සීදූව විජය කුමාරතුංග රෝහලේ අක්‍ෂි ශල්‍යාගාරය ලක්‍ෂ 55ක වියදමින් නවීකරණය වෙයි

161

ශල්‍යාගාරයේ ටයිල් ඇල්ලීමට වැඩබලන සභාපති දොස්තර නීල් උමගෙලිය ලක්‍ෂ 30ක් පරිත්‍යාග කරයි

වසරක් තුළ අක්ෂි ශල්‍යකර්ම 9000ක් සිදු කිරීම අපේ සැලසුමයි – වැඩබලන සභාපති නීල් උමගෙලිය

පසුගියදා ආන්දෝලනාත්මක විවිධ ප්‍රවෘත්ති නිර්මාණය වන ආකාරයෙන් සීදූව විජය කුමාරතුංග රෝහලේ අක්ෂි ශල්‍යකර්ම ඇතුලු අනිකුත් ශල්‍යකර්ම සති දෙකක කාලයකට නතර කරන්නට සිදුව තිබුණා. එලෙස සිදුවූයේ ශල්‍යාගාරයේ බිත්ති මතින් වසර තුනක කාලයක් පුරා වරින් වර දිලීරයක් මතුවීම නිසා ඇතිවන බාධාවට ස්ථිර විසඳුමක් යෙදීමටය. ඒ අනුව පුරා සති දෙකක කාලයක් වසා තිබූ එම ශල්‍යාගාරය රුපියල් ලක්ෂ පනස්පහක් පමණ වැයකර නවීකරණය කර ඉකුත් පළමුවැනිදා සිට නැවත ශල්‍යකර්ම සිදුකිරීම පිණිස විවෘත කරනු ලැබිණි. එම කාර්ය ඉටුකර ගැනීමේදී රෝහලේ වත්මන් වැඩබලන සභාපති නීල් උමගෙලිය මහතා තම පෞද්ගලික ධනයෙන් ශල්‍යාගාරයේ ටයිල් ඇල්ලීමට රුපියල් ලක්ෂ තිහක් පරිත්‍යාග කර ඇත.

දිවංගත හෙළයේ මහා සිනමාකරු විජය කුමාරතුංග කලාකරුවාගේ නිජ භූමිය වූ සීදූව ග්‍රාමයේදී එතුමාව සිහිවීම පිණිස මෙම රෝහල විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ලෙස එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් 1999 ඔක්තෝබර් මස නමවනදා ජනතා අයිතියට පත්කෙරුණි.

මේ වනවිට මෙම රෝහලෙන් අක්ෂි කාච බද්ධ කිරීමෙන් පසු විශාල පිරිසකගේ දෙනෙත්වලට නැවත ප්‍රකෘති පෙනීම ලබාදීමට හැකියාවක් ඇති වී ඇත. ඒ අනුව ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව එක් වසරකදී අක්ෂි ශල්‍යකර්ම හයදාහත් නමදාහත් අතර ප්‍රමාණයක් සිදු කිරීමට සුදුසු වාතාවරණයක් ඇති කරන බවද වත්මන් වැඩබලන සභාපති නීල් උමගෙලිය මහතා පවසා සිටී.

මධ්‍යම රජය යටතේ ඇති මෙම රෝහල මේ වනවිට බස්නාහිර පළාතේ ඇසේ හඳුනාගත් රෝග කීපයකට ප්‍රතිකාර කර ශල්‍යකර්ම සිදුකරන රෝහල් අතර කොළඹ අක්ෂි රෝහල හැරුණු විට ඇති එකම රෝහල බවද එතුමා කීය.

සීදූව විජය කුමාරතුංග රෝහලේ අක්‍ෂි ශල්‍යාගාරය ලක්‍ෂ 55ක වියදමින් නවීකරණය වෙයි

ජනතාවගෙන් බොහෝ දෙනා නොමිලේ ලැබෙන සියලු දේ ගන්න උත්සාහ කරනවා. ඉන් වැඩිදෙනෙක් ඇති හැකි අය වීම පුදුම සහගතයි. අපි අඛණ්ඩව විජය කුමාරණතුංග රෝහලේ සේවාව පවත්වාගෙන යන්න නම් අක්ෂි ශල්‍යකර්ම වැනි සේවාවන් සඳහා ගාස්තුවක් අයකළ යුතුමයි. මේ වනවිට අක්ෂි ශල්‍යකර්ම සඳහා රෝහලට ඇතුල්වීමේ ගාස්තුව වශයෙන් රුපියල් හත්දාස් පන්සීයක් අය කරනවා. එම ගාස්තුවට පිටස්තරයන් විවිධ චෝදනා නඟනවා. ආණ්ඩුවෙනුත් රෝහලට අවශ්‍ය ප්‍රතිපාදන අනිකුත් රෝහල් වලට මෙන් ලැබේ නම් කිසිදු ගාස්තුවක් අය කරන්න සිදුවන්නේ නෑ. මේවා නොදන්නා ජනතාව නොමඟ යවන්න උත්සහ කරන පිරිසක් ඉන්නවා.

ඉදිරියට රෝහල ගුණාත්මක ආකාරයට පවත්වාගෙන යෑමට රෝහල් ගාස්තු අය කිරීම සිදුකළ යුතුම දෙයක්. රජයෙන් සේවක පඩිනඩි ඇතුලු විදුලි බිල් වාහන නඩත්තු සඳහා මුදල් ගෙවනවා. ඖෂධ සඳහාද යම් මුදලක් ලබා දෙනවා. ඒ මුදලින් අවශ්‍ය ඖෂධ සියල්ල ලබා ගන්න බැහැ. අපිට රෝහල ලාබ ලබන ආයතනයක් බවට පත්කරන්න අවශ්‍යතාවක් නැහැ. අපි අඩු ආදායම් ලාභීන්ට සහ අනුමත සුදුසුකම් සපුරා ඇති සහ වකුගඩු රෝගීන්ට අක්ෂි කාචයේ සිට සියල්ල රෝහලෙන් නොමිලේ සිදු කරනවා.

මේ වනවිට රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසි දෙකකි. ඉන් වෛද්‍යවරුන් පස්දෙනෙක්ම විශේෂඥ වෛද්‍යවරුන් වෙති. හෙද කාර්ය මණ්ඩලය අසූපහකි. අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලය දහතුනකි. සෞඛ්‍ය කාර්ය සහයකවරුන් හැට පහක් පමණද, වන අතර මෙම රෝහල අධ්‍යක්ෂමණ්ඩලයක් විසින් පාලනය කරන එකකි.

මේ වනවිට රෝහලේ වත්මන් වැඩබලන අධ්‍යක්ෂකවරයා වශයෙන් හිටපු ප්‍රධාන වෛද්‍ය ගයාන් අනුරාධ රණවීර මහතා කටයුතු කරමින් සිටී. එතුමා පවසන ආකාරයට වසරකට රෝහලේ පිටතින් ගන්න සිදුවන බෙහෙත් ඇතුළු වෛද්‍ය උපකරණ සඳහා රුපියල් ලක්ෂ එක්දාස් හයසීයක් පමණ අඩු වැඩි වශයෙන් වැය කරන්න සිදු වනවා.

පෞද්ගලික රෝහලකින් කාච බද්ධය සඳහා ගුණාත්මක අක්ෂිකාච සැත්කම සඳහා රුපියල් 140,000ත් රුපියල් 300,000 ක් පමණ වැය කරන්න මේ වන විට රෝගියෙකුට සිදුවී තිබෙනවා. අප රෝහලින් ලබාදෙන සේවාව ඇතුළු පිටතින් මිලදී ගන්නා කාචයේ සිටම රෝහල් ගාස්තුව සමඟින් අක්ෂි රෝගියෙක් වෙනුවෙන් වැය කරන්න සිදුවන්නේ එක් සැත්කමකට රුපියල් හතළිස්දාහක මුදලක් පමණි. ඉදිරියේ දී අප රෝහලෙන් වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන්න ඒකකයක් ඇති කරනවා. දියවැඩියාව රෝගයට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය ඒකකයක්ද ස්ථාපිත කරනවා.

මේ වනවිට බොහෝ රෝගාබාධ හඳුනා ගැනීමට උපකාර වන එන්ඩොස්කොපි යන්ත්‍රය අපදාවකට පත්වෙලා. නැවත එය අලුත්වැඩියාවකට රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වැය කරන්නත් සිදුව තිබෙනවා. එම එන්ඩොස්කොපි යන්ත්‍රය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් විසින් අප රෝහල වෙත ලක්ෂ හාරසියයක් වැයකර මින් වසර ගණනකට පෙර පරිත්‍යාග කළ එකක්.

පිටතින් සිට රෝහලට චෝදනා කරනවාට වඩා අප රෝහලට අවශ්‍ය එවැනි එන්ඩොස් කොපි යන්ත්‍රයක් ලබාගැනීමට උදව්වක් කරනවා නම් අපි ඒ අයව අගය කරනවා. අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාමර කුමාරගේ මහතා මෙලෙස අදහස් පළකළහ. මේ වනවිට තවත් අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වන ජයාන් ද සිල්වා යන වෛද්‍යවරයාත් මමත් රෝගීන් වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දෙනවා. අද වනවිට රජයේ සමහර රෝහල්වලින් අක්ෂි සැත්කම් කරගන්න රෝහල වෙත එන රෝගීන්ට සමහර අවස්ථාවල තුන් හතර වතාවක් ආපසු හැරීයන්න සිදුවනවා. අප රෝහලේ එහෙම සිදුවන්නේ නැහැ. රෝගීන් වැඩියෙන් අපවෙත පැමිණිම හේතුවෙන් යම් ප්‍රමාදයක් වීමට සිදුවනවා නම් ඒත් උපරිමය මාස දෙකයි. අප රෝහලේ නවතාගෙන රෝගියාට ප්‍රතිකාර කරන්නේ නැහැ. සැත්කම කරපු දිනේම රෝගියාව නිවසට යවන්න කටයුතු කරනවා.

සීදූව විජය කුමාරතුංග රෝහලේ අක්‍ෂි ශල්‍යාගාරය ලක්‍ෂ 55ක වියදමින් නවීකරණය වෙයි

අපට රජයෙන් කියා ලැබෙන මුදලින් කිසිදු වැඩක් කිරීමට හැකියාවක් නෑ. කවුරු කොහොම කිව්වත් අප රෝහල ආදායමක් ඉපයීමේ පරමාර්ථයෙන් ජනතාවට සේවාවක් ලබාදෙන තැනක් නොවෙයි.

අප රෝහලේ තමන්ගේ අවස්ථාව එනතුරු අවුරුදු ගණන් බලා සිටීමට සිදුවන්නේ නැහැ. අපි මේ වනවිට දෘෂ්ටිවිතානය සම්බන්ධයෙන් (vitrectomy) රෝගයට වසරකට රෝගීන් 6000කට පමණ සැත්කම් සිදු කරනවා. දියවැඩියාව නිසා හටගන්න ඇසේ රෝගයක් වන කුනිතය සම්බන්ධ (cornea) රෝගයටද වසරකට සැත්කම් 800ක් පමණ සිදු කරනවා. මෙවැනි සැත්කම් බොහෝ රෝහල්වල සිදු කරන්නේ නෑ. මෙවැනි සැත්කම්වලට ඉතා අධික මුදලක් වැය කරන්න සිදු වෙනවා.

ඉන් අමතරව වකුගඩු රෝගීන්ටත්, කුඩා දරුවන්ගේ අක්ෂි රෝගයන්ටද ප්‍රතිකාර සහ අවශ්‍ය සැත්කම් සිදු කරනවා. ජනතාවට නොපෙනෙන විශාල වියදමක් අක්ෂි ශල්‍යකර්මයකදී වැය වෙනවා. ඒ අතර 15දෙනෙක්ට එක්වරක් පමණක් භාවිතා කළ හැකි සැත්කමේදී අවශ්‍ය වෛද්‍ය උපකරණ බහාලන කැසට් එකක් සඳහා පමණක් රෝහලින් රුපියල් දෙලක්ෂ අසුපන්දහසක් පමණ වැය කරන්න සිදුවනවා.

ආනන්ද නිශ්ශංක – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment