සුපිරි කොළඹ කුණු වතුරෙන් යටවෙන හල්ගහවත්ත මිනිසුන්ගේ කතාව

46

ඉස්සර අපි ගංවතුරට

හල්ගහකුඹුරේ ඔරු පැද්දා…

පුංචි වැස්සටත් මේ වත්ත යට වෙනවා, එතකොට අපායක්…

වත්තේ පවුල් හයසීයකට වැඩියි, ගෙවල් හුණ්ඩු වගෙයි…

සුපිරි කොළඹ කුණු වතුරෙන් යටවෙන හල්ගහවත්ත මිනිසුන්ගේ කතාව

අහස උසට ඉදිවූ විසල් ගොඩනැඟිලි, නෙලුම් කුලුනු, නෙලුම් පොකුණු, තරු බැබළෙන සංචාරක හෝටල්, හැන්දෑවට නෙක විසිතුරු විදුලි බුබුළින් ඒකාලෝකවත් වන කොළඹ සුරපුරයකි. එහෙත් කොළඹ මුඩුක්කු, වතු, අඩු ආදායම්ලාභී ජනතාව ජිවත්වන මහල් නිවාසවල ඇතුළාන්තය අපායක් වැනිය. එහෙයින් කොළොම්පුරේ නොපෙනෙන පැත්ත සතිපතා ලිපි මාලාවක් වශයෙන් හෙළිදරව් කිරීමට අපි අදහස් කළෙමු. මේ එම ලිපි මාලාවේ දෙවැනි කොටසය…

‘හල්ගහකුඹුර’ කොළඹ පිහිටි තවත් වත්තකි. පුංචි වත්තක් නොවේ. පවුල් හයසිය ගාණක් ජීවත්වන විශාල ගම්මානයකි. තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බොරැල්ල ආසනයේ, වනාතමුල්ල ග්‍රාම සේවා කොට්ඨාසයේ පිහිටි හල්ගහකුඹුර සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සංහිඳියාවෙන් ජීවත්වන ගම්මානයක් බව ප්‍රසිද්ධය. රාජ්‍ය, පෞද්ගලික විවිධ වෘත්තීන්වල නියැළෙන මිනිසුන් එම වත්තේ ජීවත් වන අතර බහුතරය කුලීකරුවන් බව එගම්වාසීන්ගේ අදහසය.

“මේ වත්තේ රජයේ රැකියා කරන, හොඳ කොම්පැණිවල ජොබ් කරන අය ඉන්නෙ අතලොස්සයි. ගොඩක්ම ඉන්නෙ එදා වේල ගැටගසා ගැනීමට කුලී රස්සා කරන මිනිස්සු. කොරෝනාවලින් පස්සේ වත්තේ මිනිස්සුන්ට කුලී වැඩත් අඩුයි. දැන් නම් ඇත්තේම නැති තරම්. ඒ වගේම අද කාලේ කුලී රස්සාවක් කරලා දරු පවුලක් ජීවත් කරවන්න හරිම අමාරුයි. දෙවේලක් කාලා, බීලා ජීවත් වෙන්නවත් කුලියෙන් ලැබෙන සොච්චම ප්‍රමාණවත් නෑ. ඒ ගැටලුව නිසා මේ වත්තේ බොහෝ ළමයි 11 වසරටවත් පාසල් යන්නෙ නෑ…” හල්ගහකුඹුර වත්තේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින ස්වර්ණා පෙළගැසෙන කතාවට එසේ ප්‍රවේශයක් ලබාගත්තාය. ටී. විස්ස වත්තේ පදිංචිකාරිනියක් වන ඇය ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවකි. එමෙන්ම ප්‍රදේශයේ සිටින දැන උගත් කාන්තාවකි. එහෙත් අපේ ගමන් සගයා වූ දිසා අංක 03 කොට්ඨාස ප්‍රජා නායක සුනිල් කුමාර මහතා ඇයගේ කතාව මොහොතකට යටපත් කර හල්ගහකුඹුර වත්තේ ආරම්භයට අපව කැඳවාගෙන ගියේය.

“හල්ගහකුඹුර කොළඹ තිබුණු සරුසාර කුඹුරක්. පුදුම සිරියාවක් තිබුණේ. මේ කුඹුරෙන් මුළු ප්‍රදේශයම කලඑළි වුණා. ඩඩ්ලි සේනානායක මහත්තයාගේ කාලයේදී ‘ගොවි රජා’ පවා තේරුවා. එහෙම තිබුණු බත්පතට 1965 අවුරුද්දෙන් පස්සෙ සතොසෙ, වෙනත් සුපර් මාකට්වල කුණු ගෙනත් දාන්න පටන් ගත්තා. නරක් වෙච්ච අල, ලූනු, කල්ඉකුත් වෙච්ච හාල්, පරිප්පු ලොරි ගණන් ගෙනත් හැලුවා. දවසින්, දවස කුණු එකතු වෙලා ටික කාලයක් යනකොට හල්ගහකුඹුර මහ කුණු ගොඩක් බවට පත් වුණා. ඒ කුණු ගොඩේ මිනිස්සු හොරාට පැල්පත් අටව ගත්තා. මුලින්ම පැල්පත් අටවගත්තේ දෙමළ මිනිස්සු. ඒ කාලේ කොළඹ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් වෙච්ච සෙල්වසාමි තමයි දෙමළ මිනිස්සු පදිංචි කරන්න මූලිකත්වය ගත්තේ. අන්තිමේ ආණ්ඩුව පැල්පත් කඩන්න හදනකොට සෙල්වසාමි ඩෝසරය ඉදිරිපිට නිදාගත්තා. එතැනින් ගෙවල් කඩන එක නතර වුණා. මේ වෙනකොට අක්කර පහළොවක්, විස්සක් ගොඩ කරලා ගෙවල් හදාගෙන තියෙනවා. ගෙවල් දෙසීය පනහකට වැඩියි. ඒ ගෙවල්වල පවුල් හයසීයකට වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙනවා. එක ගෙදර පවුල් දෙක, තුන ජීවත් වෙනවා. සමහර අය මේ ඉඩමේ කෑලි දෙක, තුන අල්ලගෙන, ඒවා විකුණලා දැන් මහල් නිවාසවල ජීවත් වෙනවා…”

සුපිරි කොළඹ කුණු වතුරෙන් යටවෙන හල්ගහවත්ත මිනිසුන්ගේ කතාව

සුනිල් මහතාගේ කතාවේ අවසාන වචන කිහිපය ඇසෙනවිට මගේ දෙනෙත් නළලේ නතර විය. ඒ වත්තේ නිවාස ද මස්වත්තේ නිවාසවලට දෙවැනි නැති හෙයිනි. පවුල් දෙක, තුනකට විනා හරි හැටි දෙදෙනකුටවත් ජීවත්වීමට ඇස ගැටෙන නිවාසවල ඉඩ පහසුකම් නැත. ජනෙල් නොමැති, අඩි හය, හතකට වඩා උස නැති, ටකරන් වහල සහිත ඇතැම් නිවාස සත්ත්ව කූඩු වැනිය. ගේට්ටුවලට ඉබි, යතුරු දැමූ නිවාස හිර කුටි වැනිය. අපි ගමන් කරන මාර්ගය ද අඩි පහකට වඩා පළල් නැත. පාර දෙපස යාව පිහිටි නිවාස පේළි ය. විටෙක තනි නිවාස පිහිටා තිබේ. ඒ අතර දෙමහල් නිවාස ද නොතිබුණාම නොවේ. එහෙත් ඒ කිසිදු නිවසක් කලඑළියක් නැත. එම නිවාස වටා බිම් අඟලක හෝ මිදුලක් නොපනේ. විසිතුරු පැළයක්, මිරිස් ගහක් හෝ තණකොළ ගහක්වත් වත්ත පහළට ඇවිඳගෙන යන අපගේ නෙත නොගැටුණේය. එම නිවෙස්වල ඉදිරිපිට සහ පසුපස කිසිදු වෙනසක් නැති බව ද පෙනේ. වටපිට විපරම් කරගෙන පාර දිගේ ඉදිරියට යනවිට දත් විරිත්තා ගත් කේඬෑරි මිනිසෙක් අප ඉදිරියට පැමිණියේය. බුලත් කසටය බැඳුණු දත් අරියාදුවට ගහපු වැටක් වැනිය. පළල් වූ මුව තුළින් සම්පූර්ණ දතක් නොපෙනෙන තරම්ය. උඩුකය නිර්වස්ත්‍රව සිටි ඔහුගේ ශරීර කූඩුවේ තළෙළු සම නොතිබෙන්න ඉලඇට කූඩුව දොට්ට පණින තරමට ශරීරය දිරාපත් වී තිබිණි.

‘ආ…. මේ ඉන්නේ වත්තේ පරණ කෙනෙක්…’ සුනිල් මහතා ළෙන්ගතු සිනාවකින් ඔහුව පිළිගත්තේය. ඔහුගේ මුව තවත් පළල් විය.

“ඉස්සර ගංවතුර කාලෙට හල්ගහකුඹුර මහා විශාල වැවක් වගෙයි. කෙසෙල් කොටන් දාගෙන අපි ඔරු පැදලත් තියෙනවා. කුණු ගෙනත් කුඹුර ගොඩ කරන්න පටන් ගත්තට පස්සෙ, ජංගි කොට ගහගෙන ටැක්ටර් පස්සෙ දුවගෙන ඇවිත් කුණු හැලුව හැටියේ හොඳ අල, ලූනු තේරුවා. ගෙදරට කන්නත් අරගෙන විකුණන්නත් අල, ලූනු එකතු කළා. කුණු ගොඩේ දුවනකොට මිනී ඇටකටු කකුල්වල ඇනිච්ච වාර අනන්තයි. මේ කුණු ගොඩට නොදාපු බඩමාළුවක් නෑ…” ගංවතුරෙ ඔරු පැදපු කතාව මිහිරිය. කුණු කතාව අමිහිරිය. එහෙත් පෙළගැසෙන සටහනට ඔහුගේ කතාව ආභරණයක් වැනිය. හේ ආරියසේනය. වයස අවුරුදු හැත්තෑහයකි. මොහොතකට ඔහුගේ කතාවට අපි විරාමයක් තැබුවෙමු.

ප්‍රදේශයේ පහත් බිම හල්ගහකුඹුරය. එදා සිට ප්‍රදේශයේම කුණු සෝදාගෙන එන්නේ හල්ගහකුඹුරටය. කුණු දමා කුඹුර ගොඩ කළාට ප්‍රදේශයේ ජලය බැස යෑම නතර වී නැත. අදට ද පුංචි වැස්සටත් ගොඩ වතුරෙන් හල්ගහකුඹුරවත්ත යටවෙන්නේය. වත්ත වටේ දිය වී ගලන කුණු වතුරෙන් නිවාස යට වෙන්නේය. මුළු වත්තම ගංවතුරෙන් යටවූ විට උපදින අවීචිය දැන් මගේ සිතේ ඇඳිණි. දෙසවනේ දෝංකාර දෙන්නේ වත්තේ මිනිසුන්ගේ දුක්ගැනවිලිය. අතීත කතාය. අපි සෙමෙන් හල්ගහකුඹුරවත්ත පහළට ගමන් කළෙමු.

වක ගැසුණු මාර්ගයේ, නිවාස පේළි අතරින් වැටුණු අතුරු මාර්ග ඔස්සේ වත්ත ඇතුළටම ගිය විට උතුර, දකුණ සොයාගැනීමට නොහැකි තරම්ය. එතරම්ම නිවාස ගොඩය. මඟපෙන්වීමක් නොවෙන්න, හල්ගහකුඹුර ගම්මානයට ඇතුළුවී නැවත පාර සොයාගැනීම අතිශය අසීරුය. නිවාස පේළි අතරින් පහළටම ගමන් කළ අපි නිවාස දෙකක් අතර පුංචි ඉඩක නතර වීමු. එතැනින් එහාට ජපන් ජබරවලින් පිරුණු කුණු ඇළකි. එහා ඉවුරේ කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ බම්බු හැඩති ටැංකි පෙනේ. කොටි ත්‍රස්තවාදීන් පහරදීමෙන් පසු ඒ අවට අධි ආරක්‍ෂිත කලාපයකි. එහෙත් ඕනෑම ත්‍රස්තවාදියකුට සැඟවී සිටීමට හල්ගහකුඹුර ගම්මානය ආරක්‍ෂිත ස්ථානයකි.

සුපිරි කොළඹ කුණු වතුරෙන් යටවෙන හල්ගහවත්ත මිනිසුන්ගේ කතාව

“මේ වත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිද්ධ වෙනවා. කුඩු, අයිස්, ගංජා, පෙති, කසිප්පු සියලු විෂ ප්‍රසිද්ධියේ විකුණනවා. සමහර පාසල් යන කොල්ලො කුරුට්ටොත් මත්ද්‍රව්‍යට හුරු වෙලා ඉන්නවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කාන්තාවන් වගේම මත්ද්‍රව්‍ය බිස්නස් කරන කාන්තාවනුත් විශාල පිරිසක් මේ වත්තේ ඉන්නවා. ඒ මිනිස්සුන්ට පොලිස් කූඩුවල ලැගීම, හිරේ යනවා කියන එක ටික දවසකට නැදෑ ගෙදරක යනවා වගෙයි. ඒ වගේම මේ වත්තේ සමහර මිනිස්සුන්ට හිරෙයි… ගෙදරයි ලොකු වෙනසක් නෑ. හිරේදී වේලාවට කාලා, බීලා වැටිලා ඉන්න පුළුවන්. ගෙදර ඉන්නකොට නිදහසේ ඇවිදලා අම්මා හෝ බිරිඳ රත් කරලා තියෙන දෙයක් කාලා ඉන්නවා. ඒ හැර හිරෙත් වාතාශ්‍රය අඩුයි. නිදාගන්න තියෙන්නේ එක ගොඩේ. මේ ගෙවල්වලත් වාතාශ්‍රය හොඳටම අඩුයි. නිදාගන්න තියෙන්නෙ ෂිප්ට් එකට. නැති නම් සැමන් වෙලා. රස්නෙ කාලේට මේ ගෙවල් පෝරණු වගෙයි. වැස්ස කාලෙට හිල් කූඩ වගේ තෙමෙනවා. එහෙමත්ම පවුලක්, දෙකක් තමයි නොතෙමි ඉන්නේ. ඒ වගේම පුංචි වැස්සටත් මේ වත්ත යටවෙනවා. ගංවතුර ගලනකොට මේ වත්ත තනිකරම අපායක්. වටේ කුණු වතුර ගලාගෙන ඇවිත් වත්ත පිරුණම ටොයිලට් උතුරලා අවීචියක් වෙනවා. ගංවතුර කාලයට මේ වත්තේ සියලු පවුල් ජීවත් වෙන්නේ මොහොමඩ් ප්‍රජා ශාලාවේ හරි ලියනගේ උත්සව ශාලාවේ…” වත්තේ සිදුවන දුරාචාර, ගංවතුරට කුණු වැවක් වන හල්ගහකුඹුර ගැන කාන්තාවක් අපූරුවට අපට පැහැදිලි කරන විට ඈත සිට කළු බල්ලෙක් බුරාගෙන වත්ත පහළ නිවාස පේළියක් අතරට දිව ගියාය.

“අක්කෙ පොලිසියෙන්…” බලු සංඥාවත් සමඟ කාන්තාවක් උස් හඬින් කෑගැසුවාය.

“ගෙවල් පේළියක් පිටුපස සිටි තවත් කාන්තාවක් අතේ ගුලි කරගෙන සිටි පුංචි ගුලියක් වැනි යමක් ක්‍ෂණයෙන් පපු තුරුලේ සඟවා ගන්නා අයුරු මගේ දෑසේ පැටලිණි. ගෙවී ගියේ විනාඩි කිහිපයකි. මාංචු දැමූ තරුණයෙක් ඇදගෙන පොලිස් නිලධාරියෙක් ගෙවල් පේළියක් අතරින් මතු විය.

“මේ වත්තට පොලිසියෙන් නොඑන්නෙ එහෙමත් දවසක තමයි. පොලිසියටත් ගාණක් නෑ. වත්තේ මිනිස්සුන්ටත් ගාණක් නෑ. ඒ වගේම වත්තේ තියෙන ඝෝෂාකාරී බව එක්ක හොඳට ඉගෙනගන්න පුළුවන්, උනන්දු දරුවෙක්ට වුණත් පොතක් පාඩම් කරන්න, අධ්‍යාපන වැඩ කරගන්න බැරි වෙනවා. එහෙම වුණාම ඒ දරුවන්ටත් ඉගෙනගැනීම එපා වෙනවා. අන්තිමේ වත්තේ කොල්ලො ගැන්සිවලට එකතු වෙලා නන්නත්තාර වෙනවා. කොල්ලො හිරේ විලංගුවේ වැටෙනවා. කෙල්ලො අඩු වයසින් කසාද බැඳගන්නවා. නැතිනම් පාරට වැටෙනවා. අඩු වයසින් කසාද බැන්දම තේරෙන වයසට එනකොට දරුවෙක්, දෙන්නෙක් එක්ක මිනිහා දාලා ගිහින්. ඒ ගෑනු අනාථයි. ඒ වගේම සමහර ගෑනු මිනිස්සු එකට බීලා ෆන් එකේ ඉන්නවා. තව ගෑනු, මිනිස්සු බීලා රණ්ඩු වෙනවා. සමහර කොල්ලො මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වාඩි වෙච්ච තැන්වල ගල් ගැහිලා ඉන්නවා. ජීවත් වෙන්න ආදායමක් නැති ගෑනු අමුතු ගමන් යනවා. හල්ගහකුඹුරවත්තේ ජීවිත හරි අමුතුයි. ලිපියක් නෙමෙයි, ලිපි මාලාවක් ලියන්න විස්තර කියන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනෑ අපේ වත්තේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සමත් වෙච්ච තරුණ, තරුණියොත් ඉන්නවා. උන්ටත් ජොබ් නෑ…” ඒ කතාවට විරාමයක් නැත. කට කතුර වගේය. තව බොහෝ දේ කීවාය.

හල්ගහකුඹුරවත්තට ආවේණික වූ උප සංස්කෘතිය ගැන ඒ කාන්තාව අපූරුවට විස්තර කළාය. එහෙත් ඇයගේ ආරක්‍ෂාව වෙනුවෙන් අනන්‍යතාවය තහවුරු නොකර සිටීම අපගේ වගකීමකි. හල්ගහකුඹුරවත්තේ ජීවත් වූ පාතලේ කෙරුමන් අකාලයේ මියගිය ද ඔවුන්ගේ ගෝලබාලයෝ අදට ද ජීවත් වෙති. හල්ගහකුඹුරවත්ත ‘මත් පුරයක්’ බවට පත් කිරීමට ඔවුන් ද දායක වී සිටින බව ගම්මුන්ගේ අදහසය. පටු මාවත දිගේ ඉහළට ගමන් කළ අපි නිවසක් ඉදිරිපිට දර ලිපක කෑම උයන මවක් අසළ නතර වීමු.

සුපිරි කොළඹ කුණු වතුරෙන් යටවෙන හල්ගහවත්ත මිනිසුන්ගේ කතාව

“පේනවා නේද සුනිල් මහත්තයා… උයාගන්න විඳින දුක. දර කෑල්ලක් නෑ. ෂොපින් බෑග්, ඉටි කොළ, ප්ලාස්ටික් බෝතල් පත්තු කරලා තමයි කෑම උයන්නේ. අඩුම තරමේ කාඩ්බෝඩ් කෑල්ලක්වත් හොයාගන්න නෑ. මාස ගාණකින් ගෑස් ටැංකියක් ගන්න නෑ. භූමි තෙල් දැකපු කාලයක් මතක නෑ. බඩට කන්න පුදුම දුකක් විඳින්නේ. අපේ මිනිස්සු ජීවත් වෙන්න විඳින දුක බලන්න කිසිම දේශපාලනඥයෙක් තවම ආවේ නෑ. ඡන්දෙ කාලේට අරහෙන් ගෙවල් දෙනවා… මෙහෙන් දෙනවා… කියනවා. ඒත් දෙන තැනක් නෑ. වැස්ස කාලේට අපේ වත්ත පිටාර ගැලුවම, වතුර බැහැල ගියත් සති ගාණක් යනකම් වත්තම ගඳයි. මේ වත්තේ හැමෝටම ඕනෑ කොහේට හරි තොලොංචි වෙලා යන්න තමයි…” ජීවත්වීම සඳහා කරන අරගලය වචන කළ ඇය සිරියලතාය. වයස අවුරුදු පනස් අටකි. දරුවන් හත්දෙනකුගේ ආදරණීය මවකි. මේ වන විට දරුවන් හත්දෙනාම විවාහ වී හල්ගහකුඹුර වත්තේම පදිංචි වී සිටින බව ඇය අපට පැවසුවාය.

“කොහේ හරි ගෙවල් දෙනවා නම් අපි නම් යනවා…” හල්ගහකුඹුරවත්තේ තවත් වැඩිහිටි කාන්තාවක් ගෙවන ජීවිතය ගැන දැඩි කලකිරීමෙන් කතා කළාය. ඇය දර්ශනීය. වයස අවුරුදු හතළිස් දෙකකි. කාලයක සිට ඇය පිළිකා රෝගයකින් පීඩා විඳින්නීය.

“අපේ වත්තේ පිළිකා රෝගීන් කිහිපදෙනෙක්ම ඉන්නවා. බෝ නොවන රෝගයක් නැති වැඩිහිටියෙක් හොයාගන්නත් බැරි තරම්. තරුණ ළමයින්ටත් පෙෂර් තියෙනවා. ඒක වසංගතයක් වගෙයි. බෝ වෙන රෝගයක් හැදුණොත් වත්ත පුරා පැතිරෙනවා. මේ වත්තේ දෙසීයකට විතර කොරෝනා හැදුණා. කිහිපදෙනෙක්ම මැරුණා. පිරිසිදු වාත්‍රාශයක් නැති වෙනකොට, විෂ සහිත ආහාර පරිභෝජන රටාවකට හුරු වෙලා ඉන්න වත්තේ මිනිස්සු මෙහෙම හරි ජීවත්වීම සතුටක්…” පිළිකා රෝගියෙක් වුවද ජීවත්වීම සඳහා පාසලක සනීපාරක්‍ෂක සේවිකාවක් ලෙස රැකියාව කරන බව ඇය අපට කීවේ කඳුළු පිරි දෙනෙත් පිස දමමිනි. ඇය නිවස තුළට ගියාය. අපි වත්ත ඉහළට ගමන් කළෙමු. කුකුළන් රෑනක්ම ගෙපිලක ඇහිඳ කමින් සිටිති. ඒ සතුන් දුටු මම සුනිල් මහතා දෙසට හැරුණෙමි.

‘මේ වත්තේ කුකුළන් විතරක් නෙමෙයි හරක් පට්ටිත් ඉන්නවා. පහළ ඇළ අයිනේ හරක් ගාල් කරලා තියෙනවා. ඉස්සර විශාල හරක් පට්ටි හිටියා. ගොඩක්ම හොරු මරාගෙන කාලා…’ සුනිල් මහතා වත්තේ සතුන් ගැන විස්තර කරන විට තුන්මං හන්දියක සවි කර තිබූ නාම පුවරුවක සටහන්ව තිබූ දේශපාලනඥයකුගේ පෙළපත් නාමය අසළ මගේ දෙනෙත් නතර විය. එම මාර්ගයට කොන්ක්‍රීට් අතුරා ඇත්තේ ඒ දේශපාලනඥයාය. හල්ගහකුඹුර වැනි අන්ත දුගී වත්තක පටු පාරකට කොන්ක්‍රීට් අතුරා නාම පුවරුවක පෙළපත සටහන් කිරීමට තරම් එම දේශපාලනඥයාට විලිලැජ්ජාවක් නොතිබීම ගැන අපි කම්පා නොවෙමු. ඒ මේ රටේ දේශපාලන ක්‍රමයේ හැටිය. එවැනි කාලකණ්ණි අපතයන් සහිත රටක ජීවත්වීමට ලැබීම කරුමයක් නොව සාපයක් බව දැන් රටේම ජනතාව තේරුම් ගෙන අවසානය.

පුංචි වැස්සටත් යටවෙන, මිහිපිට අපායක දහදුක් විඳින හල්ගහකුඹුරවත්තේ පදිංචිකරුවන්ට මහල් නිවසක් හෝ ලැබෙනවා නම් වාසනාවකි. එහෙත් ඒ අසරණයන්ගේ නිවාස සිහිනය සැබෑ වන්නට තව කී කාලයක් ගතවේද යන්න කිවනොහැකි තරම්ය…

සුපිරි කොළඹ කුණු වතුරෙන් යටවෙන හල්ගහවත්ත මිනිසුන්ගේ කතාව
advertistmentadvertistment
advertistmentadvertistment