සුදු පන්දුවේ කළු වීරයා ජාත්‍යන්තර පිටියෙන් සමු ගනියි

381

එකදු ටෙස්ට් තරගයක් හෝ රට වෙනුවෙන් ක්‍රීඩා නොකර වැඩිම සීමිත පන්දුවාර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ දෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට නම එකතු කරගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සීමිත පන්දුවාර තරග නායක ප්‍රහාරාත්මක පිතිකරු කිරන් පොලාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පෙරේදා (20 වැනිදා) සමු දුන්නේය.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සිය සමු ගැනීම ප්‍රකාශ කළ කිරන් පොලාර්ඩ් එක් දින ජාත්‍යන්තර තරග 123කට සහ පන්දුවාර 20-20 තරග 101කට ක්‍රීඩා කර ඇත. එකදු ටෙස්ට් තරගයක් හෝ තම රට වෙනුවෙන් ක්‍රීඩා නොකර වැඩිම සීමිත පන්දුවාර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩක ලැයිස්තුවේ පොලාර්ඩ් දෙවන ස්ථානයේ රැඳී (224) සිටි අතර එම සටහනේ පෙරමුණ හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්ට ය. ඔහු සීමිත පන්දුවාර තරග 238 (එක් දින -143, පන්දුවාර 20-20-95)කට සිය දායකත්වය ලබා දී ඇතත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකටවත් ක්‍රීඩාකර නොමැත.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායකයාව සිටි පොලාර්ඩ් එම අංශයේ තරග 61කට නායකත්වය ලබා දී තිබූ අතර ඉන් තරග 25ක් ඔහුගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කර තිබුණි.

බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවෙන් පන්දුවාර 20-20 තරග 100කට ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයාවන පොලාර්ඩ් 2012 වසරේ පන්දුවාර 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයකු ද වූවේය. පසුගිය වසරේ ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20-20 තරගයක දී අකිල ධනංජය ගේ පන්දුවාරයක් තුළ හයේ පහර 6ක් එල්ල කරමින් ජාත්‍යන්තර තරගයක දී එවැනි දස්කමක් කළ ලොව තෙවැනි ක්‍රීඩකයා බවට වාර්තාවක් පිහිටු වූ පොලාර්ඩ් ක්‍රිස් හෙල්ට පසුව සිය රට වෙනුවෙන් වැඩිම 6යේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා ද වේ.

එක් දින තරගවල දී ලකුණු 2706ක් ද පන්දුවාර 20-20 තරගවල දී ලකණු 1569ක් ද ලබාගෙන ඇති පොලාර්ඩ් 2007 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස තම කණ්ඩායමට දායකත්වය ලබාදෙමින් කඩුලු 97ක් ද උඩ පන්දු 106ක් ද ලබාගෙන තිබුණි.

“බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවෙන් වසර 15ක් ක්‍රීඩා කරන්නට ලැබීම මට මහත් ගෞරවයක්. පොඩි කාලයේ පටන් මගේ වීරයා වුණේ බ්‍රයන් ලාරා. මගේ සිහිනය සැබෑ කරමින් ඔහුගේ නායකත්වය යටතේ ම මගේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රවේශය ද සිදු වුණා. බටහිර ඉන්දීය කොදෙව් දේශීය වෙනුවෙන් ක්‍රීඩා කළ කාලයේ මට ගොඩක් දේ ලැබුණා. ඒ හැම දෙයට ම ස්තුතියි.

පොලාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙමින් එසේ ප්‍රකාශ කළ අතර ලබන මස 35 වැනි වියට පා තබන පොලාර්ඩ් මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් අයිපීඑල් ක්‍රිකට් පිටියේ තරග වදිමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment