සුද්දෝ නැති පාසිකුඩා වෙරළට ‘සංචාරක බුබුල’ අවශ්‍ය ද?

363

උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති
 
පැරණි සෝවියට් රුසියානු කියමනක මෙසේ කියයි. ‘‘ක්තෝ නී රිස්කුයුත් තොත් නී පියුත් ශම්පාන්ස්කොවො”
එහි අර්ථය ”අවදානම් නොගන්නා පුද්ගලයන් ෂැම්පේන් (ජයපැන්) බොන්නේ නැති බවයි”
 

මෙයින් ගම්‍ය වන්නේ ජීවිතයේ යමක් ලබා ගන්න ආත්ම විශ්වාසය පෙරටු කර ගනිමින් අභියෝග” අවදානම් වලට මුහුණ දීමට බිය නොවිය යුතු බවය. අවාසනාව පලවාහැර වාසනාව උදාකර ගැනීමට සටන් කළ හැක්කේ බය නැතිව ප‍්‍රශ්නවලට මුහුණ දෙන විටයි. එතකොට තමයිලූ” නායකයන්ට පවා සටන් කරන්නට ශක්තිය ලැබෙන්නේ.
 
 මේ කියමන ඔප්පු කරමින් අද අසල්වැසි මාලදිවයින අප රට අභිබවා විශාල ලෙස සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන තත්ත්වයට පත්ව ඇත. ඊට අමතරව හෝටල් සේවකයින්ගෙන් 90% කටම කොරෝනා එන්නත ලබාදී හමාරයි. එකට අපේ රටේ! විදේශිකයන් පමණක් පැමිණිය හැකි ‘‘පළමු පෙළ හෝටල” වලටවත් එන්නත් කරණය ආරම්භ කරන දිනයක්වත් හෝටල් හිමියන් නොදන්නා බව පවසයි. එහෙත් මාලදිවයින ”කොරෝනා එන්නත් සම්පූර්ණයෙන්ම ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂාව හා සුරක්ෂිත බව සහතික කරන හෝටල් තිබෙන ලෝකයේ එකම දූපත් සමූහය ලෙස” ජාත්‍යන්තර සංචාරක ප‍්‍රවර්ධනය වැඩසටහනක් පවා ලබන මාසයේදී ආරම්භ කිරීමට මාලදිවයින රජය විසින් සැලසුම් කරලා අවසන්. මේ වසරේ පළමු මාස 6 ඇතුළත 510”000 ආසන්න සංචාරක පිරිසක් එරටට පැමිණ ඇති මොහොතක බව කිව යුතුයි.
 
 අපි සංචාරකයන් හට පැමිණීමට නොයෙක් බාධා පනවා ඇති බැවින් ලංකාවට පළමු මාස හයේදී සංචාරකයන් 18”000 වත් පැමිණ නැති මොහොතක පවා සංචාරක ප‍්‍රවර්ධන මණ්ඩලය ප‍්‍රචාරක කටයුතු සඳහා ඩොලර් මිලියන ගණනක් වියදම් කිරීමට නම් සියල්ලම සුදානම්ලූ. ඒත් සංචාරකයන්ට රටට පැමිණීමට හැකි හිතකර උපදෙස් මාලාවක් ලබා නොදීමට හේතුව කුමක්ද කියා පළමුව සොයා බැලිය යුතුය.
 
 ඇත්තටම රුසියානු” යුක්රේනියානු” කසකස්තානු ජාතිකයන්ගේ එතෙර සංචාරය කිරීම කොතෙක්ද කියන්නේ නම් මේ කොරෝනා භීෂණය කාලය තුළ පවා” මාලදිවයිනට වැඩියෙන්ම පැමිණ ඇත්තේ රුසියානුවන්ය. දෙවැනි තැනට ඉන්දියානුවන් මෙන්ම හතරවන හා හයවැනි තැනට පැමිණ ඇත්තේ යුක්රේනියානුවන් හා කසකස්තානුවන්ය. ඇත්තටම අවම වශයෙන් මාලදිවයිනට පැමිණි පිරිසට වඩා දෙගුණයක් ශ‍්‍රී ලංකාවට මෙම කාලයේදී පවා ගෙන්වා ගැනීමට අපටත් පුළුවන් බව අත්දැකීමෙන් මම දනිමි.
 
 රුසියාවේ හිටපු තානාපතිවරයා ලෙස පසුගිය කාලය මුළුල්ලේ මවිසින් මෙරටට යුක්රේනියාවේ හා කසකස්තානයේ සිට සංචාරකයන් විශාල පිරිසක් රැගෙන විත් ඇත්තෙමි. එදා තානාපතිවරයෙකු ලෙස මගේ යුතුකම ඉටු කරමින් ලංකාවට රුසියානුවන්ගේ පැමිණීමේ ප‍්‍රතිශතය 2800% කින් වැඩි කිරීමට සමත් වූවෙමි.
 
 අප කවුරුත් දන්නා පරිදි අපේ ආර්ථික මර්මස්ථානය වන්නේ ලංකාවේ සංචාරක ක්ෂේත‍්‍රයයි. සංචාරක කර්මාන්තය යනු එදා මෙරටට ආදායම් ලබා දෙන ප‍්‍රධාන මාර්ග පහ අතුරින් එකකි. ඒ නිසාම සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ සංචාරක ව්‍යාපාරයෙන් ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව ආදායම ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරන්නට වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අධිෂ්ඨානයකි. ඒ නිසාම කොරෝනා වසංගතය ලොවම දණගස්වා ඇති වාතාවරණයක වුවද ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් නගරයට නැවතත් ඍජු ගුවන් ගමන් ආරම්භ කරන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත” රටෙහි සංචාරක කර්මාන්තයට නැවුම් බලාපොරොත්තු ඇති කරමින්ය. මෙහිදී ජනාධිපතිතුමාට මෙන්ම ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති ඇතුළුව කාර්ය මණ්ඩලයට පළමුව අපගේ ස්තුතිය පළ කළ යුතුයි.
 
 නැගෙනහිර පළාතේ අතිශය සුන්දර පාසිකුඩා වෙරළ තීරය සිරිමාවෝ බණ්ඩාරනායක රජය වර්ෂ 1971 දී සංචාරක කලාපයක් ලෙස නම් කළේය. ඊළාම් යුද්ධයත් සමග අඩපණ වී තිබුණු ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2009 යුද ජයග‍්‍රහණයෙන් පසු රටෙහි ප‍්‍රධාන ආර්ථීක මර්මස්ථානයක් ලෙස හඳුනාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වාර්ෂිකව රටට පැමිණෙන සංචාරකයන්ගේ ප‍්‍රමාණය ලක්ෂ 4 සිට ලක්ෂ 25 දක්වා වැඩි කිරීමට යෝධ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ඒ අනුව වසර තිහක් පුරාම රටෙහි පැවති ඊළාම් යුද්ධයේ අවසාන කාලයේදී පාසිකුඩා වෙරළ තීරය ජාතික සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කර රටේ සංචාරක කර්මාන්තයට මෙන්ම එම ප‍්‍රදේශයට ද ඉමහත් වාසි සැලසීමටය. ඊට මහාමාර්ග සහ විදුලිබලය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය හා ප‍්‍රදේශවාසී ධීවරයන්ගේ මෙන්ම වෙනත් නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කරමින් නව රැකියා අවස්ථා රැසක් උදාකිරීමට සැලසුම් කළේය. එහිදී සංචාරක කලාපය සඳහා අක්කර 150 ක් වෙන්කර ඉන් අක්කර 100 ක් තුළ සංචාරක හෝටල් 14 ඉදිකිරීමට ආයෝජකයන්ට බදු පදනම යටතේ ලබාදී ඇත. පසුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ගේ ඍජු මගපෙන්වීම යටතේ සංචාරක සංවර්ධන අධිකාරිය එම කලාපය තුළ පළමුව කාමර 1000 ඉදිකිරීමට අනුමැතිය ලබා දී පසුව එය 800 අඩු කළ නමුත් ඒ හරහා සෘජු රැකියා අවස්ථා 3000 ක් පමණ උත්පාදනය වනු ඇතැයි රජය අපේක්ෂා කළේය. එදා මේ කලාපය තුළ රජය මැදිහත් වී පානීය ජල පහසුකම්” අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකම්” මාර්ග පහසුකම් සහ පදික මාවත් සංවර්ධනය” පොදු වැසිකිළි පද්ධතියක්” ආපනශාලා” කඩවීදි” වාහන රථගාල්” හෙලිකොප්ටර් අංගනයක්” වෙරළ අලංකරණය හා ආලෝකවත් කිරීම මෙන්ම සංචාරක පොලිසියක් ද ලබාදීමට සැළසුම් කර තිබුණි‘
 
 පසුගිය දසකය පුරා මෙම සංචාරක පුරවරයට විශාල ආයෝජන හරහා Anantaya Resort (කාමර 54)” The Calm (68)” Maalu Maalu (34)” Uga Bay (44)” Hotel Sunrise(60)” Marina Beach(26)” Amethyst (38)” Amaya Beach (126)” Passi Villas (54)” Sun Siyam (34)” Minngee (36)” Anilana (34) ආදී වශයෙන් හෝටල්වල දැනට නිමකර ඇත්තේ ද කාමර 654කි. එහි විශේෂත්වය නැගෙනහිර පළාතේ දමිළ තරුණ තරුණියන් මෙන්ම සිංහල තරුණ තරුණියන් අතරින් 60% ශ‍්‍රමදායකත්වයක් මෙම හෝටල් ජාති ආගම් භේදයකින් තොරව ලබාගත යුතුව තිබුණු නිසාම අද පාසිකුඩා කල්කුඩා ගම්වැසියන්ගෙන් 80% ක්ම හෝටල්වල හා සංචාරක කර්මාන්තයේ නිරතව සිටිය අයුරු දැකිය හැක. එහෙත් 2019 පාස්කු ප‍්‍රහාරයෙන් පසු කොරෝනා වසංගතයක් නිසා අසරණ වූ ඔවුන් ජුලි මාසයේදී පටන්ගන්නා පාසිකුඩා සංචාරක කාලයේදී හෝ පාසිකුඩා මුහුදු තීරයට සුද්දො පැමිණීමෙන් ගම්මානයට යම්කිසි ආදායම් ලැබෙනවා ඇතැයි විශ්වාසය පමණක් ඉතිරිව ඇත.
 
 පාසිකුඩා මුහුදේ රළු ස්වභාවයක් නැති නිශ්චල මුහුදක් නිසාම එය ජල තටාකයක් මෙනි. බොහෝ දුරක් පයින් ඇවිදගෙන යා හැකි ඉතා නිශ්චල නොගැඹුරු ලානිල්වන් මුහුදකි. ඒ නිසා පාසිකුඩා වෙරළ තීරය නෑමට සහ පිහිනීමට සංචාරකයන් ඇළුම් කරන දැකුම්කළු මුහුදු තීරයක් විය. ජූලි – ඔක්තෝබර් අතර කාලයේදී මේ ප‍්‍රදේශයට ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන බැවින් එම කාලය පාසිකුඩා සංචාරක කාලයයි. මෙම කාලයට පැමිණෙන සංචාරකයන් සඳහා පාසිකුඩා මුහුදේ දී හිතේ හැටියට ජල ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය සියලූ පහසුකම් දැකිය හැක. එමෙන්ම ගැඹුරු මුහුදේ කිමිදීමට අවශ්‍ය පහසුකම් මරිනා කිමිදුම් මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක. ඒ අවට 1945 දෙවන ලෝක යුද්ධය සමයේදී ජපන් හමුදාවේ ප‍්‍රහාරයට ලක්වී ගිලී ඇති නැව් 4 ක්ම රුසියානු සංචාරකයන්ගේ ආකර්ෂණයට භාජනය වන බව විශ්වාසය. මීටර් 23 ගැඹුරට කිමිදී බැලිය හැකි British Sergeant මෙන්ම මීටර් 12 ක් කිමිදී බැලිය හැකි Lady McCallum නවුකාව බැලීමට ඔහුන් අමතක නොකරනු ඇත.
 
 මෙවැනි වාසිදායක තත්ත්වයන් රැසක් නිසා එදා පාසිකුඩා ඉදිකළ සංචාරක පාරාදීසය මෙරට සංචාරක කර්මාන්තයට සුවිශේෂී දායකත්වයක් සැපයීමට ඉඩ තිබුණි‘ නමුත් 2015 පසු යහපාලන රජය විසින් එම ඉදිකිරීම් නතර කර තිබෙන අයුරු පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මා හට පෙන්වා දුන්නේ” ප‍්‍රදේශ වාසී ජනතාවගේ හදවතට වේදනාව උපදවන කනගාටුදායක පුවතක් ලෙසය. එහෙත් පාසිකුඩා වෙරළට රුසියානු සංචාරකයන් ගෙන්වා ගැනීමට අපට උපරිම සහයෝගය ලබා දීමට පොරොන්දු වූ මන්ත‍්‍රීවරයා” දැනටමත් එහි හෝටල් සේවකයින් සඳහා කොරෝනා එන්නත ලබා දීමෙන් පෙනී යන්නේ” ප‍්‍රාදේශීය දේශපාලන අධිකාරියේ සංචාරකයන් ගෙන්වීමට ඇති උනන්දුවයි. එය අපට සතුටුදායක පුවතකි.
 
 පාසිකුඩා මුහුදු තීරයෙහි හෝටල් ආයෝජන ව්‍යාපෘතියට අනුව ගොඩනගන ලද හෝටල් 6ක් ‘‘සංචාරක බුබුල” සංකල්පය යටතේ රුසියානු සංචාරකයන් සඳහා මුලින්ම තෝරා ගැනීමට කටයුතු සූදානම් කර තිබුණේය. මෙහිදී” සංචාරකයින් හට හෝටල අතර සහ වෙරළ තීරය තුළ සැරිසැරීමට අවසර ලබාදෙන අතර සංචාරකයින්ට ප‍්‍රදේශවාසීන් සමඟ කිසිදු සම්බන්ධතාවයක් ඇති නොවන පරිදි වෙරළ සහ මායිම් සුරක්ෂිත කිරීමට ද ක‍්‍රියාත්මක කරමු. එසේම හෝටලයේ සේවකයින්ට එහි රැඳී සිටීමට කටයුතු සලස්වනවා ඇත. එසේම මත්තල ගුවන්තොටුපළෙහි විශේෂ සහන පදනමක් මත ගුවන්යානා ගොඩ බැස්සවීම් සහ අනිකුත් පහසුකම් රජය විසින් ලබා දීමටත් සූදානම්ය.
 
 මේ ලිපියේදී මවිසින් අවධාරණයෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් තිබේ. පසුගිය දෙසැම්බර් සිට අපේ‍්‍රල් කාලයේදී යුක්රේනියාවේ හා කසකස්තානයේ සිට මෙරටට පැමිණි සංචාරකයින් 6000 කට ආසන්න ප‍්‍රමාණයක් අතරින් රෝගීන් හමුවී ඇත්තේ 24 දෙනෙකු පමණි‘ ඒ අනුව මේ කියන සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ වෙති. එමෙන්ම සංචාරකයන් නැවතී සිටි හෝටල්වල සේවකයින් සඳහා සිදු කළ PCR පරීක්ෂණ අනුව කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නැති බව සනාථ වී ඇත. මේ කිසිදු සංචාරකයෙක් නිසා නිරෝධායන සීමා උල්ලංඝනය වූයේ නැත. ඒනිසා එවැනි සංචාරකයින් ලංකාවේ ආකර්ෂණ ස්ථාන සඳහා රැගෙන ගොස් රටතොට බලා ගැනීමට අවස්ථාවක් ලබාදීමට” නොපමාව රජය විසින් ගතයුතු විසඳුම වන්නේ දින 14ක් හෝටල් තුළ සිර නොකර” නිරෝධායනය කාලය දින 5 කට හෝ 7 කට අඩුකිරීමයි. එසේම එන්නත් දෙකම සම්පූර්ණ කළ සංචාරකයන් සඳහා රටට ඇතුල්වන පළමු දිනයේ සිට නිරෝධායනයෙන් තොරව නිදහසේ රට බලාගැනීමට අවස්ථාව ලබාදිය යුතුය. එවිට සංචාරක ක්ෂේත‍්‍රයේ අනාගතය සුරක්ෂිත වනවා පමණක් නොව රටට විදේශ විනිමය ගලා ඒම තුළින්ම රජය ද චෝදනා වලින් නිදහස් වනවා ඇත.
 
 ඒ කිසිදු කරුණක්ද නොසලකා කිසිදු විද්‍යාත්මක හෝ ආර්ථික විද්‍යාත්මක පදනමකින් තොරව සෞඛය බලධාරීන් විසින් පනවන අලූත්ම නිර්දේශ අතර” කොරෝනා එන්නත් දෙකම ලබා ඇති ලාංකිකයන්ට හෝටලයේන් පිට වී නිවසේදී නිරෝධායනය වීමට අවසරය ලබා දී ඇති නමුත් විදේශීය සංචාරකයින් සඳහා අනිවාර්යෙන් දින 14ක්ම හෝටල්වල නිරෝධායනය වීමට සැලැස්වීම කනගාටුව කරුණකි. ඊට අමතරව ලංකාවට පැමිණීමට පැය 96 කට පෙර පළමු PCR පරීක්ෂණය තම රටේදී ද” ලංකාවේ පළමු දිනයේ දී දෙවන PCR පරීක්ෂණයද” දවස් 11-14ත් අතර හෝ රටෙන් පිටවීමට පෙර තුන්වන PCR පරීක්ෂණය ද ආදී වශයෙන් වේදනාකාරී PCR පරීක්ෂණ තුනකට ඉදිරිපත් විය යුතු අතර ඊට රුපියල් 24”000 වැය කළ යුතුය. මෙවන් වාතාවරණයක විදේශීය සංචාරකයන් රටට පැමිණෙන බව විශ්වාස කරන බලධාරීන් පිරිසක් රටෙහි සිටීම කාගේත් අවාසනාවයි.
 
 නිරෝධායනය කිරීමේ අර්ථය වන්නේ ඒ පිරිස අනෙක් සමාජය හා ඝට්ඨනයක් ඇති වීමෙන් වැළැක්වීමයි. ඉතින් අපගේ ”සංචාරක බුබුළ” ව්‍යාපෘතිය අනුවත් සංචාරකයින් සමඟ කොතැන ගියත් සමාජයේ අනෙක් පිරිස හා මුසුවීමට ඉඩක් ලැබුණේ නැත. එසේ නමුත් රටෙහි සෞඛ්‍ය නිලධාරීන් විසින් රටට සංචාරකයන් පැමිණීම අඩාල කරන නීති පනවන වාතාවරණයක” ආසියානු කලාපයේ සංචාරකයන් වැඩියෙන් පැමිණෙන තායිලන්තය විසින් එන්නත් දෙකම සම්පූර්ණ කළ සංචාරකයන් සඳහා රටට ඇතුල්වන පළමු දිනයේ සිට නිරෝධායනයෙන් තොරව පූකට් (ඡයමනැඑ) වෙරළ තීරයේ තමන්ට කැමති ලෙස නිදහස භුක්ති විඳීමට එරට බලධාරීන් ජූලි පළවෙනිදා සිට අවසරය ලබා දී ඇත. එවැනි විදේශීය රටවල තීරණ අධ්‍යයනය කර” රටට විදේශ විනිමය අත්‍යවශ්‍ය මේ වේලාවේදී සංචාරකයන් ගෙන්වීම අවදානම් වුණත්” එහි වගකීම් රජයේ සාමූහික වගකීමක් ලෙස සලකා සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රට තුළ සැදිය යුතුය. 

advertistmentadvertistment
advertistmentadvertistment