සුදුකොඩි

1847

ඉතා වැදගත් ප්‍රවෘත්ති හතරක් අප ඉදිරියේ තිබේ. ඉන් පළමුවැන්න කිරිපිටි කිලෝව රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට කිරිපිටි ආනයන කරන සමාගම් තීන්දු කිරීමය. දෙවනුව කොළඹ නගරයේ ප්‍රධාන තැන් කිහිපයකට ස්ථිර යකඩ බැරියර් සවිකිරීමට ආරක්‍ෂක අංශ තීන්දු කර තිබේ. තුන්වැනි කාරණය නම් පසුගියදා අරලියගහ මන්දිරය ඉදිරියේ මල්වඩම් තබා සුදු කොඩි දැමීමය. ලංකා ඉතිහාසයේ මරණයක් නැතුව අරලියගහ මන්දිරය වටා මල්වඩම් තබන ලද පළමු අවස්ථාව මෙයය. හතරවනුව කීමට ඇත්තේ යහපත් කාරණයකි. ශ්‍රී ලංකාවට මුදල් ආධාර දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික කැමැත්ත පළකර ඇත. අයි. එම්. එෆ්. එකෙන් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමේදී නීති ගණනාවකට යටත් විය යුතුය. ණය නිකුත් කිරීමේදී එම සංවිධානය මුලින්ම බලන්නේ මේ ණය ආපසු ගෙවීමේ හැකියාව ණය ගැතියාට තිබේද යන්නය. ඒ හැකියාව ණය ගැතියාට නැත්නම් බලහත්කාරයෙන් ඒ හැකියා සෑදීමට මූල්‍ය අරමුදල උත්සුක වේ. ඔවුන් ණය නිකුත් කරනු ලබන්නේ ණය ගෙවීමේ හැකියාව ස්ථිර වශයෙන්ම තිබෙන බව තහවුරු වූ කල්හි ය. ආණ්ඩුව මූල්‍ය අරමුදලේ ණය ආපසු ගෙවීමට නම් රටේ වියදම් ගණනාවක් කපා හැරිය යුතුය. පළමු කොට පැන්ෂන් පඩියට කෙළිය යුතුය. සුබ සාධක රාජ්‍යයක් වන ලංකාවේ පැන්ෂන් පඩිකාරයන් ලංකාවට දරාගත නොහැකි ලෙස විශාල වී තිබේ. එසේම නිදහස් සෞඛ්‍ය පහසුකම් ද කපා හැරිය යුතුය. සමහර විට ආණ්ඩුව එක රෝගියෙක් සඳහා රුපියල් කෝටි 4 ක පමණ මිලක් වැය කරයි. විශේෂයෙන් මාරාන්තික පිළිකාවක් ඇති රෝගියකුට ඒ සා විශාල ගණනක් වැය වේ. මේ සඳහා අවශ්‍ය ඖෂධ සියල්ලම ගෙන්වනු ලබන්නේ පිටරටිනි. පිටරටින් බඩු ගෙන්වීම සඳහා ඩොලර් අවශ්‍ය ය. ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍යය අහෝසිකර දමා සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයක් ඇති කොට ඒ හරහා ඖෂධ ගෙන්වා  රෝගීන්ට ලබා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වේ. ඇමරිකාවේ සහ දියුණු යුරෝපීය රටවල මේ ක්‍රමය ඇත. එහෙත් එවැනි දෙයක් කිරීමට ශ්‍රී ලංකාවට නොහැකිය. එයට හේතුව එවැනි කාරණයක් සඳහා වුවමනා කරන පදනම් ඩොලර් අරමුදලක් ලංකාව සතුව නොතිබීමය. ඊළඟට නිදහස් අධ්‍යාපනය නැති කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කල්පනා කරයි. දියුණු වූ රටවල් කිසිවක නිදහස් අධ්‍යාපනය නැත. එසේම වෙනත් සුබසාධක වියදම් ද කපා හැරිය යුතු බව මූල්‍ය අරමුදලේ තීන්දුව වී තිබේ. මේ වියදම් කපා හැරියොත් අවුරුදු 2 ක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි විසිලක්‍ෂයේ සිට එක්කෝටි දසලක්‍ෂය දක්වා පහත බසිනවා ඇත. ඒ මොන තත්ත්වයක් යටතේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණයක් දෙන බව කීම ම බඩෙන් භාගයක් මොහොතකට පිරීමට සමානය.

 ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය තවදුරටත් දිග්ගැහෙමින් පවතී. දේශපාලනය සහ ආර්ථිකය යනු අමුඩය සහ අනෙක් එක මෙන් එකිනෙක බැඳී තිබේ. අමුඩය කැඩුනොත් අනෙක් එක ප්‍රදර්ශනය වන අතර, එවිට තවදුරටත් එළිමහනේ ගමන් බිමන් යෑමට නොහැක. මෙවර දේශපාලන අර්බුදය ඇරඹෙන්නේ ඩොලර් ආර්ථිකයට කෙළ වී ගිය බැවිනි. රසායනික පොහොර සඳහා ගෙවීමට ඩොලර් නැති වූ නිසා වඩා හොඳ කාබනික පොහොර බවට ආණ්ඩුව බොරු කීවේය. වඩා සුදුසු කාබනික පොහොර බව ඇත්ත. එහෙත් ශ්‍රී ලංකාවේ කටවල් දෙකෝටි විසිලක්‍ෂයට තුන්වේලම කන්න දීමට නම් කාබනික පොහොර යොදා රටෙන් තුන්කාලක් ම වගා කළ යුතු වෙයි. ඒ සා විශාල ප්‍රමාණයක් භූමිය අපට නැත. ඒ සා විශාල ශ්‍රමයකුත් අපට නැත. මේ නිසා කාබනික පොහොර ලණුව ආණ්ඩුව විසින් ගිලිනු ලැබ පහරා ජනතාවට ගිල්ල වූවකි. ඊළඟට එන්නේ කිරි පිටි, ඛනිජ තෙල්, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය ප්‍රශ්නයයි. අප කවදත් කියන පරිදි ශ්‍රී ලංකාව ගස්ලබු, ඇඹුල් කෙසෙල් සහ කංකුන් මුකුණුවැන්න වලින් ස්වයංපෝෂිත වූ රටකි. තුන්වේලම මේවා පමණක් කමින් ජීවත් වීමට නොහැක. ඒ නිසා සෑම දෙයක් ම පිටරටින් ගෙන්විය යුතු වෙයි. ඩොලර් නැති නිසා පිටරටින් කිසිම මඟුලක් එන්නේ නැත. ඒ නිසා මහජනතාවට කෑම බීම යන දෙකම හිඟය. ආණ්ඩු විරෝධී පෙළපාලිවල මූලාරම්භය මෙතනින් පටන් ගනී. ගෝල්ෆේස් එකමුතුවේ න්‍යෂ්ටිය ඇත්තේ මෙතැනය. ගෝල්ෆේස් එකමුතුව පටන් ගත් දා සිටම අහිංසාවාදී විරෝධතා ව්‍යාපාරයකි. එහෙත් එම අහිංසාවාදීව තිබූ විභවයට රඹුක්කනදී බඩවල් එළියට එන සේ වෙඩි තබන ලදි. රඹුක්කන වෙඩි තැබීමට හේතු වූයේ තෙල් බවුසරයක් ගිනි තැබීමට කඩාකප්පල්කරුවෙක් පැමිණීම නිසා යැයි කියනු ලැබේ. මෙහිදී අප පැහැදිලිව යමක් වටහා ගත යුතුය. උද්ඝෝෂණකරුවන් යනු එක් කොටසකි. කඩාකප්පල්කරුවන් යනු තව කොටසකි. උද්ඝෝෂකයා උද්ඝෝෂණය කරන අතර කඩාකප්පල්කරු ගිනි තබයි. අත්බෝම්බයක් ගසයි. පෑගීමට ඩප්පියක් දමයි. හදිසි අවස්ථාවකදී සාමාන්‍යයෙන් පොලිසියට උපදෙස් දෙන්නේ දණහිසෙන් පහළට වෙඩි තබන ලෙස ය. එහෙත් රඹුක්කනදී පොලිසිය උද්ඝෝෂකයන්ට වෙඩි තබන ලද්දේ දණහිසෙන් ඉහළ බඩට ය. මේ ටාගට් එකේ වරදක් ද, නො එසේ නම් වෙඩි කෑ තරුණයාගේ උදරය දණහිසට පහළින් පිහිටීම නිසා හට ගත් තත්ත්වයක් දැයි අපි නොදනිමු.

 මේ තීරුවේ කලින් සඳහන් වූ පරිදි ආණ්ඩුව ඊයේ ජනාධිපති කාර්යාලය අවට මාර්ග සියල්ලම පාහේ ස්ථාවර යකඩ වැටවල්වලින් වසා දැමුවේය. මෙයට හේතුව අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් දහස් ගණනක් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පා ගමනින් පැමිණීමය. අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සංයුතියෙන් සියයට 5 ක් පෙරටුගාමී පක්‍ෂයෙන් සමන්විත වී තිබේ. ඉස්සර අන්තරයේ බලය තිබුණේ ජවිපෙට ය. අද එතැන ද බල හුවමාරුවක් වී තිබේ. අහිංසාවාදී පා ගමනක් BLOCK කිරීමෙන් ඉතා නරක ප්‍රතිඵල හටගනී. මෙයට අවුරුදු සිය ගණනකට පෙර මහත්මා ගාන්ධි ඉන්දියානු පාලකයන්ට එරෙහිව සංවිධානය කළ අහිංසාවාදී පා ගමන් හැම විටම කෙළවර වූයේ රුධිර ගංගාවලිනි. එයට හේතුව සුද්දන් එම පෙළපාලි නවත්වන්නට යෑමත්, එවිට පෙළපාලිකරුවන් කුපිත වී ප්‍රති ප්‍රහාර එල්ලකිරීමත් ය. මේ දිග මාතෘකාවකි. ඉදිරි දිනෙක ඒ ගැන කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment