සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව – මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ අවසන් සම්මන්ත්‍රණය

20

උපාලි පදනමේ සමාජ සද්කාර්යයකි
අනාගත පරපුරේ අනාගතය එළිය කරන විදුලිය

රටට දැනුමෙන්, කුසලතාවෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම දෙමාපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ යුතුකමක් මෙන්ම වගකීමකි. ඒ අනුව 2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් ඉහළ ප්‍රතිඵලයකට රැගෙන යෑමට ඔවුහු වෙහෙසෙති.

එම කටයුතු සාක්ෂාත් කිරීම සඳහා උපාලි පුවත්පත් සමාගමේ අධ්‍යාපනික පුවත්පතක් වන සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සහ සිලෝන් චොක්ලට් සමාගම (කැන්ඩොස්) අනුග්‍රාහක දායකත්වයෙන් ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දරුවන්ට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවක් දීපව්‍යාප්ත ව සංවිධානය කර ඇත.

සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව - මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ අවසන් සම්මන්ත්‍රණය

එම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ මේ වසරේ අවසන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය (විසි හත්වන) සැප්තැම්බර් මස 10 වැනි අඟහරුවාදා මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

මහව අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන සිසු, සිසුවියන් බොහෝ පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගි වූහ. මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සිසිර රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්විණි. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දී විභාගයට කෙටි කාලයක් තිබිය දී දරුවන් නොබියව විභාගයට මුහුණදිය යුත්තේ කෙසේ ද කියා හුරුකරවීමට පෙරහුරු ප්‍රශ්න පත්‍ර දෙකක්, දරුවන් හා සාකච්ඡාවට ලක්විය. එහිදී පළවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව මැදිරිගිරිය, වඩිගවැව ප්‍රාථමික විද්‍යාලයේ ආචාරිණී ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ප්‍රදීපා මධුවන්ති රාජකරුණා ගුරුතුමිය විසින් සිදු කළ අතර, දෙවන ප්‍රශ්න පත්‍රය කොළඹ ආනන්ද, විශාඛා, ඉසිපතන යන විද්‍යාලයන්හි හිටපු ආචාරිණී ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදු කරන ලදි.

සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව - මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ අවසන් සම්මන්ත්‍රණය

ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමෙන් අනතුරුව විදුලිය සම්බන්ධව සාමාන්‍ය දැනීම පිරික්සීම සඳහා දරුවන්ට ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර එයට දරුවන් ඉතා හොඳින් පිළිතුරු ලබා දුන්හ. ඒ අනුව, විදුලි බුබුල සොයා ගත්තේ කවුද? යන පළමු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තෝමස් අල්වා එඩිසන් මහතා යන පිළිතුර ලබා දුන්නේ මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ ගමිත සචිත්සර ශිෂ්‍යයා යි. විදුලිය නිරන්තරයෙන් අප භාවිත කරන නිසා විදුලි බුබුලක කොටස් සම්බන්ධ ව දැනුම තිබිය යුතුය. ඒ අනුව විදුලි බුබුලක කොටස් මොනවා ද යන ප්‍රශ්නයට මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ සසන්දි මෙත්මලී ශිෂ්‍යයාව පැවසුවේ විදුලි ආවරණය, සූත්‍රිකාව හා ඊයම් අග්‍රය බවයි. විදුලිය භාවිත කිරීමේදී රැහැන්වල සිදුවන දෝෂ සහගත අවස්ථාවලදී විදුලිය පරීක්ෂා කිරීමට සිදුවේ. ඒ අනුව විදුලිය පරීක්ෂා කරන උපකරණය කුමක්ද යන ප්‍රශ්නයට ටෙස්ටරය ලෙස පිළිතුරු ලබා දුන්නේ මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ බිනරු ශෂික් ශිෂ්‍යයා යි. විදුලිය පරිභෝජනය කිරීමේදී විදුලි බිල ඉතිරි කර ගැනීමට අවම වෝල්ටීයතාවක් ඇති විදුලි බල්බ දැමිය හැකි ය. ඒ අනුව විදුලිය අඩුවෙන් වැයවන බල්බ මොනවා ද යන ප්‍රශ්නයට ඛෑෘ සහ ක්‍ත්‍ඛ බල්බ ලෙස පිළිතුරු ලබා දුන්නේ මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ මිහෙලි හිරුදිනී ශිෂ්‍යාව යි. විදුලිය ප්‍රවේශමෙන් භාවිත කළහොත් විදුලි බිල ඉතිරි කරගත හැකි ය. ඒ අනුව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුත්තේ කෙසේ ද? යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කෝන්වැව මහා විද්‍යාලයේ ගයේෂා ගිම්හානි ශිෂ්‍යාව පැවසුවේ රෙදි එකවර මැද ගැනීම, අනවශ්‍ය විදුලි බල්බ නිවා දැමීම සහ ශීතකරණය නිතර නිතර විවෘත නොකළ යුතු බවයි. ඒ වගේම අනවශ්‍ය වෙලාවට විදුලි පංකා ක්‍රියාත්මක නොකිරීම තුළින් විදුලි බිල ඉතිරි කරගත හැකි බවත් ඇය පැවසුවා ය. දරුවන්ට අධ්‍යාපනික කරුණු කාරණා සම්බාරයක් ලබා ගැනීමට හැකිවූවා සේ ම දෙමාපියන් විසින් දරුවන් ආරක්ෂා කර ගත යුත්තේ කෙසේ ද යන්න සහ දරුවන්ට සමාජයේ ඇති අනාරක්ෂිත බව පිළිබඳව ද දෙමාපියන් දැනුම්වත් කිරීමේ දේශනයේ පළමු අදියර සිදු කළේ, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සොකො පුහුණු අංශයේ ස්ථානාධිපති, කැලණිය, ජයවර්ධනපුර, දියතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්ය පොලිස් පරීක්ෂක චාමර විජේරත්න මහතා විසිනි. “දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව” යන්න තේමා කර ගනිමින් දෙමාපියන් වශයෙන් දරුවන් පිළිබඳ ව අවධානයෙන් සිටින්නේ කෙසේ ද, ළමා අපයෝජනයන්වලින් දරුවන් බේරා ගත යුත්තේ කෙසේ ද? දෙමාපියන් සමාජ හිංසන ක්‍රියාවලින් හා නීති විරෝධී කටයුතුවලින් වැළකී සිටිය යුත්තේ කෙසේද යන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන ලදි. එමෙන් ම දෙවන අදියරේදී “ පවුල හා දෙමාපියභාවය” තේමාවට ගනිමින් ශිෂ්‍යත්ව විභාගයට දරුවන් සූදානම් කරන්නේ කෙසේ ද? මනා පෝෂණයක් ලබා දී දරුවන් රැක බලා ගත යුත්තේ කෙසේ ද සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම මගින් දෙමාපියන්ට යහපත් පවුල් ජීවිතයක් ලබා දෙන්නේ කෙසේ ද යන්නත් සාකච්ඡාවට ලක් විය. එමෙන් ම විදුලිය සම්බන්ධ ව ද දෙමාපියන් දැනුම්වත් කරමින් දරුවන්ට ඒ පිළිබඳ ව කියා දෙන්න යන පණිවිඩය ද එක් කරන්නට විය. දේශනයට පැමිණි බොහෝ දෙමාපියන්ගේ අදහස වූයේ “ ඇත්තට ම දරුවකුගේ කායික, මානසික කුසලතා වර්ධනයට අපි ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. මොකද දරුවන්ට මානසික නිදහස අවශ්‍ය වෙනවා. අපි නොහිතන විදිහට ළමයින් අපචාරයට, අපයෝජනයට ලක්වෙනවා. මේ හැම දෙයක් ම මාධ්‍යයෙන් පෙන්වන්නේ නෑ. ඉතින් අපි මුලින් ම හිතන්න ඕනේ දරුවන්නේ ආරක්ෂාව ගැන. දෙමාපියන් විදිහට අපිට විතරයි දරුවන් හොඳට බලාගන්න පුළුවන්” යැයි දෙමාපියන් අදහස් දක්වමින් කියා සිටියහ. මෙම අවස්ථාව සඳහා මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සිසිර රාජපක්ෂ මහතා, මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ 5 ශ්‍රේණි භාර ආචාරිණී කරුණාවතී මහත්මිය සහ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ කර්තෘ කෝකිලා වෙත්තසිංහ මහත්මිය, සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ උප කර්තෘවරුන් වන රසිකා බස්නායක මහත්මිය හා චන්දිමා විතාරණ මහත්මිය, සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ ඉනෝකා දීපානි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය උපාලි පදනමේ සමාජ සද්කාරයකි.

ප්‍රාර්ථනා කොඩිකාර
ඡායාරූප – සුජාතා ජයරත්න


advertistmentadvertistment