සුනාමිය (පරිකතාව)

732

මෙයට 18 අවුරුද්දකට පෙර, පෙරේදා වැනි දවසක උදය වරුවේදී ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශ වැඩි හරියක් ඔස්සේ ඉන්දියානු සාගරය ශ්‍රී ලංකාවට ඇතුළු විය. එසේ ආ ජල කඳ ආපසු මහ මුහුදට යනවිට ගෙවල්, කෝච්චි පෙට්ටි, බස් රථ, කාර්, ලොරි, විශාල ඉදිකිරීම් සහ පාලම් ද මිනිස් ජීවිත 35000 ක්ද තිරිසන් සත්තව ජීවිත ලක්ෂ ගණනක්ද ගෙන ගියේය. සමහරවිට ඒ දේපලවලින් වැඩිහරියක් මේ මොහොතේදී බෙංගාල බොක්කේ මුහුදු පත්ලෙහි තැන්පත්ව ජල ජීවීන්ගේ ජනාවාස බවට හැරී තිබෙනවා වන්නට පුළුවන. වාර්තාගත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට සුනාමි තුනක් පැමිණ ඇත. ඉන් පළමුවැන්න විහාරමහා දේවි සමයේදී මුහුද ගොඩගැලීමය. දෙවැනි අවස්ථාවේදී හටගත් සුනාමිය නිසා යාපනේ පෘතුගීසි බලකොටුව තුළ පෘතුගීසි සෙබළුන්ගේ මළ මිනී පාවෙමින් තිබිණ යැයි කියනු ලැබේ. එහෙත් මුහුද ගොඩගලනවට සුනාමියක් යැයි කියන බව මෙයට 18 අවුරුද්දකට පෙර වෙන තෙක්ම කව්රුවත් දැනසිටියේ නැත. පළමු සුනාමි රැල්ල ගසා ආපසු මුහුදටම ගිය විට එම රැල්ලේ පීඩන ශක්තිය කොතරම් වේද යත් මුහුදේ සෑහෙන කොටසක් ගොඩබිමක් සේ දිස්විය. එයට හේතුව යෝධ ජල කඳක් වශයෙන් රට තුළට ආ රැල්ල ආපසු දියඹට යනවිට කිලෝමීටරයක් තරම් වූ පරාසයක තිබූ මුහුදු ජලය ද ආපසු ගෙන ගිය බැවිනි. මුහුද හිඳී තිබෙනු දුටු අපේ මිනිස්සු සිප්පි කටු ඇහිඳීමටත්, ගල් මල් නෙළීමටත්, මුහුදු වතුර නැති ඒ හිස් භූමියේ මැද්දටම ගියහ. විනාඩි කිහිපයකට පසු දෙවැනි සුනාමි රැල්ල ගොඩට පැමිණි අතර හිස් භූමියෙහි ඇවිදීමට ගිය නරඹන්නන් සියලුම දෙනා මරණයට පත්වූහ.

ශ්‍රී ලංකාව ඒ වන තෙක් මුහුණ පා තිබූ ලොකුම ස්වභාවික ව්‍යසනය සුනාමිය විය. මේ ජාතික ආපදාවෙන් පසු වැදගත් යමක් සිදුවෙයි. එනම් මේ රටේ දේශපාලන නායකයන් සියලුම දෙනා සිය අලුගුත්තේරු එදිරිවාදිකම් යටපත් කරගෙන සුනාමියෙන් හානියට පත්වූ රට ගොඩනැගීමට කටයුතු කිරීමය. මෙයින් හැඟෙන පරිදි අපේ රටේ දේශපාලනඥයන් සියලුම දෙනා එක ප්‍රතිපත්තියක් යටතට ගැනීමට නම්, එක්කෝ ගිනි කන්දක් පිපිරිය යුතුය. නැත්නම් භූමි කම්පාවක් හටගත යුතුය. ආපදාවකදී සම්මුතියකට පැමිණ එකට වැඩ කිරීමට හැකි මේ රටේ දේශපාලන පක්ෂවලට ආපදාවක් නැති අවස්ථාවලදී එකට එකතුව රට ගොඩනැගීම සඳහා හිත හදා ගැනීමට බැරි වූයේ ඇයි?

සුනාමියෙන් පසු ඉදිරි සුනාමියකදී කල් තබා අනතුරු හැඟවීමක් කළ හැකි යන්ත්‍රෝපකරණ තොගයක් වෙරළාසන්න ප්‍රදේශවල සිටුවන ලදි. මේවායින් භාගයක් පමණ ඒවා සවි කළ දවසේ සිටම වැඩ කළේ නැත. ඉතුරු සීයට පනහ මේ වන විට වැඩ කරන්නේ නැත. මෙසේ සිටවූ උපකරණ පද්ධති Early Warning Systems ලෙස හඳුන්වන ලදි. මේවා පිටරටවලින් ගෙන්වන ලද්දේ අධික මිලක් වැය කිරීමෙනි. අනතුරු කල් තබා දැන හඳුනාගෙන එයින් ආරක්ෂා වීමේ පුරුද්දක් මේ රටේ ජනතාව තුළ නැත. පාස්කු බෝම්බය පිපිරවීමට පළමුව එවැනි බෝම්බයක් සෙට් වේගෙන එන බව ඉන්දියාවේ රහස් ඔත්තු සේවාවන් මගින් අප වෙත දන්වන ලදි. එහෙත් එම ලියුම සත පහකටවත් ගණන් ගැනීම කව්රුත් නොකළහ. අන්තිමේදී පාස්කු බෝම්බයෙන් 275 ක් මළහ. 2019 දී ගෝඨාභය රාජපක්ෂ අතට බලය යන විට මේ රටේ භාණ්ඩාගාරය හිස්ව තිබිණ. තවදුරටත් පිටරටින් ණය ලබා ගැනීමට ඇති නොහැකියාවත්, විදෙස් ණය වාරික ගොඩගැසී ණය පොලියත් සමගම ගෙවා ගැනීමට නොහැකි වීමත් සිදුවනු ඇතැයි 2019 දීම මහ බැංකුව විසින් ජනාධිපති ගෝඨාභයට දන්වන ලදි. එහෙත් කිසි කෙනෙක් ඒ බරපතළ තත්ත්වය ගැන සැලකිල්ලක් නොදක්වා එය අත්හැර දැමූහ. අන්තිමේදී විදේශ විනිමය නැතිව රටට කෙළවිලාම ගියේය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය මහ පුදුම එකකි. මේ රටේ දේශපාලනයට එන ජනයා තමන්ට බලය ලැබී මාස දෙක තුනක් ගතවන විටම පිස්සු කෙළීමට පටන් ගනිති. ගෝඨාභය බලයට පත්වූ පසු වියත් මග සෑහෙන පිස්සුවක් කෙළියේය. භාණ්ඩාගාරය හිස් බව මහ බැංකුව පවසන විට “ඔය බොරු සර්… අපිට ඕන තරම් සල්ලි තියෙනවා… එකම ප්‍රශ්නය ඒවා තියාගන්න ඉඩ නැති වීමයි” කියා කපටි දේශපාලන උපදේශකයන් විසින් ජනාධිපතිතුමාව රවටන ලද බව අපි විශ්වාස කරමු. අප තවමත් කන්නේ ඒ පරිප්පුවේම ඉතුරු වූ ඉඳුල් කැබලිය. ජර්මනියෙන් ආධාර ලෙස ලැබුණු ගාලු මහ රෝහල 18 අවුරුද්දක් ගතවෙලාත් ඉදිකර අවසන් නැත. ගාලු මහ රෝහල සෑදීම ආරම්භ කරන්නේ සුනාමියට සමාන්තරව ය. 18 අවුරුද්දක් තිස්සේම ඉදිකර අවසන් කරන්නට නොහැකි වූ ගාලු මහ රෝහල එම ඉරණමට ලක්වූයේ කවරකු නිසාද? දේශපාලනඥයන්ට මෙබඳු දේවල් සම්බන්ධයෙන් හැඟෙන්නේ මොනවාද? එම හැඟීම චූන් ද නැත්නම් සීරියස් ද යන්න පවා අපට අදහසක් නැත. සුනාමිය නිසා 5000 ක් පමණ අදටත් ආගිය අතක් නැත. එහිදී කිසිදු ජාති භේදයක් නොබලා සුනාමිය අපට පහර දුන්නේය. එය යුද හමුදාවටත්, කොටි සංවිධානයටත් එකසේ පහර දුන්හ. ශ්‍රී ලංකාව මේ දිනවල යන යන තැන පරදී. එබැවින් ජාත්‍යන්තර මට්ටමෙන් කිසිම තරගයකින් ගොඩ ඒමට අපට හැකිව නැත. කෙසේ වුවද ලෝකයේ වැඩියෙන්ම රජයේ නිවාඩු ඇති රටවලින් හතර වන තැන අපට හිමිව තිබේ. එහි සැබෑ තේරුම නම් අප නිවාඩුවලින් ස්වයංපෝෂිත වූ රාජ්‍යයක්ව ඇති බවය. පසුගියදා ලෝක ආර්ථික උද්ධමනයේ 6 වන හෝ 7 වන තැන ශ්‍රී ලංකාවට ලැබී ඇති බව පසුගියදා අපට වාර්තා විය. දැන් අපට ඉදිරියට යෑමට සිදුව ඇත්තේ ඒ මට්ටමේ තරගවලිනි. හැබැයි මෙවැනි තරග කිහිපයකින් පළමුවන තැන දිනාගෙන ස්වල්ප කලකින් අපේ රටේ ජනතාව කුසගින්නේ සහ හාමතේ මිය යෑම වැළැක්වීමට බැරි වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment