සුනිල් සරත් පෙරේරා; සාහිත්‍යයික ගීත රචනා

218

සුනිල් සරත් පෙරේරා අප අතර, සිටින විශිෂ්ට ගීත රචකයෙකි. ඔහු ගේ ගීත රචනාවල විද්‍යමාන රූපකාර්ථවත් භාෂාව, සංක්‍ෂිප්තතාව හා අර්ථ සංකෝචනය, ශ‍්‍රැති රම්‍යත්වය පිළිබඳ විචාරකයන් අවධානය යොමු කර ඇති බව අපි දනිමු.

මෙම කෙටි සටහනෙන් ඔහුගේ ගීත ප‍්‍රබන්ධවල අවධානයට යොමු නොවී ඇති අංශයක් කෙරෙහි විමසුම් ඇස යොමු කරනු කැමැත්තෙමි. එනම් ජනපි‍්‍රය සංස්කෘතිය හා විදග්ධ සංස්කෘතිය සිය ගීත රචනා තුළින් ඒකාබද්ධ කිරීමට සුනිල් සරත් පෙරේරා දරා ඇති ප‍්‍රයත්නයයි.

ඔහුගේ බොහෝ නිර්මාණවල මෙම අභිලාෂය සටහන්ව ඇත. ‘එරන්දතිය එනවා’ වැනි ගීතයක් ගෙන බලමු, එය අතිශයින් ජනපි‍්‍රය ගීතයකි. ඒ අතරම විදග්ධ සංස්කෘතියෙහි මුද්‍රාව ද දරා සිටී. විදුර ජාතකයේ වින්දන පරිසරයත් පැරණි කාව්‍යෝක්තිවල ආභාසයත් ඉන් ප‍්‍රකට වේ. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු ගේ ගීත රචනා සාහිත්‍යයික ප‍්‍රමාණ දණ්ඩ අනුව අර්ථකතනය කළ හැකිය.

මෙහි දී වර්ෂ 2016 සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගත් බොබ් ඩිලන්ගේ ගීත රචනා සිහියට නැගේ. ඔහු ගීත රචකයකු, ගායකයකු, සංගීතඥයකු වශයෙන් විශ්වකීර්තියක් දිනාගෙන ඇත.

ඔහුගේ ගීත නිර්මාණ විශිෂ්ට සාහිත්‍ය රචනා බව බොහෝ සාහිත්‍ය විචාරකයන්ගේ මතයයි. මහාචාර්ය කි‍්‍රස්ටෝපර් රික්ස් මහතා කීර්තිධර සාහිත්‍ය විචාරකයෙකි. ඔහු මිල්ටන් කින්ස්, එලියට්, ටෙනිසන් වැනි කවීන් පිළිබඳ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ පළකොට ජගත් කීර්තියක් දිනා ගත්තේය. මහාචාර්ය රික්ස් වර්ෂ 2004 දී Dylans Visions of Sin යනුවෙන් බොබ් ඩිලන්ගේ ගීත රචනා පිළිබඳ පිටු 528 කරා දිවෙන දීර්ඝ ශාස්තී‍්‍රය නිබන්ධයක් පළ කළේය. පාපය නමැති සංකල්පය කෙරෙහි බොබ් ඩිලන් හෙළන දෘෂ්ටිය මෙම ග‍්‍රන්ථයෙන් මැනවින් විවරණය කොට ඇත. සුනිල් සරත් පෙරේරා සූරීන්ගේ ගීත නිර්මාණ මට්ටම් තුනක් ඔස්සේ සාහිත්‍ය නිෂ්පාදන වශයෙන් අගය කළ හැකිය.

පළමුවැන්න අත්දැකීම් ක්‍ෂේත‍්‍රයයි. එරන්දතිය එනවා වැනි ගීතයක් විග‍්‍රහ කිරීමේ දී මෙය වටහා ගත හැකිය. දෙවැන්න ඔහුගේ මුඛය තේමායි. සුනිල් සරත් පෙරේරාගේ ගීත රචනා විශාල සංඛ්‍යාවකට කාලය නමැති තේමාව මුල්වී තිබේ. පෙරදිනයක මා පෙම් කළ යුවතිය (අමරදේව), මේ මහකන්ද (අමරදේව), සිනාසිසි එයි (සෝමතිලක ජයමහ ගයන) වැනි ගීත නිර්මාණ තුළින් කාලයෙහි වැදගත්කම පසක් වෙයි. ඔහුගේ ගීතවල ඇත්තේ කාලය පිළිබඳ සංකීර්ණ සංකල්පයකි. එය අංශ සතරකින් සමන්විතය. එම අංශ සතර නම් ඔරලෝසුවෙන් මනින් කාලය, මනෝ විද්‍යාත්මක කාලය, ඥාන විභාගාත්මක කාලය, හා පාරභෞතික කාලයයි. තවත් වැදගත් තේමාවක් නම් දෘෂ්ටිගෝචර ලෝකයේ විචිත‍්‍රත්වය ශ‍්‍රැති රම්‍ය නාද රටාවන්ට නැගීමයි. ‘කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ’ වැනි ගීයකින් මෙය ප‍්‍රකට වේ.

තෙවැන්න ශිල්පීය ලක්‍ෂණවල වැදගත් කමයි. ඇය යන්න ගියා මැකිලා වැනි ගීයක ශ්ලේෂාර්ථයෙහි ප‍්‍රභාව පිළිබිඹු වේ.

එකම පද පෙළකින් එක්වරම එකිනෙකට වෙනස් අදහස් දෙකක් මතුකොට දැක්වීම ශ්ලේෂාර්ථයෙහි වැදගත්කමයි.

ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

වන සිරසක
තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ

ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

පිනි කඳුළක්
මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

නිල්ල නිලන නිල් කඳු වැලි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා –
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිසා අත ගා කීව ද
අදහාගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගම්මානෙට පෙර

කාව්‍යශේඛරයෙහි ඇතුළත් මෙවැනි පද්‍යයකින් ශ්ලේෂාර්ථ කි‍්‍රයාත්මක වන අයුරු වටහා ගත හැකිය.

සෙවි සුවිමල් සව ග
පළ කළ මහවියත් මග
කෙලෙසග නිවූ නිසග
වදිම් සදහම් බාරුසිග ඟ

සුනිල් සරත් පෙරේරාගේ ගීත ප‍්‍රබන්ධ විධිමත් සාහිත්‍ය විශ්ලේෂණයකට පාත‍්‍රවිය යුතුය.

මහාචාර්ය විමල් දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment