සීනි කරිඤ්ඤං ඇල්ලීමට ගිය පුපුරැස්ස ඕ.අයි.සී. ත්‍රිරෝදයකින් හප්පා මරන්න හදලා

1108

නව වසර උදාවේ සැමරුම් සඳහා සීනි කරිඤ්ඤා සකසමින් සිටි අයකු ඇල්ලීමට ගිය ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝ රන්ජන් මහතා ත්‍රීරෝද රථයකට යට කර මරා දැමීමට උත්සාහ කිරීමේදී ඒ මහතා තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ගම්පොල පන්විලතැන්න ප්‍රදේශයේ නමගිය අපරාධකරුවකු විසින් කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් සීනි කරිඤ්ඤා සාදා අලෙවි කරන අතර ඔහු මීට පෙර අවස්ථා හතරකදී ගම්පොළ හා පුපුරැස්ස පොලිස් නිලධාරීන්ට පහර දී පොලිස් ජීප් රථයකට ද අලාභ හානි කළ අයකි.

ඒ සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයේ නඩු පවා තිබියදී මොහු මෙම ජාවාරම අත් නොහැර සිදුකරමින් සිටියි.

මොහුගේ සහෝදරයන් ද කාලයක් තිස්සේ මෙසේ සීනි කරිඤ්ඤා අලෙවියේ නිරත වන බව ද පොලිසිය සඳහන් කරයි.

වරක් මොහුගේ සීනි කරිඤ්ඤා වැටලීමට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේ දරුණු ගණයේ රොට් වයලර් වර්ගයේ බල්ලකු පොලිසිය වෙත උසිගැන්වීමෙන් වෙඩි හුවමාරුවක් ද සිදුවී තිබුණි.

සීනි කරිඤ්ඤා ජාවාරම පිළිබඳව 31 වැනිදා රාත්‍රී ලැබුණු තොරතුරකට අනුව පුපුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හයදෙනකු එම ජාවාරම සිදු කරන ස්ථානයේ සැඟවී සිට ඇති අතර නිලමේ නමැති මෙම සැකකරු ඔහුගේ පුතකු සමග ත්‍රීරෝද රථයකින් පැමිණ බෝතල් විස්ස බැගින් වූ කෑන් තුනක් ත්‍රීරෝද රථයට පටවමින් සිට ඇත.

පොලිසිය ඒ සමගම සැඟවී සිටි තැනින් එම ස්ථානයට කඩා පනින විට සැකකරු මාර්ගයෙන් පහළට පැන දිව ගොස් ඇත.

ඒ සමග ත්‍රීරෝද රථයේ රියැදුරු අසුනේ සිටි සැකකරුගේ පුතා ස්ථානාධිපතිවරයා එම ත්‍රීරෝද රථයෙන් යට කිරීමට උත්සාහ දරා ඇති අතර එයින් ස්ථානාධිපතිවරයා තුවාල ලබා මාර්ගයෙන් ඉවතට පැන ඇත.

ඒ සමගම ත්‍රීරෝද රථය රැගෙන සැකකරුගේ පුතා පැන ගොස් ඇති අතර සැකකරු ද සීනි කරිඤ්ඤා කෑන් දමා අඳුරේම පලා ගොස් තිබුණි.

අනෙක් පොලිස් නිලධාරීන් පැමිණ වෙනත් ත්‍රීරෝද රථයකින් පොලිස් ස්ථානාධිපතිවරයා ගම්පොළ රෝහලට රැගෙන ගොස් ඇතුළත් කර ඇත.

සැකකාර පියා හා පුතා මේ වන විට සැඟවී ඇත.

ගම්පොළ හා පුපුරැස්ස පොලිස් ස්ථාන මගින් පොලිස් කණ්ඩායම් යොදා ඔවුන් සොයා මෙහෙයුමක් අරඹා තිබේ.
ගම්පොළ -සුරංග දිල්හාන්


advertistmentadvertistment