සුදු මැස්සාට පොල් වගාව වනසන්නදී බලධාරීන් පොල් ගානවද – පුබුදු ජයගොඩ

145

සුදු මැස්සා නිසා ශ්‍රී ලංකාවේ පොල් වගාව විනාශයෙන් විනාශයට ගිය ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ ( 25 දා) පැවසීය.

පොල් සංවර්ධන මණ්ඩලය හෝ පොල් වගා කිරීමේ මණ්ඩලය මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකර “පොල් ගානවා දැයි” ප්‍රශ්න කරන බව ද ජයගොඩ මහතා කීවේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජයගොඩ මහතා මේ බව කීවේය.

හෙතෙම මෙසේ ද සඳහන් කළේය.

සුදු මැස්සා නිසා පොල් ඵලදාව අඩු වෙනවා. ඒ වගේම ගෙඩි පොඩි වෙනවා. හරි නම් මේ වෙලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න ඕනෑ. ඒත් බලධාරීන්ට වගේ වගක් නෑ. මෙම රෝගය පාලනයට බලධාරීන් රසායනික ද්‍රව්‍ය තුනක් හඳුන්වා දී තිබෙනවා. එහෙත් ඒවා ආනයනයට ණයවර ලිපි නිකුත් කිරීම ගැටලුවක් වෙලා. ඒ වගේම දේශීය වශයෙන් සබන් සහ කොහොඹ මිශ්‍රණයක් ගැසීමටත් යෝජනා කර තිබෙනවා. ඒත් ඒවා විදින්නෙ කොහොමද. ඒකට පවර් ස්ප්‍රේ මැෂින් ඕනේ. පොල් සංවර්ධන මණ්ඩලයට ම තියෙන්නෙ පවර් ස්ප්‍රේ මැෂින් 250 යි. මේකෙන් මේක කරන්න බෑ. වහාම මේ ගැන බලධාරීන් අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනයෙන් සියයට 8.8% පොල්. පොල් අපනයනයෙන් බිලියනයක් විතර අපි හොයනවා. ඒ නිසා මේ ගැන වහාම අවධානය යොමු කළ යුතුයි.

මේ රෝගයට 2002 දී මාලදිවයිනත් 2016 දී ඉන්දියාවත් ගොදුරු වුණා. ඔවුන්ගෙන් දැනුම අරගෙන හෝ මෙය පාලනය කරන්න බලධාරීන් කටයුතු කර නෑ. ඒ වගේම 1964 දී ශ්‍රී ලංකාවේ පොල් රෝගයක් පැතිරී ගියා. එය මාස කීපයකින් එදා පාලනය කර ගත්තා. පරපෝෂිතයන් යොදාගෙන හෝ මෙය පාලනය කිරීමට දැන්වත් බලධාරීන් වහාම කටයුතු කළ යුතුයි. නැත්නම් පොල් වගාව නැත්තටම නැති වේවි.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment