සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව – දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණය

17
සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව - දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණය

උපාලි පදනමේ සමාජ සද්කාර්යයකි

හෙට දින වෙනුවෙන් විදුලිය සුරකිමු

අනාගතය ගැන සිතා විදුලිය සුරකිමු – ඉනුක විහස්

දැනුම ලබන්න විදුලියෙන් ලැබෙන සහාය සුවිසල් – දිහිනි නිතාරා

උපාලි පුවත්පත් සමාගමේ අධ්‍යාපනික පුවත්පතක් වන සුජය ශිෂ්‍යත්ව පුවත්පත මූලිකත්වයෙන් සහ සිලෝන් චොක්ලට් සමාගම (කැන්ඩොස්) සහ ලංකා විදුලිබල මණ්ඩලය අනුග්‍රාහක දායකත්වයෙන් දීපව්‍යාප්තව පවත්වනු ලබන සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දාහතර වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පසුගියදා (09 වැනිදා) මාර/දෙනියාය මධ්‍ය විද්‍යාලයේ දී පැවැත්වුණි.

සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව - දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණය

දැනුමෙන් පිරිපුන් පරපුරක් අනාගතයට දායාද කිරීමේ උතුම් පරමාර්ථයෙන් පැවැති මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා දෙනියාය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩී. වයි. ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මියගේ අනුමැතිය මෙන්ම මාර/දෙනියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ඩබ්. ඒ. වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වය සහ විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි රුවිනි දහනායක මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සංවිධානත්වය මෙන්ම දෙමාපියන්ගේ සහයෝගය ලැබුණි.

දෙනියාය අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් රැසක දරු, දැරියන් මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සහභාගි වූහ. දරුවන්ගේ දැනුම, කුසලතාවය සහ ධාරිතා සංවර්ධනය උදෙසා මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙන අතර, ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් හුරුකරවීමට පෙරහුරු ප්‍රශ්න පත්‍ර I හා II සාකච්ඡා කිරීම මෙහි දී සිදු කෙරිණි. විදුලිබල අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමෙන් ආර්ථිකමය වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් විශාල වාසි රැසක් ළඟා කරගත හැක. එබැවින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීමේ අගය, අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරන ආකාරය, විදුලි ආරක්ෂණ ක්‍රමවේද හා විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම් සිදු කෙරිණි.

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දී 5 ශ්‍රේණියේ පරිසරය විෂයයයේ ඇති ‘ආරක්ෂාව හා පරිස්සම’ තේමාව යටතේ උගන්වනු ලබන විදුලිබලය සම්බන්ධ ප්‍රශ්නෝත්තර ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

ඒ අනුව දරුවන්ගෙන් මුලින් ම අසන ලද ප්‍රශ්නය වූයේ විදුලි බුබුළ සොයා ගත්තේ කවුද? යන්නයි. එයට පිළිතුරු දෙමින් මාර/දෙනියාය මධ්‍ය විද්‍යාලයේ දිහිනි නිතාරා ශිෂ්‍යාව කියා සිටියේ තෝමස් අල්වා එඩිසන් කියායි. විදුලි බලය නිෂ්පාදනයට යොදා ගන්නා විදුලි ප්‍රභව මොනවාද? යන ප්‍රශ්නයට ජල, තාප, සුළං හා සූර්යය යන පිළිතුර ලබා දුන්නේ මාර/දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ඉනුක විහස් ශිෂ්‍යයා යි. විදුලි සර වැදීමට හේතු මොනවද? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මාර/සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ යහන්සා යසිත්මි ශිෂ්‍යාව පැවසුවේ අනාරක්ෂිත විදුලි රැහැන් ඇල්ලීම නිසා විදුලි සර වැදිය හැකි බවයි. මාර/කොළවෙනිගම මහා විද්‍යාලයේ රනුකි රනුල්යා ශිෂ්‍යාව, නිවසේ ඇති විදුලි උපකරණ 3 නම් කරන්න යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස ශීතකරණය, විදුලි උදුන හා විදුලි පංකාව යන පිළිතුරු ලබා දුන්නා ය. නිවසට විදුලි බිල රැගෙන එන නිලධාරියා කවුද යන ප්‍රශ්නයට පිළිතුර දෙමින් මනු කියවන්නා යන පිළිතුර ලබා දුන්නේ මාර/තලපලකන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සිත්මි හිතේශි ශිෂ්‍යාව යි.

සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව - දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණය
පොල්තෙල් පහන දැල්වීමට එක්වූ පාසල් ළමුන් ඇතුළු ආරාධිතයන්

මෙදින සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව ‘ප්‍රීතිමත් පවුල සහ දෙමාපිය භාවය‘ යන තේමාව යටතේ දෙමව්පියන් දැනුවත් කිරීමේ දේශනයක් ද පැවැත්විණ. එහි දී දරුවන්ගේ යහපත් මානසික තත්ත්වය, පූර්ණ පෞරුෂය වර්ධනය හා පෝෂණය වෙනුවෙන් පවුලේ කාර්යභාරය, දෙමාපිය වගකීම බලපවත්වන ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරුණි. එමෙන් ම විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම හා විදුලි අනතුරු වළක්වා ගත හැකි ආකාරය ගෘහස්ථ මට්ටමින් ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද යන්නත් පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන්විය. එම අවස්ථාවට පැමිණ සිටි දෙමව්පියන් ද තම අදහස් දැක්වූහ.

මෙහි මාර/දෙනියාය මධ්‍ය විද්‍යාලයට පැමිණ සිටි දරුවන් ඇතුළු පිරිස පංචශීලයේ පිහිටුවීමට නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන, බෙරලපනාතර රතනසාර හිමි වැඩම කළහ. එමෙන්ම මෙදින සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට මාර/දෙනියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ඩබ්. ඒ. වික්‍රමසිංහ, සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ කර්තෘ කෝකිලා වෙත්තසිංහ, උප කර්තෘ රසිකා බස්නායක, සුජය කර්තෘ මණ්ඩලයේ ප්‍රාර්ථනා කොඩිකාර, දෙනියාය අලෙවි නියෝජිත දිලාන් නිමන්ත යන මහත්ම, මහත්මීන් සහ ආරාධිත පාසල්වල ගුරු මහත්ම, මහත්මීන් ද සහභාගි වූහ.

සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව - දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණය

මෙදින සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශනය මෙහෙයවීම කොළඹ ආනන්ද, විශාකා, ඉසිපතන යන විද්‍යාලයන්හි හිටපු ආචාරිණී, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදු කළ අතර, දෙමව්පියන් දැනුවත් කිරීමේ දේශනය ගුරු උපදේශිකා, ප්‍රවීණ නාට්‍යවේදිනී, මනෝ විද්‍යා උපදේශිකා ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදු කරන ලදී. මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය උපාලි විජයවර්ධන පදනමේ සමාජ සද්කාර්යයකි.

රසිකා බස්නායක

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment