සුද්දා හැදුවට අප්පුහාමිගේ නමට ගිය දෙමෝදර පාලම

602

ආරුක්කු නවයේ පාලම සේම දෙමෝදර දුම්රිය ස්ථානයද අපූරු නිමැවුමකි

සුද්දා පටන් ගත්තට හැදුවේ අපේ අයගේ මොළයෙන් ශ‍්‍රමයෙන්

ශ‍්‍රී ලංකාවේ දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා සුවිශේෂී ස්ථානයක් ලෙස දෙමෝදර පාලම හෙවත් ආරුක්කු පාලම හැඳින්විය හැකිය. මෙම පාලමේ පිහිටීම ගත් කළ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොටුවෙල ප‍්‍රදේශයේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටා ඇත. මෙම පාලමේ විශේෂත්වය වන්නේ මෙය ආරුක්කු නවයක් සහිතව ඉදිකර තිබීමයි. දෙමෝදර පාලමේ විශේෂත්වයක් වන්නේ මෙම පාලමේ ආරුක්කු 9 යේ පහළ සිට අහස බලන විට අහස විධි 9 කට දිස් වීමයි. කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගය මෙම පාලම මතින් වැටී ඇත. මෙම පාලම මතින් දුම්රිය ගමන් කරන විට ඉතාමත් අලංකාර දසුනක් දැකිය හැකිය. මෙහි උස අඩි 300 වන අතර පළල අඩි 25 කි.

මෙම පාලම ඉදිකර ඇත්තේ බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසිනි. ඔවුන් දුම්රිය මාර්ගය සෑදීම සඳහා අවශ්‍ය සියලූම අමුද්‍රව්‍ය රැගෙන එනුයේ මහා බි‍්‍රතාන්‍යයෙන්ය. මේ අතරතුර ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය සකසාගෙන එන අතරතුර පළමු වන ලෝක යුද්ධය ආරම්භ විණි. එම යුද්ධය නිසා මහා බි‍්‍රතාන්‍යයේ සිට අමුද්‍රව්‍ය රැගෙන එන නැව් ගමනාගමන අපහසු වී තිබිණි. එම නිසා උඩරට දුම්රිය මාර්ගය භාරව කටයුතු කළ බි‍්‍රතාන්‍ය සහ ලාංකික ඉන්ජිනේරුවන් පාලම ඉදිකිරීම සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීමට තීරණය කර තිබිණි. මේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීමේදී සවි ශක්තිය හා කල් පැවැත්ම පිළිබඳව ගැටලූ මතු වී යැයි බියක් හටගත් නිසා. ඔවුන් අවසානයේදී කොන්ක‍්‍රීට් අච්චුගල් භාවිතයට ගැනීමට තීරණය කර ඇත.

ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දෙසට යෑමේදී ආරුක්කු හතරේ සහ ආරුක්කු නවයේ බෝක්කුව වශයෙන් බෝක්කු ගණනාවක් කොන්ක‍්‍රීට් අච්චුගල් යොදා ගනිමින් බි‍්‍රතාන්‍යයන් විසින් නිර්මාණය කර ඇත.

සුද්දා හැදුවට අප්පුහාමිගේ නමට ගිය දෙමෝදර පාලම

මෙම පාලම නිර්මාණය සම්බන්ධයෙන් ජනප‍්‍රවාදයේ කතා පුවත් රාශියක් අසන්නට ලැබේ. ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කර ඇත්තේ එච්. ආර්. මාර්වුස් නැමැති බි‍්‍රතාන්‍ය ජාතික ඉන්ජිනේරුවරයා බව ලංකා දුම්රිය ඉතිහාසය ගැන පිරික්සීමේදී පැහැදිලි වේ. ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේදී ඞී. ජේ. විමලසුරේන්ද්‍ර වැනි ලාංකික ඉන්ජිනේරුවරුන් සම්බන්ධ වන අතර එසේම මෙම ආරුක්කු නවයේ පාලමේ ප‍්‍රධාන පෙදරේරුවා ලෙස කටයුතු කර ඇත්තේ කැප්පෙටිපොල පී. කේ. අප්පුහාමි නමැති පෙදරේරුවාය. නමුත් පී. කේ. අප්පුහාමි නමැත්තා පිළිබඳව මූලාශ‍්‍ර තොරතුරුවල සඳහන් වී නැත.ලාංකික ජනතාවට මෙම ආරුක්කු පාලම වඩාත්ම වැදගත් වන්නේ මෙම ගොටුවල ගමේම හිටපු අප්පුහාමි නමැති පෙදරේරුවා විසින් මෙවැනි පාලමක් තැනීමට සැලසුම් කර ඇති බව ජනප‍්‍රවාදයේ සඳහන්ව තිබෙන නිසාවෙනි. එකල ඉතාමත් නොදියුණු ඉන්ජිනේරු තාක්‍ෂණයක් තිබෙන කාල වකවානුවක එවැනි පුද්ගලයකු මෙවැනි නිර්මාණයක් කිරීම ශ‍්‍රී ලාංකිකයන් වන අපට ආඩම්බරයකි.

ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර කඳු ගැටය දක්වා දුම්රිය මාර්ගය ඉදිකරන අතරතුර ගොටුවල ප‍්‍රදේශයේ කඳු දෙක අතර විශාල පරතරයක් තිබිණි. මෙම කඳු දෙක අතර මඩ වගුරකි. එදා ලාංකික ඉන්ජිනේරුවරයා මෙම කඳු දෙක යා කිරීම සඳහා එංගලන්තයෙන් යකඩ පාලමක් ගෙන්වා ඇත. නමුත් එම පාලම දිගින් අඩු වීම නිසා බරපතළ ගැටලූවකට මුහුණ දී තිබීම නිසා එම ඉන්ජිනේරුවරයාට මෙය දරා ගත නොහැකිව සිය දිවි නසා ගැනීමට තැත් කර ඇත. පසුව එම ඉංජිනේරුවරයාගේ ළඟම විශ්වාසය දිනාගෙන සිටි හිතවත් පෙදරේරුවකු වන අප්පුහාමිගෙන් මෙයට විසඳුමක් අසා තිබේ. පසුව ඉන්ජිනේරුවරයාගේ ඉල්ලීම අනුව අප්පුහාමි මෙම පාලම සෑදීම ආරම්භ කර තිබිණි. ඔහු ශක්තිවන්ත කම්කරු පිරිසකගේ සහය ඇතිව එම මඩ වගුරට ඉහළින් ඇති කඳු ගැටයේ තිබුණු විශාල කළුගල් ගලවා පෙරළා කඳු මුදුනේ සිට වේගයෙන් පහතට පෙරළෙන කළු ගල් කුට්ටි මඩ වගුරේ පතිත කර කළු ගලින් පුරවා තිබිණි. එමෙන්ම ඉතා ගැඹුරට සාදන ලද වළවල් සඳහා කබොක් ගල් කුට්ටි, තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක‍්‍රීට් මිශ‍්‍රණයක් භාවිතයෙන් එකිනෙක සවි කෙරිණි.

පාලම සෑදීම සඳහා භාවිතා කර ඇත්තේ කළු ගල් නොවේ තුනට දෙකට අනුපාතයේ වැලි සහ ගල් මිශ‍්‍රණ සහිත කොන්ක‍්‍රීට් අච්චුවලට දමා සකස් කරගත් කොන්ක‍්‍රීට් ගල්ය. ඒ ගල් එකිනෙක සිමෙන්ති බදාම යොදා බැඳ ඇත. අප්පුහාමි ඉන්ජිනේරුවරයාගේ විශ්වාසය ඇති කිරීමට වැටුප් නොගෙන මෙම පාලම ඉදිකළ බව ජනප‍්‍රවාදයේ සඳහන් වී ඇත. මේ පාලම නිර්මාණය කර ඇත්තේ වංගුවක් සහිතවයි. දුම්රිය මාර්ගය අංශක 9 ක වක‍්‍රතාවක් ඇති අතර ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30 කි. පාලම නිර්මාණය වන්නේ කඳු දෙකක් අතර වූ මඩ ගොහොරුවකය. මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර විශාල කුළුණු 10 ක් ආධාර කරගෙන ආරුක්කු 9 නිම කොට ඇත. ඒ විශාල කුළුණු හැම එකකම විශාල කවාකාර හිඩැසක් දක්නට ලැබේ.

පාලම ඉදිකළ පසු පාලමෙන් දුම්රිය ධාවනය කරන්නට ඉන්ජිනේරුවරයා බිය විය. එහෙත් අප්පුහාමි පෙදරේරුවාට පැවසුවේ ඔහුට දුම්රිය පාලමෙන් ධාවනය ආරම්භයට පෙර පාලම යට නිදා සිටින බවයි. දුම්රිය පාලම මතට ළඟා වන විට ඉන්ජිනේරුවරයා බියෙන් ඇස් දෙක වසාගෙන සිටි අතර පසුව දුම්රිය පාලමෙන් යද්දී පුදුම සතුටකින් බලා සිට තිබිණි. අප්පුහාමි මෙම පාලම සෑදීමට ගත් කාලයට හිඟ වැටුපත් මෙය සෑදීමට ගත් වෙහෙසට ත්‍යාග ලෙසින් රිදී කාසි මලූ 8 ක් ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබිණි.  බි‍්‍රතාන්‍ය ඉන්ජිනේරුවරයා වන මාර්වුස් මහතා සමඟ අප්පුහාමි විශාල බැඳීමක් තිබී ඇත. ඒ නිසා ඔහුට ලැබුණු රිදී කාසිවලින් ගමේ හිතවතුන්ට දිවා ආහාරය සමඟ රිදී කාසියක් තෑගි දුන් බව ජනප‍්‍රවාදයේ සඳහන් වී ඇත.

සුද්දා හැදුවට අප්පුහාමිගේ නමට ගිය දෙමෝදර පාලම

ඔහු 1885 දී උපත ලබා ඇති අතර 1957 දී අප අතරින් සමුගෙන ඇත. මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු 1913 ආරම්භ කර 1919 වර්ෂයේ දී අවසන් කළ ඇති බව මූලාශ‍්‍ර තොරතුරුවල සඳහන් වී ඇත. මේ තරම් ආකර්ෂණීය දෙමෝදර පාලම මේ වන විට විශාල තර්ජනයකට මුහුණ දී තිබේ. එහි පාලමේ සිට ඉහළට ඇති පාෂාණ කුට්ටිවල බදාම ස්ථර ගැලවෙමින් පවතින අයුරු දකින්නට ලැබේ. පාලමේ පාදමේ සිට ඉහළට මීටර් 50 දක්වා කොටසක මේ තත්ත්වය දැකගත හැකිය. සංචාරකයන් විශාල පිරිසක් එන මේ ආරුක්කු පාලම ආරක්‍ෂා කර ගැනීමට කඩිනම් පියවර ගත යුතුව ඇත. එසේ නොවුණහොත් විශාල ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වේ. බලදරයිනි මෙයට හැකි ඉක්මනින් ඔබලාගේ අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වේ.

මෙවැනි අග‍්‍රගණ්‍ය ජාතික සම්පතක් රැක ගැනීම ඔබ අප සැමගේ වගකීමක් හා යුතුකමකි. එම නිසා මෙහි සුන්දරත්වය අත්විඳීමට ඔබ පැමිණෙන කුණු දමා අපවිත‍්‍ර කිරීම, අසීලාචාර අශෝභන ලෙස නොහැසිරීමට, අනවශ්‍ය ලෙස කෑ කෝ ගැසීම විශේෂයෙන් විදේශ සංචාරකයන්ටය අපහසුවට පත්වන ක‍්‍රියා කිරීම, දුම්රිය මාර්ගයට අවහිර නොවන ආකාරයට හැසිරිය යුතුය. දෙමෝදර පාලම ඉදි වී අදට වසර 100 ක් ඉක්මවා ගොස් ඇති අතර බි‍්‍රතාන්‍යයන් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද ලංකාවේ මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් කඳුළෙන් මේ සුවිශේෂී නිර්මාණය නිම වී තිබේ. මෙම ආරුක්කු පාලම සෑදීමට මූලිකව කටයුතු කළ පී. කේ. අප්පුහාමි නිසාවෙන් විදේශිකයන් මේ පාලමට කියනුයේ ‘‘අප්පුහාමිගේ පාලම’’ නමිනි.

කි. මී. 291.6 දක්වා විහිදෙන කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා ඔබ අප කාටත් නෙතට රසඳුනක් බඳු ස්ථාන රාශියක් දක්නට ලැබෙනු ඇත. එම ස්ථාන අතරින් දෙමෝදර දුම්රිය ස්ථානය සුවිශේෂී ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. මෙම ප‍්‍රදේශයට දෙමෝදර යනුවෙන් හැඳින් වෙනුයේ බඳුලූ ඔයට තවත් අතු ගංගාවක් එකතු වන ගං මෝදර මෙම ප‍්‍රදේශයේ පිහිටීම නිසාය. දෙමෝදර දුම්රිය ස්ථානය භෞතික පිහිටීම අනුව දුම්රිය පොළට ඉදිරියෙන් ඇති මාර්ගයේ දුම්රිය ස්ථානය පිහිටා ඇති බිමට වඩා අඩි 70 ක් පමණ පහත බෑවුමකට විහිදී තිබීමයි. එම නිසා දුම්රිය ගමන් කිරීමේදී එවැනි බෑවුමකට ගමන් කිරීම අනතුරු දායක බව ඉන්ජිනේරුවන්ට වැටහී ඇති බවයි.

ඒ සඳහා විසඳුමක් වශයෙන් දුම්රිය ස්ථානයට ඉදිරියෙන් පිහිටි කඳු ගැටය වටා ගොස් දුම්රිය ස්ථානයට යටින් බිං ගෙයක් ඉදි කර එය තුළින් අනෙක් දිසාවට දුම්රිය ගමන් කරවීමට කටයුතු කර තිබිණි. මෙහිදී මෙම අඩි 70 බෑවුම තරණය කිරීම සඳහා දුම්රිය යාර 900 ක් පමණ කඳු ගැටය වටා ගමන් කරනු ලැබිණි. එමෙන්ම මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ යාර 232 ක් දිගැති අංක 41 දරන බිංගෙය උඩ වීමද මෙහි ඇති සුවිශේෂත්වයකි.

අඩි 70 පහළට දුම්රිය ගැනීමට නොහැකිව අවුරුදු 3 පමණ වැඩ ඇනහිට තිබිණි. ඉදිකිරීම් කටයුතු කෙසේ කළ හැකිද යන්න කල්පනා කරමින් සිටියදී එක් දවසක ඔවුන් හරක් දක්කන මිනිහෙක් කෙවිටක් කරකවන ආකාරය දැක සුදු ජාතිකයන්ට වැටහී ගියේ ඒ කෙවිට කැරකැ වූ ආකාරයට කන්ද වටේ දුම්රිය මාර්ගය නිර්මාණය කළ හැකි බවයි. මේ සඳහා ලාංකීය ඉන්ජිනේරුවෙක් වන විමලසුරේන්ද්‍ර මහතාගේද සහය ලැබී තිබිණි. පහල බෑවුමකට දුම්රිය ගැනීමට නොහැකිව සිටියදී ඒ අවට සිටි එළුවන් දක්කන්න  ආ එෙ`ඞ්රෙක් ඔහුගේ ජටාව හිසෙන් ගලවා නැවත එය බඳින ආකාරය දැක ඒ ආකාරයට දුම්රිය මාර්ගය නිර්මාණය කළ හැකිය කියා සුදු ජාතිකයන්ට පෙන්වා තිබිණි. මෙවැනි ජනප‍්‍රවාද කතා රාශියක් ඇති දෙමෝදර දුම්රිය ස්ථානය දෙස් විදෙස් සංචාරකයන් අතර අතිශය ජනප‍්‍රිය මනස්කාන්ත ස්ථානයකි.

සුජානි ඉන්දිකා

advertistmentadvertistment
advertistmentadvertistment