සිහියේ විප්ලවය ඇති කළ තිච් නාත් හන් හිමි

480

‘‘සිද්ධාර්ථ මට ඔබ කෙතරම් අවශ්‍යදැයි ඔබ නොදන්නේද? මගේ බලාපොරොත්තු ඔබයි! මා හැරදා නොයන්න පුතුනුවනි”

 ‘‘මා ඔබ හැරදා යනවා නොවෙයි පියාණෙනි! මා අවසර ඉල්ලන්නේ යම් කලකට පිටවී යෑමටයි. විමුක්ති මාර්ගය සොයාගත් සැණින් මම ආපසු එන්නෙමි.”

 ලෝකයේ වඩාත්ම බලගතු මෙන්ම ප‍්‍රකට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ තිච් නාත් හන් වයස අවුරුදු 95ක් ආයු වළඳා වියට්නාමයේදී අපවත් වූ බව උන්වහන්සේගේ සෙන් බෞද්ධ සංවිධානය පසුගිය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. කවියෙකු ලේඛකයකු මෙන්ම සාම ක‍්‍රියාකාරිකයකු වූ උන්වහන්සේ පුරා වසර 40 කට ආසන්න කාලයක් වියට්නාම දේශයෙන් පිටුවහල්ව ජීවත් විය. බටහිර ලෝකයේ බුදුදහම ව්‍යාප්ත කිරීමට විශාල බලපෑමක් ඇති කළ තිච් නාත් හන් හිමියෝ දෙවැනි වන්නේ දලයි ලාමාතුමාට පමණකි. 1926 උපත ලැබූ තිච් හිමියෝ වයස අවුරුදු 16 දී පැවිදි බිමට පිවිස ඇත. උන්වහන්සේව බටහිර ලෝකය හඳුන්වන්නේ ”සිහි කල්පනාවේ පියා” ලෙසය.

සිහියේ විප්ලවය ඇති කළ තිච් නාත් හන් හිමි

 භාෂා හතක් කතා කළ තිච් හිමියෝ 1960 ගණන්වල මුල් භාගයේදී එක්සත් ජනපදයේ ප‍්‍රින්ස්ටන් සහ කොලොම්බියා විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වීය. උන්වහන්සේ 1963 දී නැවත වියට්නාමයට පැමිණියේ භික්ෂූන් වහන්සේ කිහිප දෙනකු විසින් තමන්ම ගිනි තබාගෙන විරෝධතා මගින් පෙන්නුම් කරන ලද ඇමෙරිකා – වියට්නාම් යුද්ධයට එරෙහිව වැඩෙන බෞද්ධ විරෝධය හා සම්බන්ධ වීමට ය. ‘‘කොමියුනිස්ට්වාදීන් සහ කොමියුනිස්ට් විරෝධීන් එකිනෙකා මරාගෙන විනාශ කරන ආකාරය මම දුටුවෙමි, මන්ද සෑම පාර්ශ්වයක්ම සත්‍යය තමන් පමණක් බව විශ්වාස කළ නිසා” තිච් හිමියෝ 1975 දී සටහන් තබා ඇත. ‘‘බෝම්බ, මෝටාර් සහ කෑගැසීම් නිසා මගේ කටහඬ ගිලිහී ගියේය.” යනුවෙන්ද උන්වහන්සේ වියට්නාම් යුද්ධයට එරෙහිව තැබූ සටහනක දැක්වේ. 1960 ගණන්වල වියට්නාම් යුද්ධයේ උච්චතම අවස්ථාව වන විට, තිච් හිමියෝ එක්සත් ජනපද සිවිල් අයිතිවාසිකම් නායක මාටින් ලූතර් කිං හමුවූ අතර මේ ගැටුමට එරෙහිව කතා කිරීමට ඔහු පෙළඹවූයේය. මේ නිසාම උන්වහන්සේට වියට්නාමයට යළි පැමිණීම වාරණය කර තිබිණි. උන්වහන්සේට වියට්නාමයට පැමිණීමට අවසර ලැබුණේ 2018 දීය. ඒ අවසන් කාලය සාමකාමීව ගත කිරීම සඳහාය. 2014 දී උන්වහන්සේට ආඝාතයක් ඇතිවූ අතර එනිසා සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් පිරිහෙන්නට විය. තිච් හිමියෝ සිය ජීවිත කාලය තුළ පොත් 100 කට වඩා රචනා කර ඇති අතර ඒවා භාෂා 40 කට වඩා වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ. එතුමාගේ අවසන් පොත 2021 ඔක්තෝබර් මාසයේදී ප‍්‍රකාශයට පත් කරන ලදී. මේ ග‍්‍රන්ථ ලක්ෂ 50කට අධික ප‍්‍රමාණයක් ලොව පුරා අලෙවි වී තිබේ. ගෞතම බුද්ධ චරිතය පදනම් කරගෙන උන්වහන්සේ රචනා කරනු ලැබූ Old Path White Clouds කෘතිය බෞද්ධ සාහිත්‍යය පෝෂණය කරමින් විශ්ව සාහිත්‍යට එක්වූ විශිෂ්ට ග‍්‍රන්ථයකි. වියට්නාම් ප‍්‍රංශ හින්දි ඉංග‍්‍රීසි මෙන්ම සිංහල භාෂාවෙන්ද මෙම ග‍්‍රන්ථය පළවී ඇත. මෙහි සිංහල කෘතිය” පැරණි අහසේ අලූත් සඳ” මැයෙන් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් 2008 දී පරිවර්තනය කර තිබේ.

සිහියේ විප්ලවය ඇති කළ තිච් නාත් හන් හිමි


මේ ග‍්‍රන්ථය ගැන සටහනක් තබන තිච් නාත් හන් හිමියෝ මෙලෙස සඳහන් කර තිබේ. ‘‘මේ ග‍්‍රන්ථය සම්පාදනය කිරීමේදී මා කිසිම සම්ප‍්‍රදායක් අනුගමනය කළේ නැත. ථෙරවාදය හා මහායාන යන බුද්ධාගමේ සම්ප‍්‍රදායන් දෙකෙන්ම කරුණු ගෙන බුදුරදුන්ගේ උත්තරීතර මනුෂ්‍යත්වය සහ මහා කරුණාව, මෛත‍්‍රිය, සමානාත්මතාව ආදී උතුම් මානුෂික ගති ගුණ හුවා දැක්වීමට මම මෙහිදී මහන්සි දැරුවෙමි. මහායාන ග‍්‍රන්ථවලින් කරුණු ගැනීමේදී ඉතාම කල්පනාකාරී වීමි. බුදුරදුන් ලෝකෝත්තර දිව්‍යම, අද්භූත දිව්‍ය පුත‍්‍රයෙකු හැටියට දැක්වීමට මා කිසිසේත් සිතුවේ නැත. එදා සමාජයත් එදා තම ශිෂ්‍ය පිරිස නිසා ඇතිවූ සමාජ තත්ත්වය ගැනත් විස්තර කිරීමට උත්සාහ ගතිමි. මේ ග‍්‍රන්ථයේදී බුදුරදුන් මට සහ ඔබට උත්තම අධ්‍යාත්මික පුරුෂයකු හැටියට පැහැදිලි වෙයි. (උපුටාගැනීම අවසන) මෙම ග‍්‍රන්ථය මගින් සිදුහත් කුමරු තරුණ යශෝධරා හා දිනක් වයසැති රාහුල පුතුන් අත්හැර ගිහිගෙයින් නික්ම යෑමේ අසාධාරණය හේතුවෙන් යශෝධාරා තුළ බලවත් කලකිරීමක් ගොඩ නැගුනු බවට පැවතී ආකල්පයත් කතුවරයා මැනවින් නිරාකරණය කර ඇත. සිදුහත් කුමරු ගිහිගෙය හැර යන්නේ සිය පියා මෙන්ම යශෝධරාවද දැනුවත්මය. මෙම ග‍්‍රන්ථයේ එක් තැනක මෙලෙස සඳහන්ව තිබේ.

 ‘‘සිද්ධාර්ථ මට ඔබ කෙතරම් අවශ්‍යදැයි ඔබ නොදන්නේද? මගේ බලාපොරොත්තු ඔබයි! මා හැරදා නොයන්න පුතුනුවනි”

 ‘‘මා ඔබ හැරදා යනවා නොවෙයි පියාණෙනි! මා අවසර ඉල්ලන්නේ යම් කලකට පිටවී යෑමටයි. විමුක්ති මාර්ගය සොයාගත් සැණින් මම ආපසු එන්නෙමි.” මේ ග‍්‍රන්ථ පරිවර්තක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් සටහන් කරන්නේ බුදුදහම පිළිබඳව ක‍්‍රිස්තියානි මිෂනාරීන් පතුරුවන වැරදි අදහස් සියල්ලටම පැරණි අහසේ අලූත් සඳ කෘතිය හරහා පිළිතුරු ලැබෙන බවයි. මේ පොත කියවන විට දැනෙන්නේ බුදුන් තමන් හා එකට ගමන් ගන්නා ආකාරයයි. පොත කියවා අවසාන වන විට අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත‍්‍රිලක්ෂණයේ ඡුායාවක් හදවතට දැනේ.

 ”ඔබ දුක් විඳින්නේ කෙසේදැයි ඉගෙන ගන්න. ඔබ දුක් විඳින්නේ කෙසේදැයි දන්නේ නම්, ඔබ බොහෝ දුක් විඳිනවා, අඩුවෙන්. ප‍්‍රීතිය සහ සතුට ඇති කිරීම සඳහා දුක් වේදනා හොඳින් භාවිත කරන්නේ කෙසේදැයි ඔබ දන්නවා, සතුටේ කලාව සහ දුක් විඳීමේ කලාව සැමවිටම එකට ගමන් කරයි.” උන්වහන්සේ 2013 වසරේ පැවති දේශනයකදී සඳහන් කර තිබිණි. එක් අවස්ථාවක තරුණියක් මේ හිමියන්ගෙන් අසන්නේ මෑතකදී මියගිය තම සුනඛයාගේ පිළිබඳ ශෝකය නිවාගන්නෙ කෙසේද යන්නයි. එහිදී ඇයට උපදෙස් දෙන්නේ අහස දෙස බලා වලාකුළක් නොපෙනී යන ආකාරය සිහි කරන ලෙසයි. වලාකුළ මිය ගොස් නැත, එය අතුරුදන් විය. පසුව වලාකුළ වැස්ස බවට පත්වී අවසානයේ තේ කෝප්පය ලෙස මේසයට පැමිණ තිබේ. වලාකුළ නව ස්වරූපයෙන් ජීවමාන වන්නා සේම බල්ලා ද ජීවමාන ය. තේ ගැන දැනුවත්ව සහ සිහියෙන් සිටීම යථාර්ථයේ ස්වභාවය පිළිබිඹු කරයි. මෙම අවබෝධය ලෝකයේ වැඩි සාමයක් ඇති කළ හැකි බව උන්වහන්සේ විශ්වාස කළේය. ඇමරිකානු බුද්ධාගම පිළිබඳ විශාරදයෙකු වන ජෙෆ් විල්සන් ඔහුගේ ”Mindful America˜ නම් පොතේ තර්ක කරන්නේ, හැන් හිමියන්ගේ දෛනික සිහිය පුහුණුවීම් ලෝකයේ ක‍්‍රියාවන් සමඟ සංයෝජනය වූ බවයි. මෙම ව්‍යාපාරය 2014 දී ටයිම් සඟරාව හැඳින්වූයේ ‘‘සිහියෙන් යුත් විප්ලවය” ලෙසිනි. තිච් නාත් හන් හිමියන් ප‍්‍රථම වරට සිහිය ඉගැන්වීම ආරම්භ කළේ 1970 ගණන්වල මැද භාගයේදීය. එතුමාගේ මුල් ඉගැන්වීම් සඳහා ප‍්‍රධාන මාධ්‍යය වූයේ උන්වහන්සේගේ පොත් ය. නිදසුනක් වශයෙන්, ‘‘සිහිය පිළිබඳ ආශ්චර්යය” හි, එදිනෙදා ජීවිතයට සිහිය යෙදිය යුතු ආකාරය පිළිබඳ සරල උපදෙස් ලබා දී තිබිණි. එතුමාගේ ”You Are Here” යන පොතේ එතුමා මිනිසුන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් ඕනෑම මොහොතක තම ශරීරයේ සහ මනසෙහි අත්විඳින දේ කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, අතීතයේ වාසය නොකර අනාගතය ගැන නොසිතන ලෙසත් ය. ඔහුගේ අවධාරණය වූයේ හුස්ම පිළිබඳ දැනුවත්භාවයයි. ඔහු තම පාඨකයන්ට අභ්‍යන්තරව පැවසීමට ඉගැන්වූයේ, ”මම හුස්ම ගන්නවා; මෙය හුස්ම ගැනීමකි. මම හුස්ම ගන්නවා; මෙය පිටකිරීමක් යනුවෙනි. ‘‘බුද්ධාගම යනු අවදියෙන් සිටීමයි – කෙනෙකුගේ ශරීරයේ, හැඟීම්වල, මනසෙහි සහ ලෝකයේ සිදුවන දේ ගැන සිහියෙන් සිටීම. ඔබ අවදියෙන් සිටී නම්, ඔබ අවට දකින දුක් වේදනා සමනය කිරීමට අනුකම්පාවෙන් ක‍්‍රියා කිරීම හැර වෙනත් දෙයක් ඔබට කළ නොහැක. එහෙයින් බුදුදහම ලොවෙහි යෙදිය යුතුය. නියැළුණේ නැත්නම් එය බුදුදහම නොවේ.”

 ලැරි ෆෝර්ඞ් නමැති ඇමෙරිකානු ජාතිකයා සෙන් බෞද්ධ උපදේශකයෙකි. ඔහු අපවත් වූ හිමියන්ගේ ගෝලයෙකි. සිය ගුරුවරයා ගැන මෙලෙස සටහනක් තබා තිබිණි. ‘‘මගේ ආදරණීය ගුරුවරයා ගැන මට කුමක් කිව හැකිද? ව්‍යාකූලත්වයේ, භීතියේ සහ ශෝකයේ අඳුරු රාත‍්‍රියේ ඔහුගේ කටහෙඬ් මෘදු කෙඳිරිය, අපගේ සැබෑ ආත්මය අවදි කරන බව මට පැවසිය හැකිය. උන්වහන්සේගේ ඉගැන්වීම් ධර්ම වර්ෂාවකි. එයින් අපගේ ජීවිතවලට ආශීර්වාදය මෙන්ම ශාන්තිය ළඟා කරවයි.”

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment