කර්මාන්ත නිර්මාණය විය.

1968 වසරේදී සී.පී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් ඇරඹි මහවැලි සංවර්ධන බහු කාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමය ජේ. ආර්. රජය ඇරඹීමෙන් පසු වසර 6 කින් නිම කළේ විශ්වකර්ම න්‍යායෙනි. වික්ටෝරියා, කොත්මලේ, මාදුරු ඔය, රන්ටැඹේ ජලාශ වලට අමතරව ලූණුගම්වෙහෙර හා ඉඟිනිමිටිය සංවර්ධන යෝජනා ක‍්‍රම ද අභිනවයෙන් ආරම්භ කළේ මුළු රටටම බත සැපයීම සඳහා ය. රටේ නායකයා ලෙස කුඹුරට බැස වප් ම`ගුල ආරම්භ කළ ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය ගොවියාට විශ‍්‍රාම වැටුපක් ද නිර්මාණය කළේ ගාමිණී ජයසූරිය කෘෂිකර්ම ඇමැතිවරයාගේ සංකල්පයකිනි. මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ බියගම, කටුනායක, නිදහස් වෙළඳ කලාපයන් ද, පසුව කොග්ගල නිදහස් වෙළඳ කලාපය ද පිහිටවූ අතර එතුළින් මෙරට තරුණ තරුණියන් ලක්ෂ ගණනකට නව රැුකියා දොරටු විවෘත කළේ රටේම තරුණ ශ‍්‍රමය ආර්ථික ශක්තිය වෙනුවෙන් යොදවමින් ඔවුන්ගේ ද දිවිමං සවිමත් කිරීමේ අරමුණෙන් ය. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඇති කළ ඇඟලූම් කර්මාන්ත විප්ලවය අද රටේ සුරබිදෙන බවට පත් වී ඇත්තේ එදා එයට විරුද්ධවාදය සිදු කළ අපහාස උපහාස ජය ගනිමිනි.

මෙරට පාලන බලතල විමධ්‍යගත කිරීම යටතේ දිස්ත‍්‍රික් සංවර්ධන සභා ක‍්‍රමය, පළාත් සභා ක‍්‍රමය, ගම් සභා සුළු නගර සභා වෙනුවට ප‍්‍රාදේශීය සභා පාලනය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ක‍්‍රමය එක්සත් ජාතික පක්ෂ රජය බිහි කළ පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන ක‍්‍රමයේ නව සංකල්පයන් ලෙස හැඳින්විය හැක.

1978 දී ඇරඹූ ජේ. ආර්. ජයවර්ධන සංවර්ධන යුගයේදී ලංකාවේ පාලන අගනුවර කොළඹින් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේට ගෙන යෑම එක්සත් ජාතික පක්ෂයේ තුන් කල් දක්නා ඉසිවර නුවණේ ප‍්‍රතිපලයකි. අගනුවර සමග නව පාර්ලිමේන්තු ගොඩනැගිලිද, රාජ්‍ය ආයතනවල මූස්ථානද ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටුවමින් කොළඹ නගරය තුළ ඇති වී තිබූ තද බදය හා අනවශ්‍ය රොක්වීම් වෙනස් කළේය. මේ තත්ත්වයේ ඇති වටිනාකම අවබෝධ වූයේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය සමයේ ජාතික ආරක්ෂාවට තර්ජන ඇතිවන විට පාර්ලිමේන්තු මන්දිරය කොළඹින් බැහැරව තිබීම රටේත්, ජාතියේත් වාසනාවක් ලෙස සැළකීම නිවැරදි යැයි මගේ අදහසය. එමෙන්ම රටට නව ජාතික ධජයක් හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂ රජය ජාතික ගීයක් ද නිර්මාණය කරවා ගත්තේ ය. ඊට අමතරව ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය, ජාතික පක්ෂියා, පළාත් පුෂ්ප හා ධජ රටට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂ පාලන කාලයන් තුළදී ය.

එක්සත් ජාතික පක්ෂ රජයන් බිහි කළ විදේශීය ප‍්‍රතිපත්ති නිසා ලෝකයේ බොහෝ රටවල් සමග ජනතාවට ලැබුණු විවිධ වරප‍්‍රසාද රාශියකි. චීන ලංකා රබර් හා සහල් ගිවිසුම, කොළඹ ක‍්‍රමය මේ අතර ප‍්‍රධාන තැනක් ගනී. ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම, නොබැඳි ජාතීන් අතරට එකතු වීම, ආසියානු සංවිධානයට එකතු වීම සහ වර්තමානයේ ක‍්‍රියාත්මක වන සාර්ක් සංවිධානය බිහි කිරීමට පුරෝගාමී දායකත්වයක් ලබා දීම එක්සත් ජාතික පක්ෂ රජයන් තුළදී සිදු වූ ජාත්‍යන්තර කැප කිරීම් තුළ ප‍්‍රතිපලයන් ය. එක්සත් ජාතික පක්ෂයේ සිව්වන නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් එවකට මුදල් ඇමැතිවරයා වශයෙන් ප‍්‍රැන්සිස්කෝ සමුළුවේදී සිදු කළ දේශනය නිසා ජපානයට නිදහස ලැබුණු බව ලෝකයම පිළිගන්නා කාරණයකි. කුජා රටක් වුවද ලංකාව ජාත්‍යන්තරය තුළ නැගූ හඬ එක්සත් ජාතික පක්ෂයේම හඬ යැයි මගේ අදහසයි.

අතිගරු ඞී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානානයක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, ඞී. බී. විජේතුංග යන පක්ෂ නායකයන් යටතේ පාලනය වූ එක්සත් ජාතික පක්ෂ වර්තමාන නායකත්වය හොබවන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාය.

1952 වසරේ සිදු වූ ඞී. එස්. සේනානායක මහතාගේ හදිසි මරණයෙන් පසු ඊළඟ අගමැති පදවියට පත් වීමට සිටින එකම සුදුස්සා ඩඞ්ලි බව දැනගෙන සිටියේ එස්මන් වික‍්‍රමසිංහ හා සෝල්බරි සාමි පමණි. අගමැති පදවිය ලබා ගැනීමට සර් ජෝන් සියල්ල සූදානම් කරගෙන යද්දි ඩඞ්ලි ද අගමැති පදවියේ දිවුරුම් දීමේ සියලූ කටයුතු මෙහෙයවූයේ එස්මන් වික‍්‍රමසිංහ මහතා විසිනි. 1952 වසරේ මැයි මස පැවැති ලංකාවේ දෙවන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඞ්ලි සේනානායක මහතාට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික දැනුම ලැබුණේ එස්මන් වික‍්‍රමසිංහයන්ගෙනි. 1947 දී ඞී. එස්. හා බණ්ඩාරනායක දෙපළම එක්සත් ජාතික පක්ෂයයෙන් තරඟ වැදුනේ එකම කණ්ඩායමක් ලෙසය. 1951 මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා ඉදිරිපත් වූයේ නව දේශපාලන පක්ෂයක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. සැබැවින්ම එය එක්සත් ජාතික පක්ෂයේ දෙකට වෙන්වීමක් ලෙස සැළකීම වරදක් නොමැත. එසේ තිබියදීත් 1947 මැතිවරණයට වඩා වැඩි මන්ත‍්‍රී සංඛ්‍යාවක් (54 ක්* ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය දෙවන වරටත් රජයක් පිහිටවූයේ එස්මන් වික‍්‍රමසිංහයන්ගේ ද නිවැරදි උපදෙස් හා ක‍්‍රියාමාර්ගයන් මත බවට විවාදයක් නොමැත.

1964 වසරේදී පත්තර පනතට එරෙහිව සී. පී. ද සිල්වා සභානායකවරයා ඇතුළු මන්ත‍්‍රීවරු 14 ක් විපක්ෂයට ගෙන මැතිනියගේ රජය පෙරළා දමා 1965 දී මෙරට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ජාතික රජයක් පිහිටුවීමට මග පෙන්වූ උපදේශකවරයා නොහොත් මහ මොළකරු එස්මන් වික‍්‍රමසිංහ විය. ඔහුගේ පුතණුවන් වූ රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූයේ 1994 වසරේ සිටය. ලංකා විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා නීතිවේදියෙකු ලෙස සිය සේවාව ආරම්භ කළ රනිල් ක‍්‍රියාකාරී එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට එකතු වූයේ 1973 සිටය. ජේ. ආර්. ජයවර්ධන රජයේ ලාබාලතම ඇමැතිවරයා වූ රනිල් පියවරින් පියවර ඉදිරියට ආවේ තමාට පැවරුණු වගකීම් නොපිරිහෙලා ඉටු කරන කීර්තිමත් තරුණ නායකයෙකු ලෙසය. රනිල් තරම් එක්සත් ජාතික පක්ෂයේ අර්බුද වලට මුහුණ දුන් නායකයෙකු නැති තරම්ය. ඔහු මෙරට 5 වරක් අගමැති ධුරයට පත්වෙමින් තැබූ වාර්තාව යළි කිසිවෙකුට බිඳ දැමිය හැකි යැයි සිතීමට අසීරුය. රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරට අගමැති පදවියට පත්වුවත් ජනාධිපති පදවියට පත් වීමට නොහැකි වීම එතුමාගේ අභාග්‍යයක් නොව ජාතියේත්, දේශයේත් අභාග්‍යයකි. ඔහුගේ රජය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් හිතුවක්කාර ලෙස විසුරුවා නොහැරියා නම් ඊළඟ ජනාධිපතිවරණයේදී මෙරට ජනාධිපති වීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට හොඳටම අවස්ථාව තිබුණි. 2005 දී පැවැති ජනාධිපතිවරණයේ දී ප‍්‍රභාකරන් පැනවූ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡුන්දය තහනම් කිරීමේ ක‍්‍රියාමාර්ගය නොවුනා නම් මෙරට ජනාධිපති වන්නේ රනිල් ය. ඔහුට ජනපති පදවිය අහිමි වූවා නොව ඔහුගෙන් උදුරා ගත්තාය.

එක්සත් ජාතික පක්ෂය මෙරටට උරුම කරදුන් අතීත ශ‍්‍රී විභූතියත්, පක්ෂය තුළ අතීතයේ තිබුණු අයෝමය ශක්තියත් 75 වන සංවත්සරය සමරමින් යළි ඉස්මතු කරගෙන ඉදිරියට යා යුතු බව පක්ෂයත් එහි නායකත්වයත් නිලධාරිනුත් වටහාගෙන සිටී. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දර්ශනය වනුයේ බුදුදහම පදනම් කරගනිමින් මේ රට පාලනය කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමය. ඒ අනුව කුමන රජයක් බලයට පත්වුවත් එක පිට එක පවත්වාගෙන යන ”රන් ප‍්‍රතිපත්තියක්” ගොඩනැගීමට රත්තරන් සේ සවිමත්, එසේම වටිනා, එසේම සුරක්ෂිත කරගත යුතු ප‍්‍රතිපත්තියක් ගොඩනැගීමට පියවර ගනිමින් මෙවර සංවත්සරය සමරනුයේ මහත් අභිමානයෙනි.

එක්සත් ජාතික පක්ෂයේ අතීතය දෙස බලන විට එදා මෙදා තුර මේ රට පාලනය කළ සියලූම පක්ෂ නායකයන් ඞී. එස්. සේනානයක මැතිතුමන් බිහිකළ එක්සත් ජාතික පක්ෂයේ ගොඩනැගුණු නායකයන්ගෙන් පැවැත එන්නන් වීම සිහිපත් කළ යුතුම කාරණයකි. ඞී. එස්. ගෙන් පසු රටේ නායකත්වයට පත් වූ ඩඞ්ලි, සර් ජෝන්, එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක යන තිදෙනාම ඞී. එස්. සේනානායක මැතිතුමාගේ ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් විය. සිරිමා මැතිනිය ඒ ඇමැති මණ්ඩලය නියෝජනය කළ බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රිය බිරිඳය. චන්ද්‍රිකා මැතිනිය ඞී. එස්. ගේ ඇමැති මණ්ඩලයේ සිටි බණ්ඩාරනායක මහතාගේ දියණියකි. මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යනු එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන විට එම පක්ෂයේ ආරම්භකයෙකු වූ ඞී. ඒ. රාජපක්ෂ මහතාගේ පුතණුවරුන්ය. ඞී. බී. විජේතුංග යනු එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන විට සිටි නායකයෙකු වූ හිටපු අමාත්‍ය ඒ. රත්නායක මහතාගේ ලේකම්වරයාය. ඒ වගේම මෛත‍්‍රීපාල සිරිසේන යනු ඞී. එස්. ආරම්භ කළ ගොවි ජනපද ව්‍යාපාරය තුළින් ගොවි ගෙදරකින් මතු වූ නායකයෙකි.

2019 පැවැති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට යළි පරාජය අත් වූ අතර ඊට පසු පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් කැඞී වෙන් වී වෙනම සංවිධානයක් ලෙස ඉදිරිපත් වූ නිසා පක්ෂයට අත් වූ ක්ෂණික පරාජය සියල්ලෝම දන්නා කරුණකි. එයින් පක්ෂයට මුලින් ඇති වූ අමිහිරි තත්ත්වය අද සමස්ත ශ‍්‍රී ලංකාවම වෙලාගෙන ඇත. මේ අවස්ථාවේදී ලක් දරණී තලයත්, එහි වෙසෙන ජනතාවත්, සතා සිව්පාවත්, ගහ කොළ පරිසරයත්, ඇළ දොළ ගංගාත් ඇතුළු සියලූ සම්පත් ආරක්ෂා කර අනාගත පරපුරට පැවරීමේ මහා භාරදූර වගකීම එක්සත් ජාතික පක්ෂයේ කර උර මත තිබෙන බව අද මුළු මහත් ශ‍්‍රී ලංකාවම වටහා ගෙන ඇත. එබැවින් මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ වගකීම හා ඉදිරි කාර්යය භාර්යය අපි මනාව අවබෝධ කරගනිමින් යළිත් මේ රට තුළ ධර්මද්වීපයක්, ධාන්‍යාගාරක්, ස්වයංපෝෂිත දේශයක් බිහි කර පෙරදිග මුතු ඇටය, මුතු ඇටයක්ම බවට පත් කරන්නට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු. ආ ගමන අභිමානවත්ය. ඉදිරිය ද එසේ වනු නොඅනුමානය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති,
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment