* ගුරු ගීතයක් හා ළමා ගීතයක් සූදානම්: වැඩ කෙරෙන්න ඕනෑ හැටි ගැන උපදෙස් මාලාවක්
දීර්ඝ නිවාඩුවකින් පසු සිසුන් 200ට අඩු පාසල් 5106ක සිසුන් 463495දෙනකු වෙනුවෙන් අද (21 දා) පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ පාසල් 450ක්, මධ්‍යම 795ක්, දකුණ 508ක්, උතුරු 636ක්, නැගෙනහිර 550ක්, වයඹ 603ක්, උතුරුමැද 414ක්, ඌව 484ක්, සබරගමුවේ පාසල් 614ක් අද සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය.
මුල් අදියර ලෙස පාසල් ආරම්භ කෙරෙන අද දිනයේ ගුරුවරුන් වෙනුවෙන් නිර්මාණය කළ ගුරු ගීතයක් සහ ළමුන් වෙනුවෙන් නිර්මාණය කළ ළමා ගීතයක් ද ගායනා කරමින් පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද පැවසූ ලේකම්වරයා පාසලක සිටින සිසුන් ඉතා ආදරයෙන් පිළිගැනීම, පාසල සිසුවාට ප‍්‍රියමනාප ස්ථානයක් බවට පත් කිරීම, පාසලට පැමිණීමට පෙළඹවීම ඇති කිරීම, සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැනුවත් කිරීම ඇතුළු උපදෙස් මාලාවක් පිළිබඳව විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබෙන බවද සඳහන් කළේය. කොවිඞ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදීමට නොහැකි වූ බවත් සෞඛ්‍ය උපදෙස් ලැබුණු වහාම පාසල්වල අනිකුත් ශ්‍රේණි ද ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා