සුද්දා හැදූ තෙල් ටැංකි ඉන්දියාවට පැවරුවේ මෙහෙමයි…

773

ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ කතාව යළිත් කරළියට පැමිණ තිබේ. සමාජයේ කතා බහට ලක්වන විවිධ මාතෘකා අතර තෙල් ටැංකි පිළිබඳ මාතෘකාව දෙබරයකට ගල් ගැසුවාක් මෙන් දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළද විවාදයකට තුඩු දී තිබෙන්නේ ඉන්දීය විදේශ ලේකම්වරයා හදිස්සියේ මෙරටට පැමිණ ති‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණය කිරීම නිසාය. නමුත් පාර්ලිමේන්තුවේදි පවා ඇසෙන කතාවලින් පෙනෙන්නේ මේකී මාතෘකාව පිළිබඳව බොහෝ දෙනෙක් අඳුරේ අතපත ගාමින් අහුලා ගත් තොරතුරු මත පදනම්ව තර්ක විතර්ක ගෙනෙන බවකි. එයින් සිදුවන්නේ ජන සමාජයට වැරදි තොරතුරු සන්නිවේදනය වීමකි. ඒ නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාව සිටියදී මේ පිළිබඳ කළ අධ්‍යයනයේ මා දන්නා තොරතුරු රට හමුවේ තැබීම මෙය සුදුසුම වෙලාව බව සිතමි.

  • ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉතිහාසය

ත‍්‍රිකුණාමලය වරාය පිහිටුම අතින් අතිශය වැදගත් වටිනාකමක් එයට අතීතයේ සිටම හිමිවිය. එය සැලකෙන්නේ ලෝකයේ ස්වාභාවික පිහිටි වරායවල් අතර ඇති තෙවැනි වැදගත් වරාය ලෙසය. එම වරාය ආසන්නව ස්ථාපිත කර තිබෙන තෙල් ටංකි සංකීර්ණයත්, නාවික හමුදා කඳවුරත්, ගුවන් හමුදා කඳවුරත්, යුද හමුදා කඳවුරත් යන මේ වැදගත් ස්ථාන සියල්ල අයත් වන්නේ චයිනා බේ නමැති එකම භූ වපසරියක් ලෙස ගැනෙන රජයේ ඉඩමටය.

ස්වාභාවිකව පිහිටි වටිනා භූමියක එම වටිනාකම තවත් වැඩි කරමින් මෙකී වැදගත් ස්ථාන ගොඩනැගීමේ ඉතිහාසය ශ‍්‍රී ලංකාව ඉංග‍්‍රීසින්ගේ යටත් විජිතයක්ව පැවති යුගය දක්වා දිවෙන්නේය. ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉදිකිරීමේ ආරම්භය ද එම වකවානුව හා සබැඳිය. දෙවන ලෝක යුද්ධය ආරම්භක අවදියේ සිට දකුණු ආසියානු කලාපයේ යුද කටයුතු මෙහෙය වීම කර මතට ගෙන සිටියේ මවුන්ට් බැටින් සාමිවරයාය. ඔහු එම යුද කටයුතු මෙහෙය වීම සඳහා දකුණු ආසියානු කලාපයේ වැදගත් ස්ථානය ලෙස තෝරාගන්නේ ශ‍්‍රී ලංකාව ය. ස්වකීය මිත‍්‍රපාර්ශ්වික සහ බි‍්‍රතාන්‍ය හමුදාවට යුද්ධයේදි අවශ්‍ය ඉන්ධන සැපයීමට ආරක්ෂිත ස්ථානයක ඉන්ධන ගබඩා කර තැබීමේ වැදගත්කම යුද්ධය ආරම්භ වීමට පෙර සිටම ඔහු දුටුවේය. ඒ සඳහා බී‍්‍රතාන්‍යයන් ත‍්‍රිකුණාමලය වරාය පිහිටි භූමිය තෝරාගෙන එහි තෙල් ටැංකි 101 ඉදිකළේය. එම තෙල් ටැංකිවලින් විශාලම ඒවායේ මෙටි‍්‍රක් ටොන් දොලොස්දාහක්ද අනෙකුත් ටැංකිවල දස දහසක් වන සේ තෙල් ගබඩා කිරීමේ පහසුව ඇත.

බි‍්‍රතාන්‍යන් විසින් මේ තෙල් ටැංකි ඉදිකර තිබෙන්නේ ඉතා සුරක්ෂිත ආකාරයටය. සාමාන්‍ය තෙල් ටැංකි ඉදිකරනවාට වඩා ඉදිරියට ගොස් එහි ඇතුළත ඝන වානේ තහඩුවකින් ඉදිකළ එය ආවරණය වන සේ කොන්ක‍්‍රිට් ස්ථරයක් දමා තිබිණ. ඊට හේතුව යුද්ධයෙදී ඇතිවන ප‍්‍රහාරයකදි අවම හානියකින් තෙල් ටැංකි ආරක්ෂා කරගැනීමේ අභිප‍්‍රාය ඔවුන් තූළ විය. අනෙක් අතට කැලෑව ඇතුළත මේ ටැංකි පිහිටීම නිසා ඒවා නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙන්නේ ඉහළ සිට පමණය. එසේම වර්තමාන නාවික හමුදා කඳවුර පිහිටි භූමියේ බී‍්‍රතාන්‍යයන් විසින් හැර දමා ගිය විශාල කාල තුවක්කුවක් ඇත. අංශක එකසිය අසූවට හැරවිය හැකි එම අවියෙන් වරායට ඇතුළු වන සතුරු නැවකට ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබී ඇත. මවුන්ට් බැට්න් සාමිවරයා විසින් මේ තෙල් සැපයුම් සංකිර්ණය ඉදිකර ඇත්තේ එවැනි ආරක්ෂිත යුද උපක‍්‍රම ද සැලකිල්ලට ගනිමිනි.

එහෙත් දෙවන ලෝක යුද්ධයේදී ජපනුන් මිත‍්‍රපාර්ශ්වික හමුදාවේ මේ වැදගත් සැපයුම් ජාලය විනාශ කිරීමේ අරමුණින් තෙල් ටැංකි සංකිර්ණයට ගුවනින් බෝම්බ හෙළුවේය. එම ප‍්‍රහාරයෙන් තෙල් ටැංකි දෙකක් විනාශ විය. තෙල් ටැංකි 101 වන මුල් ඉදිකිරීමෙන් වර්තමානයේ ටැංකි 99 පමණක් දැකිය හැකි වන්නේ ඒකය.

  • බි‍්‍රතාන්‍යයන්ගෙන් තෙල් සම්පත ලබාගැනීම
සුද්දා හැදූ තෙල් ටැංකි ඉන්දියාවට පැවරුවේ මෙහෙමයි…

දෙවන ලෝක යුද්ධයෙන් පසු අපේ රට නිිදහස් වුණද අගමැති බණ්ඩාරනායක මහතාගේ කාලය වන විටත් කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපළ සහ ත‍්‍රිකුණාමලය යන ප‍්‍රධාන මර්මස්ථාන තුනම පාලනය වූයේ බි‍්‍රතාන්‍ය රාජකීය නාවික සහ ගුවන් හමුදාව යටතේය. එහෙත් බණ්ඩාරනායක මහතා මේ සියල්ල ජනසතු කළේය. ඒ නිසා බි‍්‍රතාන්‍යයන්ට එකී ස්ථානවල පාලනයෙන් ඉවත් වන්නට සිදුවිය. ඒ වෙනුවෙන් බි‍්‍රතාන්‍යයන්ට ස්ටර්ලින් පවුම් 250,000 ක නාමික වන්දියක් ගෙවීමට ශ‍්‍රී ලංකාවට සිදුවිය. පසුව 1961 අංක 28 දරණ පනතින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තෙල් සංස්ථාව පිහිටුවූවේය. ශක්තිමත් පනතක් වූ එමගින් එවකට මේ රටේ තෙල් බෙදාහැරීමේ බලය තිබූ ෂෙල්, ඇසෝ සහ කැල්ටෙක්ස් නමැති සමාගම් තුනේ බලය අහෝසි කර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත් කළේය. පසුව නවසිය හැට නවයේදී ඩඞ්ලි සේනානායක රජය යටතේ තෙල් පිරිපහදු කිරීම ආම්භ කළේය. ඉනික්බිතිව බලයට පැමිණි රජය තෙල් පිරිපහදුවේදී එන අතුරුඵලවලින් නයිලෝන්, ඉටිපන්දම්, කෘමිනාශක සහ ලිහිසි තෙල් වැනි කර්මාන්ත හයක් තෙල් සංස්ථාව වටා ස්ථාපිත කළෝය. නැව්වලට සහ ගුවන් යානාවලට තෙල් ලබාදීම ආරම්භ කළේ ද මේ කාලයේය. තෙල් සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්වූයේ එය වටා පැවති මේ කුඩා ව්‍යාපාර ජාලයත් සමගය.

  • ඉන්දු ලංකා ගිවිසුම තෙල් ටැංකිවලට බලපෑමක් කළාද

ඇතැමුන් ඉන්දු ලංකා ගිවිසුම ද මේ මාතෘකාවට ඈඳා ගනිමින් නොදන්න කතා ගොතන්නේය. එදා 1987 ජුලි මාසයේදී ජේ. ආර්. ජයවර්ධන සහ රජීව් ගාන්ධි යන ශ‍්‍රී ලංකා ඉන්දියානු නායකයින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්නේ තෙල් ටැංකි පිළිබඳ තීන්දුවක් ගැනීමට නොවේය. එහි මුඛ්‍ය අරමුණ වූයේ පළාත් සභා ඇති කිරීමේ ඉන්දියාවේ වුවමනාවය. නමුත් අප දන්නා ආකාරයට එම ගිවිසුමේ අතිරේක කරුණු අතර මේ තෙල් ටැංකි සමූහය යම් ආකාරයක සංවර්ධනයක් කර ආයෝජනයක් කරනවා නම් එය ඉන්දියාව දැනුවත් කර කළ යුතු බව සඳහන් කර ඇත. ඉන්දියාව එමගින් බලාපොරොත්තු වන්නේ ස්වකීය ආරක්ෂාව යන කාරණයේදී තමන්ගේ රටේ සිට කිලෝමීටර් තිහක් පමණ එපිටින් පිහිටි මේ වැදගත් ස්ථානය වෙනත් විදේශ රටකට නතු වීමෙන් වළක්වා ගැනීමය. මේ නිසා එම ගිවිසුමෙන් තෙල් ටැංකි සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ගත හැකි ක‍්‍රියාමාර්ග වළක්වා නැත.

නමුත් ඉන්දු ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර, වර්ධරාජා පෙරුමාල් මහ ඇමැති වීමෙන් පසු ඔහු එම ප‍්‍රදේශය වෙනම ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශ කිරීම නිසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එම පළාත් සභාව විසුරුවා හැරියේය. පසුව ජනතා විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට එදිරිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේය. 2006 වසරේදී උතුරු නැගෙනහිර වෙන් කරමින් එම නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්වීය.

මෙම තීන්දුව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දැනටමත් පවරා ඇතය යන තර්කය ගෙනෙන ඊනියා දේශපේ‍්‍රමීන්ට කදිම පිළිතුරක් ලබා දෙන්නක්ය. එදා දෙරටේ නායකයන් ගිවිසුම් ඇතිකරගෙන පළාත් සභා පිහිටුවා ඊට අනුෂාංගිකව උතුරු නැගෙනහිර එක් කළද අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එය වෙන් කළේය. එයින් පැහැදිලි වන්නේ නායකයන් ගිවිසුම් අත්සන් කළද මේ රටේ පවතින නීතියට එය පටහැනි නම් එම ගිවිසුම්වලින් ප‍්‍රතිඵලයක් නැති බවය. මෙයින් නිරූපණය වන්නේ තෙල් ටැංකි ඉන්දියාවට දුන්නා වුවද එය රටේ නීතියට පටහැනි නම් නැවත එය ලබා ගැනීමට බැරිකමක් නැති බවය. අපට තිබෙන ගැටලූව වන්නේ එවැනි පසුබිමක් තුළ තෙල් ටැංකි ඉන්දියාවට දීලා ඉවරයි කියා එයට නොමැති නෛතික භාවයක් ලබා දීමට මේ පිරිස සැරසීමය. මැතිවරණ කාලයට පමණක් තමන්ට වඩා බෞද්ධයන්ද තමන්ට වඩා දේශ හිතෛෂින්ද නැති බවට හදවත අල්ලාගෙන කෑ ගසන මේ පුද්ගලයන් ගැන ජනතාව දැනගත යුතුය.

  • ලංකාවේ තෙල් සැපයුම් ජාලයට ඉන්දියාවේ මැදිහත් වීම

සිරිමාවෝ මැතිනියගෙන් පසු ලාබ ලබන රාජ්‍ය ආයතනයක් ලෙස පැවති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොටස් තුනකට වෙන්කළේ 2003 වසරේ බලයට පැමිණි යූ. ඇන්. පී ආණ්ඩුවය. ඒ වන විට තෙල් සංස්ථාව සතුව පැවැති ඉන්ධන පිරවුම්හල් තුනකට බෙදා එයින් සියයක් ඉන්දියානු සමාගමක් වන ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදුන්නේය. මෙකී කාර්ය සඳහා එවක කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකා දෙකක් යොමු වී තිබිණ. ඉන් එක කැබිනට් පත‍්‍රිකාවක් යොමුකර තිබුණේ වසර විස්සකට තෙල් ගෙන්වීම සහ බෙදාහැරීමේ බලය ඉන්දියානු සමාගමට ද ලබා දීම සඳහාය. විදුලිබල සහ බලශක්ති ඇමැතිවරයා ලෙස එම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළේ කරු ජයසූරිය මහතාය. අනෙක් කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ඉන්දියාවේ වත්මන් ශ‍්‍රී ලංකා තානාපතිවරයා වන මිලින්ද මොරගොඩ මහතාය. ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි බදු දීම සඳහා මූලික පදනම වැටෙන්නේ එකී කැබිනට් පත‍්‍රිකාව මගිනි. එහි මූලික එකඟතාව පැවතියේ වසර තිස් පහක් සඳහා තෙල් ටැංකි බදු පදනම මත ලබාදීමයි.

දැන් පිරිසක් කියන්නේ මෙවැනි අවබෝධතා ගිවිසුමක් තිබුණ ද ඊට පසු අත්සන් කිරීමට නියමිත ගිවිසුමක් තිබුණු බවය. ඔවුන් කියන්නේ අවබෝධතා ගිවිසුම අත්සන් කළද ඊට පසු අත්සන් කිරීමට පැවති ගිවිසුම අත්සන් නොකළ බවය. නමුත් තවත් පාර්ශ්වයක් එම ගිවිසුම අත්සන් කළ බවත් එයට බද්දක් ලැබී ඇති බවත් ඒ නිසා තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට අයත් වන බවය. එහි බදු මුදලක් ලෙස ඩොලර් ලක්ෂයක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් සංස්ථාවට ගෙවන බව ඔවුන්ම සඳහන් කරන්නේය.

මේ බදු මුදලින් හෙළිවන සත්‍යතාවය කුමක්ද? එම ගෙවීම ශ‍්‍රී ලංකාව භාරගත්තා වුවද එයින් පැහැදිලි වන්නේ තෙල් ටැංකි සඳහා ලබාගෙන තිබෙන්නේ බද්දක් යන්නය. බද්දක් යනු අයිතිය පැවරීමක් නොවේය යන්න නිවසක් කුලියට දෙන සාමාන්‍ය මිනිසෙකුට පවා වටහාගත හැකිය. සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයා සඳහන් කරන අන්දමට ලංකා ඉන්දියන් තෙල් සමාගම 2004 වසර වන විට ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් ගබඩාවක් ලෙස භාවිතා කර පැවතියේ ටැංකි දෙකක් පමණකි. 2003 ගිවිසුම නිසා එවකට තෙල් සංස්ථාවේ වෙළෙඳාමෙන් තුනෙන් එකක් තෙල් සංස්ථාවටත් තුනෙන් එකක් ඉන්දියන් ඔයිල් සමාගමටත් තුනෙන් එකක් විකිණීම සඳහා මහා භාණ්ඩාගාරයටත් ලබා දී තිබිණි. තෙල් සංස්ථාවටත් ඉන්දියන් ඔයිල් සමාගමටත් පහසුකම් සපයන සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටොරෙජස් ටර්මිනෙට් ලිමිටඞ් ආයතන සමාගම් පනත යටතේ ස්ථාපිත වන්නේ මේ කාලයේය. සියලූම ගබඩා පහසුකම් සහ බෙදාහැරීම අයත් වූවේ එම සමාගමටය. එම සමාගමේ කොටස්වලින් තුනෙන් එක බැගින් තෙල් සංස්ථාවටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමටත් මහා භාණ්ඩාගාරයටත් අයත්ව තිබිණ. සුසිල් ප්‍රෙමජයන්ත මහතා තෙල් සංස්ථාවේ ඇමැතිකම භාරගන්නා විට විකිණීමට දමා තිබූ මහා භාණ්ඩාගාරයේ පැවති තුනෙන් එකේ කොටස ටෙන්ඩර් මගින් චීනයේ සයිනෝ පැක් සමාගම ලබා ගැනීමට සූදානම්ව සිටියේය. නමුත් අමාත්‍යවරයා විසින් එමගින් තෙල් සංස්ථාවේ ඒකාධිකාරය බිඳ වැටෙන නිසා උපාය මාර්ගිකව එම ගනුදෙනුව සයිනොපැක් සමාගම නතර කරන තැනට පත් කළේය. ඊළඟ ඉල්ලූම්කරු වූයේ භාරත් පෙට්ට්‍රොලියම් කෝපරේෂන් ය. ඉන්දියන් ඔයිල් සමාගම සහ භාරත් පෙට්ට්‍රොලියම් සමාගම්වල අවසන් පාලන බලය තිබුණේ ඉන්දියානු රජයටය. ඔවුන් එකී තුනෙන් දෙකේ කොටස ලබාගැනීම ඉන්දියාව වක‍්‍රාකාරව මෙරට තෙල් ඒකාධිකාරය හිමිකර ගැනීමක් වීමට ඉඩ තිබිණ. තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊට විරුද්ධ බව පවසමින් අමාත්‍යවරයා විසින් එම අනතුර ද වළක්වා ගත්තේය. පසුව 2007 වසරේදී තෙල් සංස්ථාවේ අමාත්‍ය ධුරයට ෆවුසි අමාත්‍යවරයාගේ පත්වීමත් සමග මහින්ද රාජපක්ෂ රජය විකිණීමට නියමිත කර තිබූ මහා භාණ්ඩාගාරයේ පැවති තුනෙන් එකේ කොටස යළි තෙල් සංස්ථාවට ලබා දුන්නේය.

කෙසේ වෙතත් වර්තමානය වන විට තෙල් බෙදාහැරීමේදී තවමත් වැඩිම ඉන්ධන පිරවුම්හල් ප‍්‍රමාණයක් ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව සතුවය. තෙල් අලෙවිකරණයේදී ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතුවන්නේ සියයට දොලහත් පහලොවත් අතර කොටසකි.

කෙසේ වෙතත් 2003 දී ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සමග අත්සන් කළ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මහා භාණ්ඩාගාර ලේකම්ව සිටි චරිත රත්වත්තේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති දහම් විමලසේන විසින්ය. මේ ගිවිසුමේ නීත්‍යානුකූල භාවය ගැන ගැටලූවක් ඇත. බද්දක් ලිවිය යුත්තේ භූමිය අයිතිකරුය. එය බලාගන්නා පුද්ගලයාට එවැන්නක් අත්සන් කිරීමට බලය ඇත්තේ කෙසේද? අපේ රටේ නීතිය අනුව යම්කිසි ඉඩමක එම ඉඩම තුළ පිහිටා තිබෙන නිශ්චල දේපල අයිති වන්නේ ඉඩමේ අයිතිකරුට ය. එකී නීතිය මත ආණ්ඩුවේ ඉඩමේ තිබෙන නිශ්චල දේපල අයිති වන්නේ ආණ්ඩුවටය. එදා බි‍්‍රතාන්‍යයේ හමුදාවට ස්ටර්ලින් පවුම් දෙලක්ෂ පනස්දාහසක් ගෙවීම මත තෙල් සංස්ථාව සිටියේ භුක්තියේ පමණය. අයිතිකරු නොමැතිව භුක්තියේ සිටින කෙනෙකුට බද්දක් සඳහා පැවරීමක් කළ හැකිද. එමගින් පෙනෙන්නේ 2003 පැවතියේ ගිවිසුමක් වුණද එයට නීත්‍යානුකූලභාවයක් නැති බවය.

කෙසේ වෙතත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් ටැංකි 14 ක් වර්තමානයේදී පරිහරණය කරන්නේය. ලංකාවේ ඞීසල් සහ පෙට්ට‍්‍රල් මසකටම භාවිතා වන්නේ දෙලක්ෂ අසූ දහසක් වැනි ප‍්‍රමාණයකි. මේ නිසා තෙල් මෙටි‍්‍රක් ටොන් නවලක්ෂ අනූදහසක ගබඩාවක් පවත්වා ගැනීම ද ඒ සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කරමින් මේ ටැංකි 99 ප‍්‍රතිසංස්කරණය කිරීම ද ශ‍්‍රී ලංකාවට පලක් නොවන කාරණයක්ය.

තිස්ස ගුණතිලක
හිටපු විදුලිබල සහ බලශක්ති අමාත්‍ය වත්මන්
රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.

advertistmentadvertistment
advertistmentadvertistment