සිහින මැකී යන ලෝකය මිරිගුවකි – මහ රහතුන් වැඩි මග ඔස්සේ

335

සුන්දර වස්සානයේ තවත් සතියක් ගෙවී ගිහිල්ලා. වස්සානය දවසින් දවස ගෙවී යද්දී, අපේ උපසම්පදා භික්ෂු ජීවිතවල සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය තව තව දලූ, අතු රිකිලි දමා වැඩෙන්න ඕනේ. එවිටයි සුවසේ විදර්ශනා අරටුව ශක්තිමත් වෙන්නේ. මේ සියල්ලම ශක්තිමත් වුණොත් තමයි, සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය වැඩිවෙන්නේ. උතුම් සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය කියන්නේ රන්වන් පාට ශරීරයක්, සුඛෝපභෝගී වාහනයක්, ඉලක්කම් පහේ වැටුපක්, පදවි, තනතුරු, නිලතල නම් නොවේ. උතුම් සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෛත‍්‍රියෙන්, ශීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන්, නික්ලේෂීව වර්ණවත් වන අපේ භික්ෂු ජීවිත වලටයි. සුන්දර වස්සානය ඔබ අපිව කුටියක, පන්සලක, ආරණ්‍යයක තුන්මාසයක් එක්තැන්කොට විවේකීව තබලා බලාපොරොත්තු වෙන්නේද සංඝ සමාජයේ ආයුෂ, වර්ණය, සැපය, බලයේ දීප්තිමත්භාවයමයි. අද උදෑසනත් භික්ෂුව පිණ්ඩපාතය සඳහා කුටියෙන් එළියට බහිද්දී, මා විසින් සමාදන් වූ වස් ශීලය මේ උදෑසන ආවර්ජනය කරමියි, වස්සානය කෙරෙහි සතිය සිහිය අලූත්කොට ගත්තා.

සිහින මැකී යන ලෝකය මිරිගුවකි -  මහ රහතුන්  වැඩි මග ඔස්සේ

අවිද්‍යාවේ තෙල් මන්ද මෝරද්දී, අපිට යහපත් දේවල් හරි ඉක්මනට අමතකවෙලා යනවා. නිල් පාට, කහ පාට, කොළ එකතුවෙන අයහපත් දේවල් නම්, එ්වා අපිට රාත‍්‍රියේ නිදි පැදුරේදීත්, සිහිනෙනුත් පෙනෙනවා. තෘෂ්ණාවෙන් ජවසම්පන්න වෙන අපේ ජීවිත, අසිහියේ අවියෙන් ශීලය අපයෝජනයට ලක්කොට ගැනීමේ ප‍්‍රවණතාවයන්, බොහොම වේගයෙන් සමාජගත වෙනවා. පුංචි වරදටත් බිය ඇති කොටගත් යම් භික්ෂුවක්, ලොකු වරදක් දකින්නේ මහාමේරුවක් වගේමයි. පුංචි වරදට බියක් නැති භික්ෂුවක්, මහා වරදක් නොපැකිලිව සිදු කරන්නේ, කර්මය කර්මඵල විශ්වාසය බිංදුවටම ඇද දමලා. සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුක ගැන මතකය අසිහියේ සොරා මහ දවල් සොරකම්කොට

ගනිද්දී, අපේ ජීවිත නවතින්නේ කාමයේ සහ රූපයේ, තාවකාලික ආශ්වාදය නමැති නිරුවත් මාර¥තියගේ ඔඩොක්කුවේය. ඇයගේ පහස සුසිනිඳු බව ඇත්ත. එහෙත් ඇය මාරයාගේ දියණියයි. ඇගේ පහසින් අප ලබන දරුවෝ ජාති, ජරා, ව්‍යාධි, මරණයි.

අද උදෑසන පිණ්ඩපාත මඩුවට, ළඟ පාත ගෙදරක සුරතලයට හදන බල්ලෙක් දුවගෙන ඇවිත්, භික්ෂුවගේ සිවුරේ දැවටෙන්න පටන් ගත්තා. භික්ෂුව දායක පිංවතුන්ලාට කියලා එම සතා එතැනින් ඉවත්කළා. පිංවත් ගිහි පිංවතුන් තේරුම් ගන්න ඕනේ, තිරිසන් සතෙක් උපසම්පදා භික්ෂුවකගේ ශරීරයේ දැවටෙද්දී එම භික්ෂුවගේ ප‍්‍රාතිමෝක්ෂ ශීලය දුර්වල වෙනවා. තිරිසන් සතෙක් නිසා උපසම්පදා භික්ෂුවකට, පාරාජිකාවක් සහ සංඝාදිශේෂ ශිල්පද බිඳීමක් සිද්ධවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වන අපිව, තිරිසන් සතුන්ගෙන් විනයානුකූලව ඈත්කොට තබලයි තිබෙන්නේ. සුගතිය අරමුණු කොටගත් අපිට, භව නිරෝධය අරමුණු කොටගත් අපිට, සතර අපා සංඥා බලවත් අනතුරක් වෙනවා. අපි උතුම් විනය ධර්මයන් දෙවැනි තැනට දමලා, තිරිසන් සතුන් සුරතල් කරන්න යනවා නම් අපිට අනාගතයේදී පන්සලක, ආරණ්‍යයක් සුරතල් සතෙක් වෙලා උපදින්න පුළුවන්. ඔය තිරිසන් සතුන් එකම කුළයේ ආත්මභව පන්සියයක් උපදිනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එ් ආත්මභාව පන්සියයෙන් පසු, එම සතුන් පටිච්චසමුප්පන්නව වැටෙන්නේ නිරයන්ටමයි. සුන්දර සුරතල් තිරිසන් ලෝකයේ අසුන්දර භව කතන්දරයයි භික්ෂුව සටහන් තැබුවේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියපු දෙය නාහන භික්ෂුවකට වුවද කැමැත්තෙන්ම ඉහත අවාසනාවන්ත දුක කරා යන්න පුළුවන්. කරුණාකර ගිහි පිංවත් ඔබ පන්සලට, ආරණ්‍යයට මිල අධික සුරතල් බල්ලන්, පූසන්, කූඩුකොට හදන කුරුල්ලන් පූජා කරන්න එපා. මේවා සංඝයාට අකැප මිච්චා පූජාවන්. මෙවැනි මිච්චා පූජාවන් උපසම්පදා භික්ෂූන්ගේ ප‍්‍රාතිමෝක්ෂ ශීලය දුර්වල කිරීමට හේතුවෙනවා. ගිහි පිංවතුන්ලාගේ තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව හීන වෙලා යනවා බුදුරජාණන් වහන්සේට අකීකරු දායක පිංවතෙක් වෙනවා. උතුම් සංඝ සමාජයේ අපිත්, ගිහි පිංවතුන්ලා කරන දේවල් කරන්න ගියොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්වයා කර්මය දායද කොටගෙන උපදියි කියලා. සත්වයා කර්මය ඥාතියා කොටගෙන උපදියි කියලා. භික්ෂුව හොඳටෝම දන්නවා මේවා සටහන් තැබුවාට වැඩක් නැහැය කියලා. උතුම් ශාස්තෲන්වහන්සේට ගෞරවය උදෙසා තවදුරටත් සටහන් තබනවා. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසමසමයි. ඔබ වහන්සේ පැනවූ ප‍්‍රාතිමෝක්ෂ ශීලය අසමසමයි. භාග්‍යවතුන් වහන්සේ පැනවූ ප‍්‍රාතිමෝක්ෂ ශීලය තුළ අකුරට හික්මුන භික්ෂුවකට, වසවර්ති මාරයාටවත් අත තබන්න බැහැ. එම භික්ෂුව යටත් අතීත පටිච්චසමුප්පන්නව තමා පසුපස ඇති සංස්කාරයන්ට පමණක්මයි. බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ‍්‍රාවකයෙකුට වසවර්ති මාරයා ඉදිරියේ වුවද ඉහත සිංහනාදය කළ හැකියි. එය තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ශ‍්‍රාවකත්වය. අපේ  ගමනාන්තය විය යුත්තේ එතැනයි.

භික්ෂු සමාජයේ අපි අපේ සැබෑ ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් අනාරක්ෂක වුනොත් අපේ ආරක්ෂකයන් වෙන්නේ, ආරක්ෂක නිළධාරින්, සී.සී.ටී.වී. කැමරා, බුරන සුනඛයන්, යකඩ සේප්පු, හරිම ජංජාලයයි. අපි ගැනම අනුකම්පාවෙන්, අපිම නැවති සිතන්න බොහෝ දේවල් අපේ ජීවිත තුල තිබෙනවා. භික්ෂුව මේවා සටහන් තබන්නේ කැමති එක්කෙනෙක් හෝ සිටිනවා නම්, නිවැරදි වෙන්න. අකමැති පිංවත් සියල්ලෝම, කරුණාකර මේ පත‍්‍ර පිටුව පොඩිකර කුණු කූඩයට දමන්න. හැබැයි පිංවත, කුණු කූඩයට වැටෙන්නේ ගුලි කොට දැමූ පත‍්‍රයේ පිටුව නොව, අහිංසක ඔබේම ජීවිතය විය හැකියි.

අවිද්‍යාවෙන් උපන් ලෝකය තෘෂ්ණාවෙන් ජවය ලබා, අකුරටම නිවැරදි ඉලක්ක ගත ගමනක් පෙරට යනවා. පිංවත් ඔබ, යන සියල්ලන්ටම නිදහසේ යන්නට හැර, සිහිනුවණින් එ් ගමන් මග දෙස, උපේක්ෂා සහගත සිතින් බලාසිටියොත්, ඔබ තුළ වැඩෙන්නේ සියලූ ධර්මතාවයෝ අනිත්‍යයි කියන ධම්මානුපස්සනාවමය. සියලූ සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ, තවමත් නොවෙනස්ව, යම් පුංචි හෝ යහපත් දෙයක් වේද, එය දෙසත් අවඥාවෙන්ම බලමින්මය.

අවිද්‍යාවත් සමග දීගකන, මේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ සැබවින්ම අපි අසරණයි. අපේ ශීලයේ දුර්වලභාවයන් හේතුවෙන්, ක‍්‍රමානුකූලව දිනෙන් දින ශක්තිමත් වුණ අකුසල් සංස්කාර මාරයා, මේ උත්සාහ ගන්නේ අපි හැමෝටම සියල්ල හොඳින් මතක්කොට දීලා, තෘෂ්ණාව පමණක් අමතකකොට දැමීමටයි. මීට වගකිවයුත්තා පිංවත් ඔබවත්, මමවත් නොවේ. අපේම අතීත අකුසල් සංස්කාර මාරයායි. වර්තමානයේ සංස්කාරයෝ අපිට දැනීම් සකස්කොට දෙන්නේ, සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන ධර්මතාවය අපිට දැනීම සකස්කොට දෙන්නේ වර්තමාන ජරා, ව්‍යාධි, මරණ, දුක පිනෙන් වසාදමා, සැපය කියන මිරිඟුව පසුපස මාරෙසෙයාවෙන් හඹාගෙන යෑමටය. සැපයට අපි හැමෝම කැමතියි. සැපයට කියන තවත් නමක් තමයි පින. මේ සුන්දර, ප‍්‍රනීත, සැපය අපි භුක්තිවිඳිනකොට, සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ සහ ශීලයේ ශක්තිය යහමින් අපේ ජීවිත වලට එකතුකොට ගන්න ඕනේ. යශෝදරා දේවියගේ සොහොයුරා වෙලා රජ පවුලක උපන්, දේවදත්තගේ අතීත සශ්‍රීක පින මේ ජීවිතයේදී සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ, දුර්වල භාවයන් නිසාම, එම පින දේවදත්තව අවසානයේ යොමුකළේ, අවීචියේ මහා ගින්දරටයි. යශෝධරාවගේ අතීත සශ්‍රීක පින, ඇය ධර්මානුකූලව කළමනාකරණය කොටගෙන, ඇය උතුම් නිවීමම සාක්ෂාත් කොටගත්තා.

කුටිය අවට පරිසරයට අඳුර වැටෙන්න දැන් හොඳටෝම ළඟයි. තවමත් පරිසරය යාන්තමට එළිය කරන අලෝකය, අඳුර සමග පොරබදනවා. තවත් මොහොතකින් අඳුර ජයගනීවී. එ්ත් එ් ජයග‍්‍රහණය සදාකාලික ජයග‍්‍රහණයක් නම් නොවේ. හෙට උදෑසන යළි පරාජය ලබන ජයග‍්‍රහණයක්මයි. පරිසරයේ අඳුරට, ප‍්‍රඥාවේ ආලෝකය එකතු වුණහම, එතැන උපදින්නේ හේතුඵල ධර්මයක්.

එ් ධර්මතාව තමයි සතර මහා ධාතුවේ අනිත්‍යභාවය. සතර මහා ධාතුවේ අනිත්‍යභාවය නොදකින්නා රූපයට බැඳී යන්නේ පළඟැටියා ගින්දරට බැඳීයන්නා වගේමයි. වර්තමානයේ බලවත් වූ, කාමයේ වරදවා හැසිරීමේ රැුල්ලක් සමාජගත වෙන්නේ, රූපයේ ආශ්වාදය නිත්‍ය, සැප, සුබ වශයෙන් දැකීම නිසාමය. අසාරවූ රූපයේ වස සහ විශ අනුවණින් ගෙන පිංවත් ඔබ ඵස්සයේ සීමා ඉර පැන්නුවොත්, තෘෂ්ණාවේ සිප්පනි නමැති මැහුම්කාරිය ”විඳීමේ’’ මැස්ම මහනවාමයි.

මාරයාගේ ලෝකයේ මාරයාට ගොදුරු සොයා දෙන සන්නාලියයි සිප්පනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ දැක්ක, ඇසුණ, දැනුණ දෙය තෘෂ්ණාවේ මැහුමෙන් වෙලන මාරයාගේ සුරතල් අහිංසකාවියයි ඇය. පිංවත් ඔබ පරිස්සමින් මේ නිමේෂයේදිත් ඔබේ ඵස්සය අසල ක‍්‍රියාශීලී ඇය හොඳ සීරුවෙන්.

කුටිය අවට පරිසරයට දැන් නම් හොඳටෝම අඳුර වැටිලා. කුටියේ සූර්යකෝෂ බල්බය, සටහන තබන තනිරූල් කොළයට ආලෝකය දෙනවා. අද දවස සිකුරාදා දවසක්. අද වගේම සිකුරාදා දිනයක රාත‍්‍රී (10.07* ටයි භික්ෂුව ඉපදුනේ. භික්ෂුවගේ ඉපදීම රාත‍්‍රියක සිද්ධවුනත්, අකුසල් වියරුවෙන් උපන් කොවිඞ් වසංගතය නිසා, භික්ෂුවගේ අපවත්වීම කොයි මොහොතේ සිදුවේද කියලා හිතාගන්නවත් බැහැ. උතුම් තෙරුවන්ට බලවත් ආකාරයෙන් අකීකරුවෙන සමාජයක; අකුසල් මූලයන් පැසවා ඔඩුදුවන සමාජයක; තවත් ජීවත්වීමට භික්ෂුවට කැමැත්තක් නැහැ.

භික්ෂුව කොවිඞ් වසංගතයෙන්, යම් දිනක අපවත් වුණොත්, එම අපවත් වීම පරිස්සම් නොවීම නිසා සිදු වූ අකල් මරණයක් නම් නොවේ, සංස්කාරයන්ගේ අකුරටම නිවැරදි තීන්දුවකි. භික්ෂුවට ගරු කළ යම් පිංවතෙක් වේ නම්, නෙතු අගට කඳුළක් නොගෙන, ධර්මයේ උපේක්ෂාවෙන් එ් සුන්දර අපවත් වීම දෙස බලන්න පුහුණුවෙන්න. භික්ෂුව මේ ඔබව යොමුකරන්නේ මරණානුස්සතිය දෙසට මිස, පුද්ගලානුස්සතිය දෙසට නොවේ. උතුම් ධර්මයක් සිහිනුවණින් ගලපාගන්න.

සිහිනත් මැකීයන අපේ ලෝකය හරිම මිරිඟුවක්. පිංවත් ඔබ කාට හරි කියලා තිබෙනවාද ජාති ජාතිත් ඔබ මගේම වේවා යැයි කියලා. අසිහියෙන් සංසාර බිය නොදැක, එවැනි ප‍්‍රාර්ථනාවක් කොට තිබේ නම්, කරුණාකර එම ප‍්‍රාර්ථනය ඉල්ලා අස්කොට ගන්න. ආදරයෙන්, සෙනෙහසින්, නලල සිපගෙන කරන එවැනි භව ප‍්‍රාර්ථනාවන් තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මථාවයට පටිච්චසමුප්පන්නව කොටුවෙත්ද, ආදරයේ නාමයෙන් පටිච්චසමුප්පන්න භවගමනේ දුකම තුරුල්කොට ගන්නයි, අපි කාටත් සිද්ධවෙන්නේ. පිංවත වර්තමානයේ ආදරයේ කිරුළ, රාගය විසින් ඩැහැගෙනයි තිබෙන්නේ.

කර්මය කර්මඵල විශ්වාසයෙන්, මෛත‍්‍රියෙන්, ශීලයෙන් පෝෂණය නොවූ ආදරය, රාගයේ ප‍්‍රාණ ඇපකරුවෙක්. එ් නිසාම වර්තමානයේ රූපයේ ආශ්වාදයට හොඳ වටිනාකමක් ලැබිලා තිබෙනවා. රූපයේ ආශ්වාදය දුර්වල වෙලා යද්දී රාගය, ”ආදරයේ’’ වෙස් මුහුණ ගලවා දමා, රාගයේ සැබෑ නිරුවත ලෝකයටම පෙන්වනවා. පිංවත් වසංගතයක් සේ සමාජගත වෙන මේ මානසික රෝගීභාවය තේරුම්ගෙන වහ වහා කායානුපස්සනාවෙන් රාග සිත් දමනය කොටගන්න. චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ සැහැල්ලූ ව්‍යායාමයන් නිරතුරුවම පුහුණු කරන්න. පිංවත රාගය ලෝකයේ තිබෙන්නට හැර, පිංවත් ඔබ කර්මය කර්මඵල විශ්වාසයෙන්, මෛත‍්‍රියෙන්, ශීලයෙන් පෝෂණය වූ නොඉඳුල් ආදරය පමණක් ළඟට ගන්න. එවිට ඔබට වැටහේවි දශ අකුසල් ධර්මයන් බින්න බැහැපු සමාජයක, සැබෑ ආදරයට සිද්ධවෙලා තිබෙන්නේ, සිතේ තදකොටගෙන සිටීම පමණක්මය කියලා.

ගෞරවනීය පිංවත, එන්නත් සිහින ලෝකයේ යහන්ගත නොවී කරුණාකර, දස කුසල් ධර්මයන්ගෙන් අවදිවන්න. දස කුසල් ධර්මයන් තුට්ටුවකට මායිම් නොකොට, එන්නත දේවත්වයෙන් පිළි අරගෙන, පස්ස පැත්ත බිම ඇනගත්ත පිංවතුනේ, බුදුසිරිපා පහස ලත් මේ උතුම් දේශයට ධර්මානුකූලව නිවැරදි වීමට අවශ්‍ය නම් ඔබ තවමත් ප‍්‍රමාද නැත. අවසානයක් නොපෙනෙන කොරෝනා අකුසලයේ අවසානය, මහා යුධමය වියරුවක්ද විය හැකිය. අප‍්‍රමාදිව දස කුසල් ධර්මයන්ගේ ආරක්ෂාව කෙරෙහි පමණක්ම විශ්වාසය තබන්න. එවිට ඔබ යහපත් සියල්ලම විශ්වාස කළා වෙනවා.

– පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment