සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව

6

සේරාණ ප්‍රාථමික විද්‍යාලයේ සම්මන්ත්‍රණය
උපාලි පදනමේ සමාජ සද්කාර්යයකි
දැය නන්වන විදුලිය සම්පත

උපාලි පුවත්පත් සමාගමේ අධ්‍යාපනික පුවත්පතක් වන සුජය ශිෂ්‍යත්ව පුවත්පත මූලිකත්වයෙන් සිලෝන් චොක්ලට් සමාගම (කැන්ඩොස්) අනුග්‍රාහක දායකත්වයෙන් දීපව්‍යාප්ත ව සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දොළොස් වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය බ/සේරාණ ප්‍රාථමික විද්‍යාලයේ දී පසුගිය දා (2 වැනි දා) පැවැත්වුණි.

දැනුමෙන් පිරිපුන් පරපුරක් අනාගතයට දායාද කිරීමේ උතුම් පරමාර්ථයෙන් පැවැති මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා මහියංගන සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඉන්ද්‍රසිරි මාපා මහතාගේ අනුමැතිය සහ බ/සේරාණ ප්‍රාථමික විදුහල්පති ආර්.එම්. සේනානායක මහතාගේ මූලිකත්වය මෙන් ම ආචාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබුණි .

සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව

මහියංගන අධ්‍යාපන කලාපයේ පාසල් රැසක දරු, දැරියන්ගේ සහභාගිත්වයෙන් මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වුණි. දරුවන්ගේ දැනුම, කුසලතාවය සහ ධාරිතා සංවර්ධනය උදෙසා සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙන අතර, ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් හුරු කරවීමට පෙරහුරු ප්‍රශ්න පත්‍ර ෂ හා ෂෂ සාකච්ඡා කිරීම මෙන් ම විදුලිබලය සංරක්ෂණ පුනර්ජනනීය බලශක්තිය, විදුලි ආරක්ෂණ ක්‍රමවේද හා විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳ ව ද මෙහි දී දැනුවත්කිරීම් සිදු කෙරිණි.

සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණවල බොහෝවිට සාකච්ඡා කරන්නේ විෂය කරුණු පමණයි. නමුත් සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දී 5 ශේණියේ පරිසරය විෂයයේ ඇති ආරක්ෂාව හා පරිස්සම‘ පාඩමේ ඇතුළත් විදුලිබලය පිළිබඳ අවබෝධයක් ලබා දෙමින් ඒ හා සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් ද දරුවන් ගෙන් අසන ලදී . එහිදී ‘මනු කියවන්නා‘ යනු කවරෙක් ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සේරාණ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුත් නිමන්ත ශිෂ්‍යයා පැවසුවේ නිවසට විදුලි බිල රැගෙන එන පුද්ගලයා බවයි . විදුලි ප්‍රභව මොනවාද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දෙහිගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ මහේලි භාවනා විජේසිංහ ශිෂ්‍යයාව පැවසුවේ ජල, සුළං, තාප, සූර්යය යන විදුලි ප්‍රභවයි. කෙනෙකුට විදුලිසර වැදෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, තෙත අතින් විදුලි උපකරණ පරිහරණය කිරීම, අනාරක්ෂිත විදුලි රැහැන් ඇල්ලීම ආදී පිළිතුරු ලබා දුන්නේ අරාවත්ත විද්‍යාලයේ නවෝදී ධනංජනී ශිෂ්‍යාවයි. විදුලිය පරීක්ෂා කරන උපකරණය කුමක් ද යන ප්‍රශ්නයට ‘ටෙස්ටරය‘ යන පිළිතුර ලබා දුන්නේ කෙසෙල්පොත යාය විදුහලේ මායා ශ්‍රී පඤ්ජරී ශිෂ්‍යාවයි. බ/ ධර්මපාල විද්‍යාලයේ විහංස මෙත්ෂාන් ශිෂ්‍යයා ගෙන් අසන ලද ප්‍රශ්නය වූයේ විදුලිසර වැදුණු විට කළ යුත්තේ කුමක් ද යන්නයි.ඒ සඳහා ඔහු ලබා දුන් පිළිතුර වූයේ පැන්නුම් ස්විචය විසන්ධි කිරීම, දණ්ඩක් ආධාරයෙන් පුද්ගලයා හා විදුලිය අතර සම්බන්ධතාවය බිඳදැමීම ආදිය කළ හැකි බවයි . විදුලි බිල අඩුකර ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උල්හිටියාව ප්‍රාථමික විද්‍යාලයේ සදෙව් සත්සර ශිෂ්‍යයා කියා සිටියේ අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම , රෙදි එකවර මැද ගැනීම, අඩු වෝල්ටීයතාවයකින් යුතු විදුලි බුබුළු භාවිත කිරීම ආදිය කළ හැකි බවයි.

මෙදින සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමී ව දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ව දෙමව්පියන් දැනුම්වත් කිරීමේ දේශනයක් ද පැවැත්විණි. දරුවන් තමන්ට සමීප කරගෙන, ඔවුන් ගැන නිරතුරුව ම අවදානයෙන් සිටීමෙන් දරුවන්ට සිදුවන බොහෝ විපත්වලින් ඔවුන්ව ගලවා ගත හැකි බවත්, එමෙන් ම මව්වරු තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු ආකාරය පිළිබඳවත් මෙහි දී සාකච්ඡාවට බඳුන්විය. තවද විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම ගෘහනියකට කළ හැකි හොඳ ම ඉතිරිය බවත් , විදුලියෙන් දරුවන්ට විය හැකි අනතුරු වළක්වා ගත හැකි ආකාරය පිළිබඳවත් මෙහි දී සාකච්ඡා කෙරුණි. මෙදින සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සේරාණ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. සේනානායක මහතා , සුජය කතෘ මණ්ඩලයේ ඉනෝකා දීපානි මහත්මිය සහ සේරාණ විද්‍යාලයේ මෙන් ම ආරාධිත පාසල්වල ගුරු මහත්ම , මහත්මීන් සහභාගි වූහ.

මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශනය මෙහෙයවීම කොළඹ ආනන්ද, විශාඛා, ඉසිපතන යන විද්‍යාලයන්හි හිටපු ආචාරිණී ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදු කරන ලදී.

මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය උපාලි පදනමේ සමාජ සද්කාරරෑයයකි.

රසිකා බස්නායක
ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment