සුදු ලූනු ‘ගේම ගැසූ’ කෝටිපතියා මාට්ටු – තවත් කෝටිපතියන් තිදෙනකු අල්ලන්න සොයයි

1027

ලංකා සතොස ආයතනයේ නිලධාරීන් පිරිසක් සමග එක්ව රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමෙන් යුත් සුදු ලූනු තොගයක් වංචනික ලෙස මිලදී ගත් බව කියන කෝටිපති ව්‍යාපාරිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (06 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ කැඳවා සිටි අතර එම ප‍්‍රශ්න කිරීම්වලින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු 54 හැවිරිදි වියේ පසුවන දෙමළ ජාතික ව්‍යාපාරිකයෙකි. මොහු දීර්ඝ කාලයක සිට පිටකොටුවේ තොග වෙළෙඳාමේ යෙදුණු අයෙකි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අද (07 වැනිදා) වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය. ලංකා සතොස ආයතනයේ රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමෙන් යුත් සුදු ලූනු කිලෝ 54,850 ක් වංචනික ලෙස අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයකු සහ තැරැුව්කරුවන් දෙදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් තවත් කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා
 


advertistmentadvertistment