සුදු කළු බේදය පරජය කළ පුංචි කෙල්ල රූබි නෙල් බ්‍රිජස්

407

ඒ 1954 වර්ෂයයි. මේ කාලය වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු මිනිසුන්ට තිබුණේ එතරම් සුබදායක තත්ත්වයක් නොවේ. විශේෂයෙන් මිසිසිපි වගේ දකුණු ප‍්‍රාන්තවල මේ වර්ණභේද වාදය ඉතාම දරුණු විදියට පැතිරිලා තමයි තිබුණේ. මේ වකවානුවේදී පාසල්, රෝහල්, හෝටල්, බස් රථ, කෝච්චි ආදී දේවල්වල සුදු ජාතිකයන්ට විශේෂ ප‍්‍රමුඛ පහසුකම් තිබූ අතර එම පහසුකම් ලබාගැනීමට කළු ජාතිකයන්ට අවස්ථාවක් ලැබුණේම නැත.

මෙම 1954 වර්ෂයේදී ඇමෙරිකාවේ එක් විශේෂිත වූ සිද්ධියක් සිදු වුණා. ඒ තමයි ‘‘බ‍්‍රවුන් එරෙහිව අධ්‍යාපන මණ්ඩලය (Brown vs The Board of Education) පිළිබඳව එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ සුවිශේෂී තීන්දුව. එම තීන්දුව මගින් රජයේ පාසල්වල වාර්ගික වෙන්කිරීම අවසන් කළේය. ඒ අනුව සුදු ජාතික දරුවන්ටම වෙන් වූ පාසල්වලට කළු ජාතික දරුවන්ටත් ඇතුළුවීමට ඉඩ නොදීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත්, නීතියටත් පටහැනි බවට තීරණය විය. එහෙත් මේ උසාවි තීන්දුවට පවා ඇමරිකානු සමාජයේ ජනතාව ගරුකළේ නැත. සුපුරුදු පරිදි සුදු ජාතිකයන්ගේ ළමයි ඉගෙනුම ලබන පාසල්වලට කළු ජාතික ළමයින්ට ඇතුළත් වීමට ඉඩ දුන්නේ නැත. මෙම නඩු තීන්දුව ලබාදී හරියටම මාස තුනකුත් දින විසිදෙකකට පසුව මිසිසිපි ප‍්‍රාන්තයේ ටයිලර්ටවුන් ප‍්‍රදේශයේ ගොවි බිමක ජීවත් වූ ඇබොන් බි‍්‍රජස් (පියා) සහ ලූසීල් බි‍්‍රජස් (මව) ගේ පවුලේ පළමු දරුවා ලෙස අපේ මේ කතාවේ කතා නායිකාව වූ ‘‘රූබි නෙල් බි‍්‍රජස්’’ (Ruby Nell Bridgas) මෙලොව එළිය දකිනවා. මේ කතාන්දරය පටන් ගන්නේ එතැන් සිටයි.

තම දෙමාපියන්, ආච්චිලා සීයලා සමග එම ගොවිපොළේ හැදී වැඩෙන රූබි බි‍්‍රජස්ට බාල තවත් සහෝදර සහෝදරියන් සතරදෙනෙක් සිටි අතර ඔවුන් සමග කෙළිදෙලෙන් ජීවත් වූ ඇය ලණු පැනීමට හා ගස් නැගීමට පි‍්‍රය කළාය. ඇයට වයස අවුරුදු හතරක් වනවිට විශාල නගරයක යහපත් ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙන් අබොන් බි‍්‍රජස් සිය පවුල සමග ලූසියානා ප‍්‍රාන්තයේ නිව් ඔර්ලියන්ස් වෙත පැමිණියේය. රූබිගේ පියාට එහිදී ගෑස් සමාගමක සේවකයකු වශයෙන් රැකියාවක් ලැබෙන අතර වැඩෙන පවුල නඩත්තු කිරීම සඳහා රූබිගේ මව සාප්පුවක රැකියාවේ නියුක්ත විය.

සුදු කළු බේදය පරජය කළ පුංචි කෙල්ල රූබි නෙල් බ්‍රිජස්

1959 දී රූබි පාසල්වලට ඇතුළත් කිරීමට පවත්වන තරග විභාගයකින් සමත් වූ අතර 1960 දී ඇයට වයස අවුරුදු 6 දී ‘‘වර්ණ ගැන්වූ මිනිසුන්ගේ දියුණුව සඳහා වූ ජාතික සංගමය’’ (National Association For The Advancement of Colored People – NAACP) විසින් කළ ඉල්ලීමකට අනුව රූබිව ‘‘විලියම් ෆ‍්‍රාන්ට්ස්’’ (William Frantz) ප‍්‍රාථමික පාසලට ඇතුළත් කිරීමට යෝජනා වෙනවා. රූබිගේ තාත්තා දෙගිඩියාවෙන් සිටියත් ඇගේ මව කීවේ ‘‘මට නොලැබූ අධ්‍යාපනය මගේ දුවට ලබා දෙන්න ඕනෙ. නීතියෙන්ම කියලා තියෙනවා මගේ චුටි කෙල්ලට මේ ඉස්කෝලෙට යන්න අවසර තියෙනවා කියලා. ඒක අපි නැවැත්වුවොත් අසාධාරණය වෙන්නේ මගේ චුටි කෙල්ලට විතරක් නෙවෙයි කළු පොඩි එවුන් සියල්ලන්ටම’’ ෆෙඩරල් පාලනයක් තිබුණ ද නව නීති අනුව වැඩ කිරීමට ප‍්‍රාන්ත රජයන් ද ඒ හැටියට කි‍්‍රයාත්මක වූයේ නැත. විලියම් ෆ‍්‍රාන්ට්ස් සුදු ළමයින්ගේ පාසලට යෑමට කැමැත්ත පළ කළේ රූබි පමණි. ඇය සමග තරග විභාගයෙන් සමත් වූ කළු ජාතික අනෙක් දරුවන් පස් දෙනාගෙන් දෙදෙනෙක් තමන් සිටි පැරණි පාසලේම තැබීමට ඔවුන්ගේ මවුපියන් කැමැති වූ අතර අනෙක් තිදෙනා මැක්ඩොනෝ නම් කළු ළමයින්ගේ පාසලකට ඇතුළත් කෙරිණි. මේ අතර රූබිව පාසලට ඇතුළත් කිරීම පාසල් දිස්ති‍්‍රක් කමිටු විසින් පමා කළ අතර එය 1960 නොවැම්බර් මාසය දක්වාම ඇදී ගියේය. කෙසේ වුව ද නොවැම්බර් 14 වැනිදාට රූබි බි‍්‍රජස්ව පාසලට භාර ගැනීමට විලියම් ෆ‍්‍රාන්ට්ස් පාසල කැමැත්ත දුන්නේය. මෙදිනට යම් සිවිල් කරදර ඇතිවේ යැයි සිතූ ෆෙඩරල් දිසා අධිකරණ විනිසුරුවරයා නිව්ඔර්ලියන්ස් වෙත ෆෙඩරල් මාෂල්වරුන් (FBI පොලිස් නිලධාරීන් ඇමරිකාවේ ඇතැම් ප‍්‍රාන්තවල පොලිස් නිලධාරීන්ව හඳුන්වන්නේ මාෂල් නමිනි) යවන ලෙස ඇමෙරිකා එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටි අතර මෙය දැනගත් එවකට ඇමෙරිකානු ජනපති අයිසන් හවර් මහතා මේ පිළිබඳව ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදුනි.

1960 නොවැම්බර් 14 වැනිදා අපි‍්‍රකානු ඇමෙරිකානු සම්භවයක් ඇති කළු ජාතික දැරියක් වූ රූබි බි‍්‍රජස් ෆෙඩරල් මාෂල්වරුන් සතරදෙනෙකුගේ ආරක්ෂාව යටතේ සිය මවත් සමග මෝටර් රථයකින් විලියම් ෆ‍්‍රාන්ට්ස් සුදු ජාතික සිසුන්ගේ පාසලට ඇතුළත්වීමට ගියේය. ඇය දකුණේ සුදු ජාතික පාසලකට ඇතුළත් වූ ප‍්‍රථම කළු ජාතික ශිෂ්‍යාව විය. රූබි ඇතුළු පිරිස පාසල වෙත පැමිණෙන විට එය ඉදිරිපිට සුදු ජාතිකයින් විශාල පිරිසක් කෑකෝ ගසමින් කුණු බිත්තර, තක්කාලි හා පරණ සපත්තු විසි කරමින් විරෝධය පාමින් සිටියේය. පාසල ඉදිරියේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් බාධක සවිකර සීරුවෙන් සිටියේ යම් දරුණු කලබලයක් ඇතිවේ යැයි බලාපොරොත්තුවෙනි. තම මවත්, මාෂල්වරුන් සතර දෙනාත් සමඟ රූබි විදුහල්පති කාමරයට ඇතුළු විය. පාසලෙන් පිටත තත්ත්වය අවුල් සහගත වූ අතර සුදු ජාතික මවුපියවරු සුදු දරුවන් නිවෙස් තුළම තබාගෙන සිටි අතර රූබිට සහ මවට සවස් වනතුරුම පාසලේ විදුහල්පති කාමරයේම සිටීමට සිදුවූයේ රූබිව භාරගෙන ඉගැන්වීමට සෑම සුදු ජාතික ගුරුවර ගුරුවරියක්ම අකැමැති වූ නිසාය.

රූබිගේ දෙවන පාසල් දිනයේත් වාතාවරණය පළමු දින මෙන්ම විය. මේ අතර මේ කළු ජාතික දැරියට ඉගැන්වීමට අනෙක් සුදු ගුරුවරු ප‍්‍රතික්ෂේප කළත් එක් සුදු ජාතික ගුරුවරියක් වූ ‘‘බාබරා හෙන්රි’’ මහත්මිය ඉදිරිපත් වෙනවා. බාබරා හෙන්රිගේ පන්තියේ දැන් සිටින එකම ශිෂ්‍යාව රූබි පමණි. අනෙක් සියලූම ළමයි ඔවුන්ගේ දෙමාපියන් විසින් මේ පන්තියෙනුත් පාසලෙනුත් අස්කර ගෙන වෙනත් පාසල්වලට ගෙන ගොස් තිබිණ. වසරක් පුරාම මේ පන්තියේ සිටියේ රූබි පමණි. බාබරා ගුරුතුමිය රූබිට හොඳින් ඉගැන්වීය. බාබර මහත්මිය පසුව පවසා සිටියේ තමා රූබිට උගන්වනවිට පන්තියේ සිසුන් පිරී ඇති බවට මනසින් සිතමින් ඒ සියලූ දෙනාටම උගන්වන ආකාරයට රූබිට ඉගැන්වූ බවය.

සුදු කළු බේදය පරජය කළ පුංචි කෙල්ල රූබි නෙල් බ්‍රිජස්

ෆ‍්‍රාන්ට්ස් පාසලට රූබි ෆෙඩරල් මාෂල්වරුන් සමග පැමිණෙන විට විවිධාකාර තර්ජන ගර්ජනවලට මුහුණ පෑවේය. කිහිප විටක්ම මේ පුංචි කෙල්ලට අමු අමුවේ ජාතිවාදයට මුහුණ පෑමට සිදුවිය. පාසලට පැමිණෙන දෙවන දිනයේදී එක් සුදු කාන්තාවක් රූබිව මරා දමන බවට තර්ජනය කළාය. තවත් දිනකදී කාන්තාවක් රූබිට වස දමන බවට තර්ජනය කළාය. ඉන්පසු රූබිගේ ආරක්ෂාවට සිටි මාෂල්වරුන් ඇයට ගෙදරින් ගෙන එන ආහාර පමණක් ලබාදීමට කටයුතු කළේය. තවත් දිනකදී කුඩා ලී මිනී පෙට්ටියක් තුළ කළු බෝනික්කෙකු ප‍්‍රදර්ශනය කරමින් සිටි සුදු කාන්තාවක් රූබිට අපහසා කරමින් ඇය මියයා යුතු යැයි කෑගසමින් කීවේය. මින්පසු මාෂල්වරු රූබිට කවුරුන් හෝ වෙඩි තබාවිද, පිහියෙන් අනීවිද, බෝම්බයක් ගසාවිද යන බියෙන් නිතරම සෙවිල්ලෙන් සිටිමින් ඔවුන් සතර දෙනා රූබිව මැදිකර ගනිමින් ඇයව පාසලට ගෙන ඒමටත් නිවසට ගෙන යෑමටත් කටයුතු කළාය. පාසලේදී රූබි වැසිකිළියට යන විට පවා මාෂල්වරුන්ගේ අධීක්ෂණය යටතේ එය සිදුවූ අතර මාෂල්වරු ඇගේ ආරක්ෂාවට නිතරම පන්ති කාමරය ඉදිරිපිටට වී සෙවිල්ලෙන් සිටියේය. පාසලට ඇතුළු වීමේදී ශක්තිමත්ව යාච්ඤා කරන ලෙස රූබිට ඇගේ මව නිතරම කීවාය. මේ කුඩා කෙල්ලට අපහාස කිරීම ටිකෙන් ටික අඩු විය. රූබි සෑම දිනකම පාසලට පැමිණි අතර බාබරා ගුරුතුමිය ඇයට පන්ති කාමරයෙන් පිටතට යෑමට හෝ විවේක කාලයේදී අනිත් පන්තිවල සිසු සිසුවියන් සමග සම්බන්ධ වීමට ඉඩ දුන්නේ නැත. වසර ගණනාවකට පසු නියෝජ්‍ය ෆෙඩරල් මාෂල්වරයකු වූ චාල්ස් බර්ක් නම් ඇගේ ආරක්ෂාවට සිටි නිලධාරියකු කියා සිටියේ….. ‘‘රූබි ඉතා ධෛර්ය සම්පන්න දරුවෙකු බවත් ඇය කිසි විටකත් හැ`ඩුවේවත්, කෙඳිරි ගෑවේවත් හීල්ලූව්වත් නැත. ඇය කුඩා සොල්දාදුවෙකු ලෙස ඉදිරියට ගියා. අපි ඇය ගැන ආඩම්බර වන්නෙමු.’’ (රූබිගේ ආරක්ෂාවට සිටි මාෂල්වරුන් සතර දෙනාම සුදු ජාතිකයන් බව සලකන්න)

රූබිගේ පාසල් ගමන ඇගේ පවුලට ද බලපෑවේය. පියාට රැකියාව අහිමි කළේය. මවට සාප්පුවේ රැකියාව නැති කළේය. ඇගේ ආච්චිලා සීයලා වසර 25 කට වැඩි කාලයක් සිටි වගා කළ ඉඩමෙන් අයින් කළේය. කෙසේ වෙතත් කළු හා සුදු ප‍්‍රජාවේ බොහෝ අය ද විවිධාකාර සහයෝගයන් ඔවුන්ට ලබා දුන්නේය. අසල්වැසියකු විසින් රූබිගේ පියාට රැකියාවක් ලබාදුන් අතර සමහරු ස්වෙච්ඡාවෙන්ම අනෙක් දරුවන් සිවුදෙනා රැකබලා ගැනීමට සහ ෆෙඩරල් මාෂල්වරුන් රූබිව පාසලට රැගෙන යන විට ඒ පසුපසින් යෑමටත් පටන් ගත්තේය.

සුදු කළු බේදය පරජය කළ පුංචි කෙල්ල රූබි නෙල් බ්‍රිජස්

ශීත නිවාඩුවට පසු රූබි පීඩනයේ සලකුණු පෙන්වීමට පටන් ගත්තේය. ඇය බියකරු සිහින දුටු අතර මධ්‍යම රාති‍්‍රයේදී මව අවදිකර සැනසීම සෙව්වේය. ෆ‍්‍රාන්ට්ස් පාසලේදී රූබිට උපදේශන ලබාදීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ළමා මනෝ චිකිත්සක ආචාර්ය රොබට් කෝල්ස් සතිපතා පාසලේදී හෝ නිවසේදී ඇයට මුණගැසුණු අතර කුඩා දැරිය පීඩනය සමග කටයුතු කිරීම ගැන කනස්සලට පත් විය. රූබිගේ සිත සැනසීමට සමහර දිනවලදී කෝල්ස්ගේ බිරිඳ ද පැමිණියහ. කෝල්ස් පසුව ‘‘අත්ලාන්තික්’’ මාසික සඟරාවට ලිපි මාලාවක් ලියූ අතර රූබි බි‍්‍රජස්ගේ අත්දැකීම් පිළිබඳව ‘‘රූබි බි‍්‍රජස්ගේ කතන්දරය’’ නමින් ළමා පොතක් ඇතුළුව ළමයින් වෙනස්වීම්වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව ලිපි මාලාවක් ලිවීය. ෆ‍්‍රාන්ට්ස් පාසලේදී මුල් සති කිහිපය තුළ රූබි ඇඳ සිටි අලූත් ඇඳුම් ඇගේ පවුලට එවන ලද්දේ කෝල්ස්ගේ ඥාතියකු බව රූබි දැන ගත්තේ ඇය වැඩිහිටියකු වූ පසුවය. පසු කලකදී රූබි පැවසුවේ එක්සත් ජනපද මාෂල්වරුන් විසින් පාසලට යන විටත් – පිටතට යන විටත් ගත් ඡායාරූපවල සටහන්ව ඇති ඇඳුම්, මේස්, සපත්තු ඇගේ පවුලට කිසි විටෙකත් ලබාදිය නොහැකි දේවල් බවයි.

පළමු වසර අවසානයේදී සියල්ල සමථයකට පත්වීමට පටන් ගත්තේය. රූබිගේ පන්තියේ සිටි සුදු දරුවන් කිහිප දෙනෙක්ම නැවත පාසලට පැමිණියේය. ඔවුන් රූබි සමග පාසලේ ඇවිද්දේය. දෙවන වසරේදී සියල්ල වෙනස් විය. බාබරා මහත්මියගේ කොන්ත‍්‍රාත් අලූත් නොකිරීම නිසා ඇය ඇගේ සැමියා සමග නැවත බොස්ටන් වෙත ගියාය. දැන් රූබිගේ ආරක්ෂාවට සිටි මාෂල්වරුන් ද නැත. රූබි දිනපතාම පාසලට ඇවිදගෙන ගියේ තනිවමය. ඇගේ දෙවන වසරේ පන්තියේ සිසු සිසුවියන් පසුගිය වසර ගැන කතා කළේ ද නැත. කාලය සෙමින් සෙමින් ගෙවී ගියේය. පසුව රූබි නිව් ඔර්ලියන්ස්හි ඒකාබද්ධ ෆ‍්‍රැන්සිස් නිකොල්ස් උසස් පාසලෙන් උසස් අධ්‍යාපනය අවසන් කර පසුව උපාධිය ද ලබා ගත්තාය. ඉන් අනතුරුව රූබි කැන්සාස්සිටි ව්‍යාපාරික පාසලේදී සංචාරක හා සංචාරක තොරතුරු ව්‍යාපාරය හැදෑරූ අතර ඇමරිකන් එක්ස්ප‍්‍රස්හි ලෝක සංචාරක නියෝජිතවරියක් වශයෙන් සේවය කළාය. 1984 දී රූබි බි‍්‍රජස් නිව් ඔර්ලියන්ස් හිදී මැල්කම් හෝල් සමග විවාහ විය. ඔවුන් දෙපළට පුතුන් සිවු දෙනෙකි.

නෝමන් පර්සවෙල් රොක්වෙල් (1894-1978) (Norman Percevel Rockwell) යනු ඇමෙරිකානු සම්භාව්‍ය චිත‍්‍ර ශිල්පියෙකි. ඔහු සුදු ජාතිකයෙකි. ජීවිතයේ ආවරණ නිදර්ශන සඳහා රොක්වෙල් වඩාත් ප‍්‍රසිද්ධය. ඔහුගේ කාලය තුළ මුල් කෘති 4000 කට වඩා නිර්මාණය කළ අතිදක්ෂ කලාකරුවෙකි. 1964 වර්ෂයේදී නෝමන්ට රූබි බි‍්‍රජස්ගේ කතාන්දරය අසන්නට ලැබෙනවා. මේ කතාව ගැන ඔහු ‘‘අපි හැමෝම ජීවත් වන ගැටලූව’’ (The Problem We All Live With) නමින් චිත‍්‍රයක් නිර්මාණය කරනවා. එම චිත‍්‍රයෙන් නිරූපණය වූයේ සුදු ජාතික ෆෙඩරල් මාෂල්වරුන්ගෙන් වටවී ජාතිවාදය නිසා අපකීර්තියට පත්වූ පවුරක් අසලින් පාසල වෙත ඇවිද යන චුටි දියණිය රූබි බි‍්‍රජස්ය. නෝමන් රොක්වෙල්ගේ මෙම චිත‍්‍රය මැසචූසෙට්ස් වල ස්ටොක්බි‍්‍රජ් හි කෞතුකාගාරයේ ස්ථිර එකතු කිරීමක් ලෙස ප‍්‍රදර්ශනයට තබා ඇත.

ඉන් පසුවත් මෙම චිත‍්‍රයේ අනුරූ චිත‍්‍රයන් බොහෝ රටවල ප‍්‍රදර්ශනයට තබා ඇති අතර විශේෂයෙන් අපි‍්‍රකානු මහාද්වීපයේ බොහෝ රටවල විශේෂ ස්ථානවල ප‍්‍රදර්ශනය කෙරෙන අතර මේ චිත‍්‍රයේ යටි කතාන්දරය ලොව වටා ප‍්‍රචලිත කිරීමට ද මෙම චිත‍්‍රයට හැකි වී ඇත. එමගින් රූබි බි‍්‍රජස්ගේ නාමය චිත‍්‍රයත් සමග ලොව පුරාම කියැවෙන්නට විය. මේ අතර ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට 2011 දී මේ චිත‍්‍රයත් චිත‍්‍රයට සම්බන්ධ කතා නායිකාව වූ රූබි බි‍්‍රජස් ගැනත් දැන ගැනීමට ලැබිණි. ජනාධිපති ඔබාමා රූබිට ධවල මන්දිරයට පැමිණෙන ලෙස විශේෂ ආරාධනයක් කළ අතර ඒ සමගම නෝමන් රොක්වෙල්ගේ ඒ සැබෑ චිත‍්‍රය ස්ටොක්බිජ් හි කෞතුකාගාරයෙන් ටික කාලයකට ධවල මන්දිරයේ ප‍්‍රදර්ශනය සඳහා ඉල්ලා ගත්තේය. ඒ අනුව 2011 ජුනි සිට ඔක්තෝබර් දක්වා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයට නුදුරින් පිහිටි බටහිර දෙසින් මෙම චිත‍්‍රය ප‍්‍රදර්ශනය කෙරිණි. ධවල මන්දිරයේ එම චිත‍්‍රයට නිරාවරණය කරන අවස්ථාවට සහභාගි වූ චිත‍්‍රයේ කතා නායිකාව රූබි බි‍්‍රජස්ට බැරක් ඔබාමා ජනාධිපතිතුමාගේ විශේෂ ගෞරවය ද පුදකරන ලද අතර තම අයිතිවාසිකම් වෙනුවෙන් කුඩා කල සිටම කරන ලද කැපවීමත්, පසුකාලීනව රූබි විසින් කරනු ලබන සමාජ සේවාවන් පිළිබඳවත් විශාල ලෙස අගය කිරීමක් සහ ගෞරව කිරීමක් සිදුකරන ලදී.

සුදු කළු බේදය පරජය කළ පුංචි කෙල්ල රූබි නෙල් බ්‍රිජස්

1990 මැද භාගයේදී ඇයට ඇගේ පළමු ගුරුවරිය වූ බාබරා හෙන්රි මහත්මිය හමුවෙනවා. වාර්ගික සමානාත්මතාවය සඳහා කි‍්‍රයාකාරිනියක බවට පත්වන ඇය 1999 දී ඉවසීම ප‍්‍රවර්ධනය කිරීම සහ අධ්‍යාපනය තුළින් වෙනසක් ඇති කිරීම සඳහා ‘‘ රූබි බි‍්‍රජස් පදනම’’ පිහිටුවා ගන්නවා. ‘‘ජාතිවාදය වැඩුණු රෝගයක් වන අතර එය ව්‍යාප්තවීම සඳහා අපේ දරුවන්ව භාවිතා කිරීම නැවැත්විය යුතුයි’’ යන්න රූබිගේ අදහසයි. 2000 වසරේදී ඇයව වොෂින්ටන් ඞී. සී. හි පැවැති උත්සවයකදී ගෞරවනීය නියෝජ්‍ය මාෂල් තනතුරකින් ද පුදනු ලබනවා. ලොරි මැකෙනා ගයන “Ruby’s Shoes” ගීතයේ විෂය වන්නේ රූබි බි‍්‍රජස්ය. 1998 දී රූබිගේ ළමා කාලයේ සිදුවූ අරගලය පිළිබඳව ‘‘රූබි බි‍්‍රජස්’’ නමින් රූපවාහිනී චිත‍්‍රපටයක් ද නිපදවෙනවා. සුදු ජාතික ප‍්‍රාථමික විද්‍යාලයක් ඒකාබද්ධ කළ ප‍්‍රථම කළු ජාතික දරුවා ලෙස රූබි බි‍්‍රජස්ගේ අත්දැකීම් එහි විවර වෙනවා. මුළුමනින්ම උතුරු කැරොලිනාහි විල්මින්ටන්හිදී රූගත කරන ලද පැය දෙකක් වූ මේ චිත‍්‍රපටය හඳුන්වා දුන්නේ ජනාධිපති බිල්ක්ලින්ටන් සහ ඩිස්නි සමාගමේ විධායක නිලධාරි මයිකල් අයිස්නර් විසිනි.

1993 දී මත්ද්‍රව්‍ය ආශි‍්‍රතව සිදුකළ ඝාතනයකින් ඇගේ බාල සොහොයුරු මැල්කම් බි‍්‍රජස් මිය යනවා. පසුව රූබි මැල්කම්ගේ දරුවන් සිවුදෙනා විලියම් ෆ‍්‍රාන්ට්ස් විද්‍යාලයට ඇතුළත් කර ගන්නවා. ඉන්පසු කාලයක්ම රූබි එම දරුවන් සිවුදෙනා බලාගත් අතර ඇය සතියේ දින තුනක්ම විලියම් ෆ‍්‍රාන්ට්ස් විද්‍යාලයට ස්වෙච්ඡාවෙන් සේවය කිරීමට යන අතර පාසලේ දෙමාපිය ප‍්‍රජා සම්බන්ධීකාරිනියක් බවට ද පත් වෙනවා. 2007 නොවැම්බරයේදී ඉන්දියානා පොලිස් ළමා කෞතුකාගාරය ඇගේ ජීවිත කතාව ලේඛනගත කර නව ස්ථිර ප‍්‍රදර්ශනයක් ලෙස එළිදක්වනවා.

‘‘දරුවන්ගේ බලය : වෙනසක් ඇති කිරීම’’ නමින් හැඳින්වෙන මෙම ප‍්‍රදර්ශනය ස්ථාපනය කිරීම සඳහා ඩොලර් මිලියන 6 ක් වැය වූ අතර එහි රූබි බි‍්‍රජස්ගේ පාසලේ පළමු වසරේ ඇය ඉගෙන ගත් පන්ති කාමරය සත්‍ය ප‍්‍රති නිර්මාණයක් ලෙස මෙහි ප‍්‍රදර්ශනය කරනවා.

දැන් දානපතිනයක්, ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් කි‍්‍රයාකාරිනියක් ද වන රූබි බි‍්‍රජස් තම අත්දැකීම් අලලා ග‍්‍රන්ථ කිහිපයක්ම ප‍්‍රකාශයට පත් කර ඇත. ඒවා නම් 1999 දී ‘‘මගේ දෑස් තුළින්’’ (Through My Eyes), 2009 දී ‘‘රූබි බි‍්‍රජස් පාසලට යයි – මගේ සත්‍ය කතාව’’ (Ruby Bridges Goes To School – My True Story) සහ 2020 දී ‘‘ මේ ඔබේ කාලයයි’’ (This is Your Time) මින් පළමු පොත් දෙකට ඇයට කාටර් ජී වුඞ්සන් (Carter G. Woodson) සම්මානය ද ලැබෙනවා.

1995 සැප්තැම්බරයේදී රූබි බි‍්‍රජස්ට කනෙක්ටිකට් විද්‍යාලයෙන් ගෞරව උපාධියක් පිරිනමනවා. 2001 ජනවාරි 8 වැනිදා ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් රූබි බි‍්‍රජස්ට ජනාධිපති පුරුවසි පදක්කම පිරිනමනවා. 2012 මැයි 19 වැනි දින ටුලාන් විශ්වවිද්‍යාලය රූබිට ගෞරව උපාධියක් ලබා දෙනවා. කැලිෆෝනියාවේ ඇලමෙඩා හි සහ වොෂින්ටනයේ වුඩින්විල් හි විද්‍යාල දෙකක් රූබි බි‍්‍රජස් නමින් නම්කර ඇත්තේ ඇයට ගෞරවය පිණිසයි. මේ අතර ඇගේ පාසල් ළමා කාලයේ මූර්තියක් ද විලියම් ෆ‍්‍රාන්ට්ස් ප‍්‍රාථමික පාසලේ මිදුලේ ස්ථාපිත කර ඇත්තේ ඇමෙරිකාවේ දකුණේ සුදු ජාතික පොදු ප‍්‍රාථමික පාසලක් ඒකාබද්ධ කළ ප‍්‍රථම අපි‍්‍රකානු ඇමෙරිකානු සම්භවයක් ඇති කළු ජාතික දරුවෙකු වූ මේ රූබි බි‍්‍රජස්ට උපහාර පිණිසයි.

රුවන් තරස්වින්
(ඡායාරූප අන්තර්ජාලනයෙනි)

advertistmentadvertistment
advertistmentadvertistment