සිසුහු ලක්‍ෂ 12 ක් නන්නත්තාරයි! – වර්ජනයට දින 60 යි ආණ්ඩුව නිරුත්තරයි

295

අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගන්න සරසවි ඇදුරන්ට අයිතියක් නෑ – රෝහිණි කවිරත්න

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව වර්ජනය කිරීමට ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට (18 දා) දින 60 ක් ගත වී තිබියදීත් අර්බුදයට විසඳුමක් නොලැබීමෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල සිසුහු ලක්ෂ 12 ක් පමණ නන්නත්තාර තත්ත්වයකට පත්ව සිටිති.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් බැහැර වී සිටීම නිසා රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්ව ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

සිසුන් දෙලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසක් උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර මෙතෙක් ඔවුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වී නැත. මේ හේතුව නිසා සාමාන්‍ය පෙළ (2022) සිසුන් ලක්ෂ පහකගේ පමණ විභාගය පැවැත්වීම අර්බුදයකට ලක්ව ඇතැයි ඇය කියා සිටී. ආචාර්යවරුන්ගේ ගැටලුව නිසා මාස 3 ක් පමණ විශ්වවිද්‍යාල වසාදමා තිබූ බවත් එම නිසා ද්විතීක අධ්‍යාපනය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය පවසයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවකුට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අද අවුරුදු 21 දී උපාධියක් ලබාගත හැකි වුවත්, රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගැනීමේ වයස අවුරුදු 26 ක් බවද ඇය කීවාය. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් පමණ දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා අනුබද්ධ ආයතනවල ඉගෙනුම ලබන බවත් එම ආයතනවල ඉගැන්වීම් කටයුතු සිදුකරන්නේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්ව සිටින ආචාර්යවරුන්ගෙන් කොටසක් බවත් ඇය කියා සිටී.

මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ගෙවීම් ඉහළ දමා ඇති බවත්, එය ප්‍රමාණවත් නැති නම් ආධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන ලෙසත් මන්ත්‍රීවරිය ඉල්ලා සිටියාය. 1988-1994 සමයේ මෙරට විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාද හේතුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතියට දැවැන්ත විනාශයක් සිදුවී තිබූ බවත්, එවැනි තත්ත්වයක් නැවත රටේ ඇති නොවීමට සියලු පාර්ශ්ව වගබලාගත යුතු බවත් ඇය කියා සිටියාය.

රටේ බදු ප්‍රතිපත්තියට විරෝධය දැක්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අයිතියක් ඇතත් රටේ ද්විතීක අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට හැකියාවක් නැතැයි ද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියාය.
චමින්ද සිල්වා


advertistmentadvertistment