සිසුන් බිල්ලට ගන්නා අය කොතලාවලට බයද? මහාචාර්ය සුනිල් සෙනෙවිගේ ලිපියට පිළිතුරක්…

645

මේ දිනවල ආණ්ඩුව ”ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත” නමින් පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට සූදානම් වන අතර ඒ පිළිබඳ රට තුළ බරපතල විරෝධයක් මතුවී තිබෙන බව යථාර්ථයයි. මේ අතර මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ”ඉරිදා දිවයින” පුවත්පතට ලියන ලද ලිපියකට අප විසින් ලියන ලද පිළිතුරු ලිපියකට ප‍්‍රති උත්තරයක් ඔහු විසින් ලියන ලදුව 2021-08-15 වන දින ”ඉරිදා දිවයින’හි පළව තිබුණි. මෙම ලිපිය ලියැවෙන්නේ එයට පිළිතුරක් ලෙසිනි. කරුණු කාරණා පැහැදිලිව තේරුම්ගත හැකි වන පරිදි සාකච්ඡා කළ යුතු කරුණු පෙළ ගස්වා ගැනීම සිදුකරනු ලබන්නේ 1. මහාචාර්ය සෙනෙවිගේ පළමු අදහස් දැක්වීම, 2. මා විසින් එහි සාවද්‍ය තැන් පෙන්වා දීම, 3.මහාචාර්ය සෙනෙවිගේ ප‍්‍රති උත්තරය, 4. නවක වධය සහ විනය, 5.පෞද්ගලික සරසවි සහ අධ්‍යාපන වෙළෙඳ කරණය, 6.කඳු මුදුනට නැඟ ගල් පෙරලීම වශයෙනි.

  1. මහාචාර්ය සෙනෙවිගේ පළමු අදහස් දැක්වීම

2021 අගෝස්තු 01 වන දිනැති ”ඉරිදා දිවයින” පුවත්පතේ ”මිලිටරි අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය දෙකම නසන කේ.ඞී.යූ.පනත” යන හිසින් ”මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි” සිය පළමු අදහස් දැක්වීම සිදුකර තිබුණි. කොතලාවල පනතේ විෂය කරුණු එකිනෙක ගෙන ප‍්‍රශ්න කරනවා වෙනුවට එමගින් සිදුකර තිබුණේ කොතලාවල විශ්වවිද්‍යාලය, මිලිටරීකරණය, විනය ආදී වෙනත් කරුණු සම්බන්ධයෙන් ඔහු විසින් දරණ මත කිහිපයක් ඉදිරිපත් කිරීමය. මෙම කරුණු පැහැදිලිවම සාවද්‍ය සහ ජනතාව නොමග යවන සුළු වන බැවින් කිසිවකු විසින් නිවැරදි තත්ත්වය පහදා නොදුනහොත් ඒවා සත්‍ය කරුණු ලෙස සමාජයේ මුල් බැසගන්නවා ඇත. පුරවැසියකු ලෙස මා විසින් සිදුකරන ලද්දේ මෙම සමාජ වගකීම ඉටුකිරීමට උත්සාහ දැරීමය.

  1. මා විසින් එම ලිපියේ සාවද්‍ය තැන් පෙන්වා දීම

ඒ අනුව මා විසින් මහාචාර්ය සෙනෙවිගේ ලිපියේ වන සාවද්‍ය තැන් පෙන්වා දෙමින් ලිපියක් ලියන ලද අතර එය 2021 අගෝස්තු 07 වන දිනැති ”ඉරිදා දිවයින” පුවත්පතේ ”කොතලාවල පනත ගැන හිතළු කථා එපා” යනුවෙන් පළවිය. එම ලිපිය පැහැදිලිවම කොතලාවල පනත ගැන හෝ එහි හොඳ නරක ගැන විග‍්‍රහයක් නොවන අතර මහාචාර්යවරයාගේ ලිපියේ ඇතැම් කරුණුවල සදොස් තැන් පෙන්වා දීමක් පමණක් බව මා එහි පැහැදිලිවම කියා ඇත. එහිදී ”හමුදා විනය සහ සිවිල් විනය යනු අසමාන කාරණා දෙකක්” බවට මහාචාර්ය සෙනෙවි විසින් දක්වන ලද වැරදි අදහස කරුණු සහිතව එසේ නොවන බව ලියුම්කරු විසින් පැහැදිලි කර ඇත. එසේම ”කොතලාවල සරසවියේ දණ්ඩ නීති සංග‍්‍රහයක් බඳු විනය නීති සංග‍්‍රහයක් පවතින බවත් ඒ බව දන්නේ නම් දෙමව්පියන් තම දරුවන් කිසිවිටෙකත් එහි නොයවනු ඇති බවටත් ඔහු කරන ප‍්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර එහිදී කොතලාවල ඇතුළු සියලූ රාජ්‍ය සරසවිවල ඒවාට ආවේනික විනය නීති සංග‍්‍රහයන් පවතින බවත් ඒවායේ අන්තර්ගතය බෙහෝ සෙයින්ම එකිනෙකට සමාන බවත් අප උදාහරණ සහිතව පෙන්වා දී තිබේ. තවද ”සරසවියක් බඳු ප‍්‍රඥාවේ ගිරි මුදුනක් මිලිටරි නායකයන්ට සහ අන් අයට වටහා ගැනීමටවත් නොහැකිය” යන උද්දච්ච ප‍්‍රකාශය සම්බන්ධයෙන් වන විට එවැනි ස්ථානයන්හී වර්තමානයේ වන කනගාටුදායක තත්ත්වය අප පෙන්වා දී ඇත. තවද ”මිලිටරීකරණය යනු තියුණු සංකල්පයකි.” යනුවෙන් ඔහු විසින් දක්වන ලද සම්පූර්ණයෙන්ම වැරදි සහගත නිර්වචනය එසේ නොවන බව අප පැහැදිලිව කියා ඇත. මේ අතර තමන්ගේ වැඩවසම් චින්තනය හෙළිදරව් කරමින් ”තමන්ට මිස අන් පුද්ගලයන්ට සිතාගැනීමටවත් නොහැක” යනුවෙන් සිදුකරන ප‍්‍රකාශයන්ද, ”සරසවි යනු කිසි ලෙසකින් පාලනය කළ නොහැකි අඩවි” වශයෙන් සිදුකරන ළදරු ප‍්‍රකාශයන්ද අපගේ විවේචනයට විෂය විය. තවද ”මිලිටරියට විශ්වවිද්‍යාලය කිසි ලෙසකින් නොපවරමු!” යනුවෙන් ඔහු ඉදිරියට දමන ලාභ සටන් පාඨයත්, ”කොතලාවල යනු රාජ්‍ය පෞද්ගලික සරසවියකි” යනුවෙන් සිදුකරන අන්තගාමී ප‍්‍රකාශයත් නිවැරදි නොවන බව පෙන්වා දීම මූලික වශයෙන් අපගේ ලිපිය මගින් සිදුකෙරිණි.

  1. මහාචාර්ය සෙනෙවිගේ ප‍්‍රතිඋත්තරය

මේ සම්බන්ධයෙන් වන මහාචාර්ය සෙනෙවිගේ ප‍්‍රතිචාරය 2021-අගොස්තු 15 දිනැති ”ඉරිදා දිවයින” පුවත්පතේ ”නවක වධයට විසඳුම කොතලාවල පනත නෙවෙයි. විහිළු කථා එපා” යන හිසින් යුතුව පළවිය. මහාචාර්ය සුනිල් සෙනෙවි, ”සූරියබණ්ඩාර නමැත්තෙකුට මෙසේ පිළිතුරු ලියමි.” යනුවෙන් ලියා ඇති නමුත් එමගින් සිදුකර ඇත්තේ සඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස බලමින් නන් දෙඩවීම හා සමාන ක‍්‍රියාවක් මිස මාගේ ලිපියේ මතුකර ඇති කරුණුවලට උත්තර බැදීමක් නොවන බව පැහැදිලිව පෙනේ.

එහිදී ඔහු පළමුව කියා සිටින්නේ නැවත ප‍්‍රතිඋත්තර නොලියන බවයි. එයට හේතුව වශයෙන් ඔහු කරුණු තුනක් සඳහන් කරන අතර ඒවා නම් ලිපිය අඟවන අනන්‍යතාවය, කරුණුවල සාවද්‍යතාවය සහ ප‍්‍රස්තූත තර්කනයෙන් පිට පැවතීම යන කරුණුය. කෙසේ වෙතත් මා විසින් දක්වා ඇති කරුණු සාවද්‍ය වන්නේ කෙසේදැයි යන්න හෝ ඒවා තර්කනයෙන් පිට යන්නේ කෙසේදැයි ඔහු කිසිවිටෙක කියන්නේ නැත. විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වන එතුමා සිදු කළ යුතුව තිබුණේ අපගේ කරුණු වැරදි සහගත සහ තර්කනයෙන් පිට පවතින ඒවා වෙත්නම් එම අවස්ථා කවරේදැයි කරුණු සහිතව පෙන්වාදීම මිස අවලාද නගමින් මගහැර යාම නොවන බව ඔහු අවබෝධ කරගත යුතුය. අප කියා ඇති කරුණුවල සදොස් තැන් වෙත්නම් ඒවා නිහතමානීව පිළිගැනීමට අප කැමතිය. නිවැරදි දෙය මතුවන්නේ අදහස්වල එකිනෙක හා ගැටීම මගින් මිස තම ඒකපාර්ශ්වවීය අදහස් බලෙන් අන්‍යයන් මත පැටවීමෙන් නොවන බව ලොව පිළිගත් සත්‍යයයි.

ඔහු කියනා අනෙක් වැදගත් කාරණය ලිපිය අඟවන අනන්‍යතාවය ඔහුට රුචි නොවන බවයි. එසේ කියමින්ම ලේඛකයාගේ අනන්‍යතාවය විමසා සිටීමට ද ඔහු කටයුතු කරයි. මහාචාර්යවරයා මේ සැරසෙන්නේ ලියුම්කරු ආණ්ඩුවේ, මිලිටරියේ, කොතලාවල සරසවියේ හෝ වෙනත් ඔහු රුචි නොවන දේශපාලන පක්‍ෂයක ගොඩට දමා ලියුම්කරුගේ ලිපිය පක්‍ෂග‍්‍රාහී බව කියමින් ඇඟබේරා

ගැනීමටය. අවධාරණයෙන් කිවයුත්තේ මෙය බාල ගණයේ උත්සාහයක් බවයි. ලියුම්කරු ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙක් වන අතර සිය අනන්‍යතාවය නොසඟවා සිය සත්‍ය නාමයෙන් ලිපිය ලියා ඇත. එසේම කිසිදු දේශපාලන පක්‍ෂයක හෝ වෘත්තීය සමිතියක සාමාජිකයකු නොවේ. ඉන් එහා හෙළිදරව් කළ හැකි අනන්‍යතාවයක් අප නම් දන්නේ නැත. පුවත්පත් ලිපියක් ලියන කිසිදු ලේඛකයෙකු ඒ සමග තම හැඳුනුම්පතෙහි හෝ උප්පැන්න සහතිකයෙහි පිටපතක් අමුණන්නේ නැති අතර එවැන්නක් අවශ්‍ය වන්නේද නැත. ගැටිය යුත්තේ අදහස් සහ මතවාද සමග මිස පුද්ගලයා සමග නොවන බව අප මතක තබා ගත යුතුය. අනෙක් වැදගත් කාරණය සංවාදයක් පැවතිය යුත්තේ වෙනස් මත දරන්නන් අතරම වීමයි. කිසිවකු කියනා යමක් විචාරයෙන් තොරව හිස් මුදුනින් පිළිගන්නා එකම කඳවුරේ අයවළුන් අතර සංවාදයක් පැවතීමට ඉඩක් ඇත්තේ නැත.

මෙම ලිපිය පිළිතුරු ලිපියක් ලෙස සඳහන් කර තිබුණත් මහාචාර්ය සෙනෙවි එමගින් ලියුම්කරුගේ පෙර ලිපියේ මතු කළ කොතලාවල සරසවිය, විනය සහ මිලිටරීකරණය ආදී කරුණු සම්බන්ධයෙන් තමන් දැක්වූ අදහස්වල නිවැරදිතාවය පිළිබඳ කිසිවක් කථා නොකරන අතර ඒ වෙනුවට තම ලිපියේ අඩක් පමණ වැය කරමින් නවකවධය පිළිබඳවත් ඒ වෙනුවෙන් තමන් සිදුකරන ලද, ලියුම්කරු වැනි දුහුණන්ට සිතා ගැනීමටවත් නොහැකි විශ්මකර්ම කැපකිරීම පිළිබඳවත් කථා කරයි. මාගේ ලිපියේ දෙවන පරිච්ෙඡ්දයේ වාක්‍ය කිහිපයක් රාජ්‍ය සරසවිවල ක‍්‍රියාත්මක නවක වධය පිළිබඳ කථා කිරීමට වැය කර ඇතත් එය යොදාගෙන ඇත්තේ කොතලාවල විශ්වවිද්‍යාලයේ විනය නීති සංග‍්‍රහය දණ්ඩ නීති සංග‍්‍රහයක් බවට මහාචාර්යවරයා දක්වන ලද අදහස් සම්බන්ධ සාකච්ඡාවේදී උදාහරණයක් ලෙසින් පමණි. එය ප‍්‍රධාන මාතෘකාවක් ලෙස කරළියට ගන්නේ මහාචාර්යවරයා විසිනි. මෙය තේරුම් ගැනීමේ අවුලක් මිස වෙනකක් නොවේ. එසේම මහාචාර්ය සුනිල් ආරියරත්න සම්බන්ධ සිදුවීම මා ඇසින් දුටු නිසා එය සත්‍යයක් බව මට සහතික කොට කිව හැකිය. එය දුටු එකල ශිෂ්‍යයන් වූ තවත් බොහෝ දෙනෙක් මේ සමාජය තුළ සිටින බව නිසැකය. එසේම එම සිදුවීමට එකල පුවත්පත්වලින් පුළුල් ප‍්‍රචාරයක් දුන් අයුරුද අපට මතක තිබේ. සුනිල් සෙනෙවි එය නොදැන සිටීම (හෝ නොදන්නා ලෙස සිටීම) ඔහුගේ අවුලක් මිස අපේ ගැටලූවක් නොවේ. මා උදාහරණ වශයෙන් දැක්වූ පේරාදෙණියේ කාම මිථ්‍යාචාර සිදුවීම ඇතුළු අනෙක් කරුණු පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීමට තරම් ඔහු පරෙස්සම් වන්නේ ඒවා ලේඛනගත සත්‍ය වන බව ඔහුද දැන සිටින නිසාවෙන් බවට සැකයක් නැත.

මෙම සාකච්ඡාව තුළ ”සූරියබණ්ඩාර මහතා නවක වධය පිළිබඳව දන්නේ පුවත්පත්වල පළවූ තොරතුරු මගිනි” යනුවෙන්ද, ”සූරියබණ්ඩාර මහතා ලියා ඇති බොහෝදේ මැසිවිලිය” යනුවෙන්ද, ”මා කළ මැදිහත්වීමේ ප‍්‍රමාණය සූරියබණ්ඩාර මහතාට සිතා ගැනීමටවත් නොහැකිය” යනුවෙන්ද වන අවලාද සහ උද්දච්ච ස්වරූපයේ ප‍්‍රකාශ රාශියක් සුනිල් සෙනෙවි මහාචාර්යවරයා විසින් ගෙන එන නමුත් අප ඒ පිළිබඳව කෝප වන්නේ නැත. අප කියා සිටින්නේ මෙවැනි අවලාද හැසිරීම් මහාචාර්යවරයා වැනි
ගරු කටයුතු පුද්ගලයෙකුට තරම් නොවන බවයි. අන්‍යයන් අවතක්සේරු කිරීමත්, හෙළා දකිමින් බැණ අඬගැසීමත්, ”සියල්ල දන්නේ අප පමණක්මය” වශයෙන් කියා සිටීමත් නොදන්නාකමේ සහ පිරිහුණු බවේ ලක්‍ෂණයක් මිස දියුණු ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ ගුණාංග නොවේ. නැවතත් කියන්නේ මා කියා ඇති කරුණු වැරදි නම් එසේ වැරදි වන්නේ කෙලෙසදැයි නිශ්චිත කරුණු සහිතව හෙළිදරව් කිරීම ඔහුගේ යුතුකම බවයි.

  1. නවක වධය සහ විනය

නවක වධය සම්බන්ධයෙන් මා දක්වා ඇති ඇතැම් කරුණු සාවද්‍ය බව ඔහු කියා ඇතත් ඒ මොනවාදැයි ඔහු කිසිවිට කියන්නේ නැත. මා කියා ඇති කරුණුවල නිවැරදිතාවය වෙනුවෙන් මා නැවතත් පෙනී සිටින අතර ඔහු ඒවා සාවද්‍ය යැයි කියන්නේ ඒ පිළිබඳව නොදන්නාකම නිසා හෝ නොදන්නා ලෙස පෙන්වීමට ඇති කැමැත්ත නිසා විය හැකිය. එසේම සබරගමුව සරසවියේ නවක වධය තුරන් කිරීම සඳහා තමන් මහත් කැප කිරීමක් සිදු කළ බව ඔහු කියයි. එසේ නම් ඔහු කළ ”අපට සිතාගත නොහැකි තරම් වන” මැදිහත්වීම් හේතුවෙන් සබරගමුවේ මතු නොව මෙරට අන් සියලූ සරසවිවලත් නවක වධය නම් ක‍්‍රියාවලිය මේ වන විට අතුගෑවී ගොස් තිබිය යුතුය. එසේ නොවන බව අපි දනිමු. එසේ නම් අපිට සිතන්නට සිදුවන්නේ දශක දෙකකට ආසන්න කාලයක් තුළ සිදු කළ ඔහුගේ මැදිහත්වීම නිෂ්ඵල උත්සාහයක් වී ඇති බව නොවේ නම් අන් කවරක්ද?

එසේම මහාචාර්ය සෙනෙවි කියන පරිදි නවක වධයට බලපෑම් කිරීම සඳහා ඔහු ඇතුළු පීඨ මණ්ඩලය උපාධි ප‍්‍රදානෝත්සවය, සමූහ ඡායාරූප, සාදවලින් වැළකීම, චරිත සහතික නිකුත් නොකිරීම වැනි දැඩි ක‍්‍රියාමාර්ග ද ගෙන තිබේ. එසේ නමුත් මේවා අලූත් සොයාගැනීම් නොවන බව අපි දනිමු. මීට දශක කිහිපයකට පෙරත් ආචාර්යවරුන් මෙම ක‍්‍රියාමාර්ගම අනුගමනය කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහාචාර්ය සෙනෙවි ශිෂ්‍යයෙකු ලෙස සරසවියේදී ලබාගත් සමූහ ඡායාරූපයටත් ආචාර්යවරුන් පෙනී සිටියේ නැති බව අපට මතක තිබේ. සමකාලීන ශිෂ්‍යයකු වූ ලියුම්කරුගේ සමූහ ඡායාරූපයත් එපරිදිය. එහෙත් නවක වධය තවමත් එලෙසමය. නැතිනම් ඊටත් වඩා දරුණුය. ඉදින් නැවත නැවත සිදුකරන එවැනි ක‍්‍රියාමාර්ගයන්හී ඵලදායීත්වය කෙබඳුදැයි කල්පනා කර බැලීම වටින බව පමණක් අපි කියමු. එවැනි තත්ත්වයක් තුළ මෙම නිර්දේශ ඔබේ කාර්යාල කාමරයේ එල්ලාගෙන දිනපතා කියව කියවා සිටීමෙන් ඔබ ලබන ස්වයං තෘප්තියට එහා යමක් රටට ලැබෙන්නේ නැති බව පැහැදිලිය. ගැටලූව විසඳාගැනීමට සැබෑ අවශ්‍යතාවයක් වෙත්නම් සිදු කළ යුත්තේ දශක කිහිපයක් තිස්සේ අසාර්ථක වූ සම්ප‍්‍රදායීක පිළියම් නැවත නැවතත් ක‍්‍රියාත්මක කරනු වෙනුවට කාලයට ගැලපෙන විසඳුම් පිළිබඳ අවධානය යොමු කිරීමයි. ඒ සඳහා පුළුල් සංවාදයක් මෙන්ම ගැටලූව දෙස විවිධ අරමුණු සහ මතවාදයන් කෙරේ වන නැඹුරුතාවයන්ගෙන් තොරව බැලීමත් අවශ්‍ය වනු ඇත.

ලිපියේ මැද කොටසේදී මහාචාර්යවරය සෙනෙවි යළි මෙසේ කියයි.

”රාජ්‍ය සරසවිවල නවක වධය පිළිබඳ නිදසුන් සූරියබණ්ඩාර මහතා දිගු ලෙස විස්තර කර ඇත. ඉන් අඟවන්නේ කොතලාවල සරසවිය තුළ එබඳු නවක වධයක් නැති නිසා එම පනත සුජාත ලෙසින් පිළිගැනුම මේ නවකවධ ගැටලූව විසඳීමට ඇති පිළියම බවයි. මෙය සාවද්‍ය අවබෝධයකි.”

මෙය මහාචාර්ය සුනිල් සෙනෙවිගේ ඒක පාර්ශ්වවීය අදහසකි. ඔහුට එසේ සිතා ගැනීමට කිසිදු බාධාවක් නැති වුවත් සත්‍ය එයින් බොහෝ දුරස්ය. අප නම් කිසිවිටෙක එසේ කියා නැත. එසේ කියන්නේද නැත. නවක වධය පිළිබඳව හෝ කොතලාවල පනත පිළිබඳව හෝ නොව අප අදහස් දක්වා ඇත්තේ ඔහුගේ ලිපියේ වන කරුණු පිළිබඳ පමණි. එසේ හෙයින් කරුණාකර අපගේ ලිපිය නැවත වරක් කියවන මෙන් ඔහු වෙත යෝජනා කිරීමට අප කැමතිය. කෙසේ වුවත් අවසන් විග‍්‍රහයේදී රාජ්‍ය සරසවිවල තිරස්චීන නවක වධයක් පවතින බවත්, දුර්වල පරිපාලනය සහ ශිෂ්‍ය දේශපාලනය විසින් එය වියවුලක් බවට පත්කර ඇති බවට අප දක්වන අදහස සමග ඔහු එකඟව තිබීම ප‍්‍රශංසා කටයුතු බව කිව යුතුය.

  1. පෞද්ගලික සරසවි සහ අධ්‍යාපන වෙළෙඳකරණය

සිය ලිපියේ දෙවන අනු මාතෘකාව වන පෞද්ගලික සරසවි සහ අධ්‍යාපන වෙළෙඳකරණය යටතේ අදහස් දක්වමින් ලියුම්කරු වෙත ද්වේශසහගත චෝදනාවක් එල්ල කරන්නේ මෙලෙසිනි

”කොතලාවල සරසවියේ මුදල් අයකිරීමේ කථාව සත්‍යයක් විය හැකිය යනුවෙන් එතුමා ඉතා ප‍්‍රවේශමට කියයි. මේවාද රැගෙන තර්ක කිරීම නිෂ්ඵල ක‍්‍රියාවකි. ඔහු සත්‍ය දන්නා බැවිනි. සත්‍ය දනිනත් අවශ්‍යතාවය අනන්‍යතාවය හා කොන්ත‍්‍රාත්තුව අනෙකක් වන බැවිනි.”

මෙය කිසිදු පදනමක් නැති අවලාදයක් වන බවට සැකයක් නැත. මහාචාර්යවරයා සිය ලිපියේ මුලදීම අපගේ අනන්‍යතාවය ඉල්ලා සිටින්නේ මේ සඳහා විය හැකිය. ඔහුද කිසියම් දේශපාලන කණ්ඩායමක කොන්ත‍්‍රාත්තුවක් ඉටුකරන බව කියමින් අපට ද මෙම තර්කයෙන්ම මහාචාර්යවරයාට ද දමා ගැසිය හැකිය. අවධාරණයෙන් කිව යුත්තේ සත්‍ය කථා කිරීම සඳහා කිසිවකුගේ කොන්ත‍්‍රාත්තු අපට අවශ්‍ය නොවන බවයි.

මහාචාර්ය සෙනෙවි පූර්ණ අර්ථයෙන් පෞද්ගලික සරසවි ලංකාවේ නැත යනුවෙන් කියා සිටියත් ප‍්‍රායෝගික තත්ත්වය එය නොවන බව අපි දනිමු. කුමන වචන හරඹ පාමින් එය එසේ නොවන බව තර්ක කළ ද එන්.එස්.බී.එම්. හරිත සරසවිය සහ තොරතුරු තාක්‍ෂණ විශ්වවිද්‍යාලය වැනි ඒවා පූර්ණ විශ්වවිද්‍යාල මට්ටමින් ක‍්‍රියාත්මක නොවන්නේයයි කිසි විටෙක කිව නොහැකිය. අධ්‍යාපන ආයතන ගැන ගැඹුරු අවබෝධයක් ඇත්තේ තමන්ට පමණක් යයි මහාචාර්යවරයා කියා සිටින බැවින් එවැනි වෙනසක් ඇත්නම් එය නොදන්නා අපට පහදා දීම ඔහුගේ යුතුකමය. අප නොදන්නා යමක් ඇත්නම් එය නිහතමානීව පිළිගැනීමට අප කැමතිය. අප දකින වෙනස නම් මෙම පෞද්ගලික සරසවි වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වඩා කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස කටයුතු කරන බවත් ආකර්ෂණීය ලෙස ප‍්‍රචාරණයේ යෙදෙමින් සිසුන් තමන් වෙත ඇද ගැනීමට කටයුතු කරමින් වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බවත්ය.

අප සරසවි ශිෂ්‍යයන්ව සිටි කාලයේ සරසවි ශිෂ්‍යාවක් කලිසමක් ඇදගෙන සරසවියට පැමිණියහොත් එය සැලකුණේ මහත් අවකල් ක‍්‍රියාවක් ලෙසිනි. එසේම සරසවියේ පැවැති සංගීත සංදර්ශන ආදී වැඩසටහන්වලදී බටහිරවාදී යැයි සැලකුණ බෙර කට්ටලය හෙවත් ඩ‍්‍රම්ස් වාදනය කෙරුණේ තිරයකින් ආවරණය කරමිනි. අද වන විට විකාරසහගත ලෙස පෙනෙන නමුත් මේවා ඒ කාලයේ සරසවි සිසුන් දිවි හිමියෙන් ආරක්‍ෂා කළ පුරුදුය. සියල්ල කාලයත් සමග වෙනස් වන බැවින් එළඹෙන තත්ත්වයන්ට මුහුණදීමට හිත හදාගැනීමට අපට සිදුවේ. පෞද්ගලික සරසවි පිළිබඳ සංකල්පයත් ඒ සමග ගලපා ගැනීමට හැකිය. අප කැමති වුවත් අකමැති වුවත් එය දැනටමත් අප සමාජ දේහය වසා පැතිරෙමින් ඇත්තේ නැවත ආපසු හැරවිය නොහැකි ලෙසින් බව රහසක් නොවේ. කුමන තර්ක ගෙන ආව ද අවසානයේදී මෙරට රාජ්‍ය සරසවි මගින් ද මුදල් අයකරන පාඨමාලා පවත්වාගෙන යන බවත් කොතලාවල හැරුණු කොට තවත් පෞද්ගලික සරසවි මෙරට පවතින බවත් ඔහු පිළිගෙන තිබේ. ඔහු ඉතා අහිංසක ලෙස කියා සිටින්නේ ඒ සඳහා තමන් වගකිව යුතු නැති බවත් ”මුග්ධ අමාත්‍යවරුන්ගේ කෙළිබිමක් බවට අධ්‍යාපනය පත්වීම පිළිබඳව ලියුම්කරු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කළ යුතු වන බවත්ය.” එසේ නම් මේ සියල්ල සිදුවන කාලයේ මහාචාර්යවරයා මේ පෘථිවි තලයේ නොසිටි බව සිතා සෑහීමකට පත්වීමට අපට සිදුවේ.

  1. කඳු මුදුනේ සිට පහළට ගල් පෙරලීම

අවසන් වශයෙන් මේ ටික සටහන් කර තබමු. කඳු මුදුනට නැගගත් තැනැත්තා තමන් පසුපසින් කන්ද නගින්නන් අතරට කඳු මුදුනේ සිට ගල් පෙරලීම දුෂ්ට ක‍්‍රියාවකි. එමගින් අසීරුවෙන් කන්ද නගින තැනැත්තන් විනාශයට පත්වේ. කඳු මුදුනේ සිටින්නන් පහළට ගල් පෙරලීම ඉඳහිටවත් නොකළ යුතු අතර කන්ද නගින ඊළඟ පරම්පරාවක් ද සිටින බවත් ඔවුන් ද ඉහළට යා යුතු බවත් මතකයේ තබා ගත යුතුය. අප අවසානයට කියන ලද කාරණා සමස්තය සලකා කීවා මිස අප මිත‍්‍ර සුනිල් සෙනෙවි මහාචාර්යවරයා ඉලක්ක කර නොකී බව සැලකුව මනාය. එපමණකි.
අවසන් විග‍්‍රහයේදී රාජ්‍ය සරසවිවල තිරස්චීන නවක වධයක් පවතින බවත්, දුර්වල පරිපාලනය සහ ශිෂ්‍ය දේශපාලනය විසින් එය වියවුලක් බවට පත්කර ඇති බවට අප දක්වන අදහස සමග ඔහු එකඟව තිබීම ප‍්‍රශංසා කටයුතු බව කිව යුතුය.

නන්දජීව සූරියබණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment