ඉරිදා දිවයින මීවිත මැද පිටුව කලක් හැඩ වුණේ සුන්දර 90 ලිපි පෙළෙන්. 90 දශකයේ ජනප්‍රිය වූ දිදුලන තරු රැසක් සුන්දර 90 ලිපි පෙළෙන් ඔවුන්ගේ මතකය අවදි කළා. දශකයක් හදවතේ රැන්¥ මේ ගී තරු නැවතත් වේදිකාවට එන්නට සූදානම්. ඒ මාර්තු මාසේ 5 වැනි දා. මේ අපූරු වේදිකා ගතවීම පිළිබඳ අද මීවිත කතාබහට එක්වන්නේ ‘සැමදා ඔබ ළඟ ඉන්නම්” සිතින් පතා ඉන්නම්” හද මාගේ රිදුම් දෙනවා. වැනි ජනප්‍රිය ගීත රැසක් ගැයූ සුන්දර 90 වේ නොමැකෙන හඬක් සටහන් කළ ජනප්‍රිය ගායක කුමාරසිරි පතිරණ.
සුන්දර 90 නැවතත් වේදිකාවට ගේන්න යනවා කියලා ආරංචියි?
ඔව්. ‘90 සුපර් ටෙන්. නමින් මාර්තු 5 වැනි දා හවස 6.00ට මහරගම යොවුන් රඟහලේ දී මේ ප්‍රසංගය වේදිකාගත වෙනවා. මං හිතන්නේ ලංකාවේ මේ වගේ ප්‍රසංගයක් පැවැත්වෙන පළමු අවස්ථාව. 90 දශකයේ ජනප්‍රිය වෙච්ච ශිල්පීන් ඉන්නවා හතළිහකට ආසන්න පිරිසක්. ඒ පිරිසෙන් ජනප්‍රියත්වයේ ඉහළ ම තලයේ හිටපු නාමල් උඩුගම” අතුල ශ්‍රී ගමගේ” චන්දන ලියනාරච්චි” මධුමාධව අරවින්ද” විජයබණ්ඩාර වැලිතුඩුව” ලක්ෂ්මන් හිල්මි” රොහාන් ද සිල්වා” මම ඇතුළු දහ දෙනෙක් එදා ට මේ ප්‍රසංගයට සහභාගී වෙනවා. අපේ ඒ කාලේ ගැයූ ලස්සන ගීත පොකුරක් එදාට රසිකයන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ ප්‍රසංගය මාර්තු මාසෙ ම කරන්න හිතුවේ ඇයි ?
අපි වැඩ නැතුව හිටපු කාලයක් තිබුණනෙ පහුගිය කාලේ. නමුත් ගෙවුණු නොවැම්බර් මාසේ ඉඳලා අපට සංගීත ප්‍රසංග වැලක් එන්න ගත්තා එකපාරට. ඊට කලින් මංගල ප්‍රිය සාදයක්වත් තිබ්බේ නෑනේ. ඉතිං මාර්තු 5න් පස්සේ අපි දහදෙනාට එක්කහු වෙන්න වෙන්නේ නෑ නැවත මැයි මාසේ පහුවෙනකන්. ඉතිං ඒකයි පළමුවැනි ප්‍රසංගය මාර්තු 5 වැනි දා පවත්වන්න තීරණය කළේ. නැත්නම් අපි හැමදෙනාට ම එක්කහු වෙන්න පුළුවන් දවසක් ගන්න දුරකට යන්න වෙනවා.
90 දශකයේ ජනප්‍රිය වූ පිරිස අතරින් දහයක් තෝරා ගත්ත ම අනිත් අයට අසාධාරණයක් වෙන්නේ නැද්ද?
නැහැ. මොකද මං අනිත් හැම දෙනාට ම කතා කරලා කිව්වේ ඊළඟට මේ හැමෝ ම ප්‍රසංගයෙන් ප්‍රසංගයට අපි සහභාගී කරගන්නවා කියලා. රසිකයන්ගේ කැමැත්ත මත අපි 5ක් අනිවාර්යයෙන් ඉන්නවා. නමුත් අනිත් පස්දෙනා විටින්විට මාරුවෙමින් සහභාගී වේවි. මේ වෙනකොට ලංකාව වටේ ප්‍රසංග 10ට ආසන්න ප්‍රමාණයක් කට්ටිය ඉල්ලලා තියෙනවා. ජුනි මාසයෙන් පස්සේ දින දෙන්නට පුළුවන් කියලා තමයි මං ඒ හැමකෙනාට ම කිව්වේ. කිසිම කෙනකුට අසාධරණයක් වෙන්නේ නෑ.
මේ ප්‍රසංගය විදෙස් රටවලටත් රැගෙන යනවා ද?
මේ වෙද්දී විදෙස් ප්‍රසංග සඳහාත් ආරාධනා කිහිපයක් ලැබෙමින් පවතිනවා. අපි හිතුව ට වැඩිය විදෙස්ගත රසිකයෝ පුදුමාකාර ආසාවකින් ආදරයකින් අපිට ප්‍රතිචාර දක්වනවා මේ ප්‍රසංගය සම්බන්ධයෙන්. මේක ඔවුන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් කියල අවබෝධ වුණා ඔවුන් දක්වන ප්‍රතිචාර දිහා බලපුවා ම.
පවතින කොවිඞ් වසංගත තත්ත්වය එක්ක කොහොමද මේ කටයුතු සාර්ථක කරගන්නේ?
ඇත්තට ම අපට ගොඩක් තහංචි දාලා තියෙනවා සෞඛ්‍ය නීති රීති අනුව ම කටයුතු කරන්න කියලා. ඒ අනුව ආසන සීමා සහිත කරලා තියෙනවා. ආසන ඈත් කිරීම නිසා ශාලාවේ ආසන 500ක් පමණ අපට අහිමිවෙලා තියෙනවා. දාන්න පුළුවන් ගාණ අඩුයි. ඒ නිසා හැමකෙනාව ම දැනුවත් කරලා අඩු ටිකට් ප්‍රමාණයක් ගහලා තමයි මේ ආසන ඈත් කරමින් හැකිතාක් දුරට කොවිඞ්වලින් රැකෙන විදිහට ප්‍රසංගය කරන්න සැලසුම් කරලා තියෙන්නේ.
අඩුවෙන සීට් ගණන නිසා සිදුවන ආර්ථික පාඩුව විඳගන්න පුළුවන් ද?
මට දැඩි විශ්වාසයක් තියෙනවා පුළුවන් වෙයි කියලා. මොකද හදවතින් ම ආදරේ කරන ළඟ ම හිතවතුන් පිරිසක්” මගේ ආරාධිතයන් පිරිසක් ඉන්නවා. ප්‍රසංගය පවත්වන්න කලින් ඔවුන් තමයි මට දිරිය දුන්නේ. මොකද කිසිම අනුග්රාහකයෙකුත් නෑ අපට. ලොකු ලොකු ආයතන අපි වගේ අයට එච්චර ප්‍රතිචාර දැක්වුවේ නැහැ. අපි එක සැරයක් උත්සහ ගත්තා. ඒ නිසා අපි මේ පාර එහෙම අනුග්රාහකයන් හොයන්න ගියෙත් නෑ. මගෙයි” අතුල ශ්‍රී ගේ වියදමිනුයි මේ ප්‍රසංගය සම්පූර්ණයෙන් ම සැලසුම් කරලා තියෙන්නේ.
මේ ප්‍රසංගයේ ගායක ගායිකාවන්ගේ දරුවන් ගයනව ද?
දැනට එහෙම සැලසුමක් නෑ. නමුත් මතුව දී එහෙම සැලසුමක් තියෙනවා. අපි ඊළඟ පරපුරක් හදන්න ඕනේ. මොකද අපේ දරුවොත් හරි දක්ෂයි. තාත්තලා පුතාලා තාත්තලා දුවලා අනිවාර්යයෙන් ප්‍රසංගයක් පවත්වන්න කටයුතු කරනවා. එතැන දී අපේ ගායක ගායිකාවන් ගේ දක්ෂ තරුණ ළමයි එක්ක වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද තුළ ප්‍රසංග 4 ක් කරන්න මං සැලසුම් කරලා ඉවරයි. මෙතෙක් නො කරපු විදිහේ 4ක්. එක තැනක දී අපේ දරුවෝ ඉදිරියට එනවා. ඒක සැලසුම් කරලා තියෙන්නේ අගෝස්තු මාසයේ දී වගේ. නමුත් මෙතෙන් දී 90 දශකයේ සහෝදරයෝ සමගයි මුල් ම ප්‍රසංගය පවත්වන්නේ.
කලාකරුවන්ගේ දරුවන්ට වගේ ම කලා පවුල්වල නොවන තරුණ තරුණියන්ටත් මෙහි දී අවස්ථාව දෙනවා ද?
ඇත්තෙන් ම ඒගොල්ලන්ට දැන් ඕනෑතරම් අවස්ථාවන් තියෙනවා” අපිට හිතන්නත් බැරි තරම්. මෙතෙන් දී මං හිතන්නේ නෑ අපිට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. අපේ දරුවොත් එක්ක කළහ ම විශේෂත්වයක් තියෙයි කියලා මං හිතනවා. මොකද අරගොලෝ
නිතර ම ගුවන්විදුලිය් රූපවාහිනියේ ඉන්නවා. විෂුවල්වල ඉන්නවා. රසිකයන්ට ඒක අලූත් දෙයක් වෙන්නේ නැතිවෙයි කියලයි මං හිතන්නේ. අනික අලූත් කට්ටිය අපිත් එක්ක ගැවසෙනවත් අඩුයි. මුණගැහුණට ඒගොල්ලෝ කතා බහ කරන්නෙත් නෑ. පංගුවක් කට්ටිය අපිව අඳුරන්නෙත් නෑ. ඉතිං එතකොට ඒගොල්ලොත් එක්ක අපට මුහුවෙන්න බැරි ගතියකුත් තියෙනවනේ.
අලූත් නිර්මාණ මොනවා ද?
මගේ සින්දු 40ක් විතර නව නිර්මාණ කරලා තියෙනවා. අපේ‍්‍රල් මාසයෙන් පස්සේ අන්තර්ජාලය හරහා අහන්න ලැබේවි. ඉදිරියේ දී සූදානම් කරලා තියෙන ප්‍රසංග 4 අතරේ මගේ 32 සංවත්සර ප්‍රසංගයත් තියෙනවා” එළැඹෙන සාහිත්‍ය මාසයේ. එදාට මගේ නවකතා දෙකකුත් නිකුත් වෙනවා. ”සැමදා ඔබ ළඟ ඉන්නම්.. සහ ”මගේ ජීවිත කතාව… ටෙලි නාට්‍ය පිටපත් 3ක් ලිව්වා පහුගිය කාලේ. ඊට අමතරව චිත්‍රපට දෙකක් ලිව්වා. අවස්ථාවක් අවොත් නිෂ්පාදකයෙක් හම්බුණොත් හොඳ විදියේ දෙයක් කරන්න හිතනවා.
ඔබ යුග ගීත ගැයුවේ සත්මානි සමග පමණ ද?
මගේ යුග ගීත ඇත්තෙ ම නෑ. දුවත් එක්ක තමයි යුග ගීයක් ගායනා කළේ මුල්වරට. මේ අවුරුදු 32ට කාත් එක්කවත් කියලා නෑ. මොකද මං එන කාලේ ආධුනිකයෙක් කියලා මගෙත් එක්ක සින්දු කියන්න කට්ටිය අකමැති වුණානේ. ඒ නිසා ඒ කාලේ මං තනියම ගමනක් යනවා කියලා හිතුවා.
යුගන්ති යශෝධරා