සුපිරි සිව් දෙනාගේ වටය හෙට සහ අනිද්දා

225

“ඩයලොග් අභියෝග කුසලාන” රග්බි පාපන්දු තරගාවලිය

“ඩයලොග් අභියෝග කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් අවුරුදු 19 න් පහළ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටය හෙට (10දා) ප.ව. 04.00 ට කොළඹ දී ආරම්භ කිරීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව ශාන්ත පීතර විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර තරගය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඉසිපතන විදුහල සහ රාජකීය විදුහල අතර තරගය හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරේ.

මෙවර ශූරයන් තීරණය කෙරෙන සුපිරි සිව් දෙනාගේ වටයට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල සුදුසුකම් ලබා ගත්තේ ප්‍රතිවාදී පාසල් 12 ක් අභිබවා යමින්.

පාසල් 16 ක සහභාගිත්වයෙන් යුතුව කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මූලික වටයේ දී ඉහළම ලකුණු ලබා ගන්නා ලද කණ්ඩායම් 04 තෝරා ගත් අතර එම පාසල් අතරේ සුපිරි වටය ක්‍රියාත්මක කෙරේ. මූලික වටයේ දී “ඒ” කාණ්ඩය යටතේ තරග කරමින් ඉසිපතන විදුහල සහ ත්‍රිත්ව විදුහල සුදුසුකම් ලබාගත් අතර “බී” කාණ්ඩය යටතේ ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

“බී” කාණ්ඩය තුළ අපරාජිත බව සනාථ කර ගනිමින් ශාන්ත පීතර විදුහල ද “ඒ” කාණ්ඩය තුළ අපරාජිත බව සනාථ කර ගනිමින් ඉසිපතන විදුහල ද සුපිරි සිව් දෙනාගේ වටයට වරම් ලබා ගැනීමට සමත් වීම ඒ අතරේ කැපී පෙණුනි.

මේ වන විට ශාන්ත පීතර විදුහල ජයග්‍රහණ 07 ක්

සමගින් ලකුණු 42 ක් ද, ඉසිපතන විදුහල ජයග්‍රහණ 07 සමගින් ලකුණු 39 ක් ද, රාජකීය විදුහල ජයග්‍රහණ 06 ක් සමගින් ලකුණු 35 ක් ද, ත්‍රිත්ව විදුහල ජයග්‍රහණ 05 ක් සමගින් ලකුණු 32 ක් ද, සටහන් කර ගෙන ඇත. මූලික වටයේ දී සෑම පාසලක්ම තරග 07 කට සහභාගි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment