සුදු කොඩි සහ ගොක් කොළ

197

මේ වනවිට මේ රටේ වැසියන් අනූ හත් ලක්ෂයකට කොවිඞ් එන්නත විද ඇතැයි ආණ්ඩුව කියයි. සමහරවිට වඩාත් වේගයෙන් කොවිඞ් එන්නත විදීමේ ලෝක කුසලාන පවා අපට හිමිවීමට ඉඩ තිබේ. අප මේ කාරණය කියන්නේ විහිළු පිණිස නොවේ. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීම නිසා ශ‍්‍රී ලංකාවේ කොවිඞ් එන්නත්කරණය ඉතාම වේගවත් ක‍්‍රියාවලියක් බවට පත්විය. රටේ හැම තැනකම මේ එන්නත විදිනු ලැබේ. රට වසා ඇති මේ මොහොතේදී ජීවත්වීම පිණිස කීයක් හෝ සොයාගනු වස් නිරෝධායන නීති කඩා පාරේ ඇවිදින කෙනෙක් කොහේ හෝ තැනක දිග පෝලිමක් දුටුවොත් එය ස්ථිර වශයෙන්ම කොවිඞ් එන්නත් විදින පෝලිමකි. ඒ සම්බන්ධයෙන් අදාළ සියලූ අංශ කෙරේ ගෞරවය පුද කරනු ලැබේ. අද අප කියන්නට යන්නේ වෙනත් කතාවකි.

මේ වනවිට කොවිඞ් වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් තුන්සියයක් පමණ ද ගොඩ බෙහෙත් දෙලක්ෂ තුන්සියයක් පමණ ද ලොව පුරා රටවල සිටින පර්යේෂකයෝ ද කට්ටඬියෝ ද දේශීය වෛද්‍යවරු ද සොයාගෙන ඇත්තාහ. මේ සියලූ බෙහෙත් ජාතිවලින් ශ‍්‍රී ලංකාවේ ජනයා දන්නේ සයිනොෆාම්, ෆයිසර්, ස්පුට්නික්, ඇස්ට‍්‍රාසෙනෙකා, මොදෙර්නා සහ ධම්මික පැණිය පමණි. ධම්මික පැණිය සහ පොල් පැණි අතර වැඩි වෙනසක් නැති බව මේ වනවිට හෙළිව තිබේ. ඒ නිසා එකී පැණිය නිල වශයෙන් පිළිගත් ප‍්‍රතිකාර අතරින් ඉවත් කරනු ලැබේ. දැනට එන්නත් කර ඇති අනූහත් ලක්ෂයක් පමණ වූ ජනගහනයෙන් 90% කට ම එන්නත් කර ඇත්තේ සයිනොෆාම් ය. ඊට අමතරව ෆයිසර්, ස්පුට්නික්, මොදෙර්නා සහ ඇස්ට‍්‍රාසෙනෙකා පොඩි පොඩි තැන්වල චුට්ට චුට්ට විදින ලදී. ඒ අතර කිව යුත්තේ මේ රටේ ජනතාවට මුලින්ම විදින ලද කොවිඞ් එන්නත ඇස්ට‍්‍රාසෙනෙකා බවය. එංගලන්තයේ මව්

සමාගමේ ශාඛාවක් ඉන්දියාවේ විවෘත කර ඉන්දියාව සහ ලංකාව යන දෙරට සඳහාම වාණිජ්‍ය මට්ටමෙන් ඇස්ට‍්‍රාසෙනෙකා නිපදවන ලදී. ඒ අතර මේ එන්නතෙන් බිස්නස් එකක් කිරීමට කල්පනා කළ ඉන්දියානු පාතාලය ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් තොග පිටින් මිලට ගෙන බ්ලැක් මාර්කට් එකේ විකිණීමට පටන් ගත්තේය. බ්ලැක් මාර්කට් එකේ ඉල්ලූම වැඩි වීමත් සමගම ලංකාවේ අවශ්‍යතාවය සඳහා එන්නත් නිකුත් කිරීමට ඉන්දියාවේ ඇස්ට‍්‍රාසෙනෙකා සමාගමට බැරි විය. ඒ නිසා එම එන්නතේ පළමු මාත‍්‍රාව ලැබුණු අයට දෙවන මාත‍්‍රාව ලබා ගැනීමට ද නොහැකි විය. මේ අතර ඉන්දියානු පාතාලය තව තවත් එන්නත් ඉල්ලමින් ඇස්ට‍්‍රාසෙනෙකා ලොක්කාට තර්ජනය කරන්නට පටන් ගත්තේය. ඉන් බිය වූ ලොක්කා ඉන්දියාවේ කොම්පැනිය වසා දමා සිය පවුලත් සමග එංගලන්තයට පැන ගියේය. මෙය අප ලියන ලද්දේ රට වසා තැබීම නිසා කුසීත භාවයෙන් ද අපේක්ෂා භංගත්වයෙන් ද සිටින පාඨකයා දැනුවත් කරනු පිණිසය.

නියම කතාව මෙතැන් සිට පටන් ගනිමු; කොවිඞ් වෛරසයට වැඩිම බලපෑමක් කළ හැකි සුපිරි එන්නත ඇමරිකාවේ ෆයිසර් එන්නත බවට මේ දිනවල මතයක් පැතිර යමින් පවතී. එය ප‍්‍රකාශ කර ඇත්තේ කොවිඞ් වෛරසය සම්බන්ධයෙන් සුවිශාල දැනුමක් සහ අප‍්‍රමාණ දැක්මක් ඇති බව පෙනෙන වෛද්‍යවරුන් කිහිපදෙනකු විසිනි. සයිනොෆාම් එන්නත බලයෙන් අඩු එන්නතක් බවද ඔවුහු කියති. එසේම කොවිඞ් වෛරසය මර්දනය කිරීම සඳහා මේ රටේ මෙතෙක් ගසන ලද සියලූම එන්නත්වල බලය ප‍්‍රතිශතයක් වශයෙන් දැක්වීමට ද එම වෛද්‍ය කණ්ඩායම පියවර ගෙන ඇත.

අප මෙහි මුලින් ද සඳහන් කර ඇති අන්දමට මේ රටේ වැඩියෙන්ම විදින ලද එන්නත සයිනොෆාම් ය. වෛද්‍යවරුන්ගේ ප‍්‍රකාශය නිසා සයිනොෆාම් එන්නත විදගත් සියලූම දෙනා මේ මොහොතේදී සකල අමාරුවේ වැටී සිටිති. සයිනොෆාම් එන්නතේ ප‍්‍රතිශක්තිකරණ බලය අඩු බව කීමත් සමගම එම එන්නත විදගත් අයගේ මනස කඩා වැටී ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණය බිංදුවට ම වැටීමට ඉඩ තිබේ. සමහරු තම අනුදැනුමෙන් තොරව අපිරිසිදු කෑම අනුභව කරති. එහෙත් ඒ බව දැනගන්නා තුරු ඔවුන්ට කිසිදු ආබාධයක් නැත. ප‍්‍රශ්නය පටන් ගන්නේ තමන් කුණු කෑ බව දැනගත් විට පමණි.

එවිට ටැප් එක අරියාක් මෙන් ශරීරයේ ප‍්‍රධාන විවර දෙකෙන්ම දොරේ ගලන්නට පටන්ගනී. සයිනොෆාම්වල ප‍්‍රතිශක්තීකරණ බලය අඩු බව මේ වෙලාවේදී කීමෙන් වැඩක් නැත. සයිනොෆාම් විදගත් අවුරුදු 60 ඉක්ම වූ පිරිස මේ ප‍්‍රකාශයත් සමගම සුදු කොඩි සහ ගොක් කොළ සිහිනෙන් දැකීමට පටන් ගැනීම නොවැළැක්විය හැකිය. මේ රටේ සෞඛ්‍ය අංශය කොවිඞ් මර්දනය කෙරෙහි දක්වන ලද කැපවීම කිසිසේත්ම අඩු තක්සේරු කළ යුතු නොවේ. එසේ කළ ඔවුන්ම ජනතාවට සුදු කොඩි සහ ගොක් කොළ පෙන්වන විට ඒ සියලූම වෛද්‍යවරුන්ට මිනී පෙට්ටිය බැගින් තෑගි දීමට ජනතාවට සිත්වන බව කෙනෙක් කීවොත් එයට එරෙහි වීමට අපට නොහැක.
 

advertistmentadvertistment