සුමේධ සුද්ධ කළ ප‍්‍රියංබිකාවෝ

430

සුමේධ රැකියාව කළේ පෞද්ගලික ආයතනයක. උපන් ගම බදුල්ලෙ වුණාට සුමේධ නතර වෙලා හිටියෙ ජාඇල පැත්තෙ බෝඩිමක.

 නාලක කියන්නෙ සුමේධගේ කළ්‍යාණ මිත‍්‍රයා. එයා රැුකියාව කළෙත් මේ පෞද්ගලික ආයතනයේමයි.

 පසුගිය දවසක නාලකගෙ උපන් දිනය යෙදුනා. උපන් දින උත්සවය චාමෙට ගමු කියලා ආයතනයෙ හැමෝම නාලකගෙන් ඉල්ලීමක් කරලා තිබුණා.

 අන්තිමේදී නුගේගොඩ පැත්තෙ පුංචි හෝටලයක උපන්දින සාදය චාමෙට ගන්න නාලක තීරණය කළා. මේ උත්සවයේ හැම වැඩ කටයුත්තක්ම හොයලා බලලා කරන්න වුණේ සුමේධට. උපන් දින පාටියක් කිව්වට මේක කොටින්ම මත්පැන් සාදයක්. කාර්යාලයේ පිරිමි යාළුවෝ ටිකට විතරයි මේ පාටියට ආරාධනා කරලා තිබුණේ.

 පාටිය තව ටිකක් ප‍්‍රබෝධමත් කරන්න කියලා හිතාගෙන නාලක රූමත් තරුණියො දෙදෙනෙකුටත් ආරාධනා කරලා තිබුණා. කොටින්ම මේ අය රැුකියා විදිහට කළේ මේ වගේ පාටිවලට ගිහින් එතන ඉන්න අයව විනෝද කරන එක.

 එදා මත්පැන් සාදය බොහොම ජයට ගියේ මේ රූමත් තරුණියො දෙන්නගෙ සහභාගිත්වය නිසයි.

 කෙල්ලො දෙන්නත් ඔෆිස් එකේ තරුණයො එක්ක හරි හරියට මත්පැන් පානය කළා.

 නාලකගේ සමීප මිතුරා නිසා සුමේධ මේ තරුණියො දෙන්න එක්ක බොහොම සමීපව කටයුතු කළා.

 ‘‘නංගිලා තව ටිකක් ගන්න. අපි දැනගෙන හිටියෙ නැහැනෙ ඔයාලාට හොඳට බොන්න පුළුවන් කියලා.’’ සුමේධ තරුණියො දෙන්නට සමීප වෙමින් ඔවුන්ට පුළුවන් උපරිමයෙන් සත්කාර කළා.

 රැ බෝවෙනකොට හැමෝටම හොඳටම වෙරි. පාටියට ආව කෙල්ලො දෙන්න දැන් එතන ඉන්න හැමෝගෙම ප‍්‍රියම්බිකාවන් වෙලා. ඒ දෙන්නා දැන් අතින් අතට මාරු වෙනවා.

 මධ්‍යම රාත‍්‍රිය උදාවෙනකොට හැමෝටම ගෙවල් දොරවල්වල යන සිහිය ආවා. එකා දෙන්නා දැන් පාටියෙන් හෙමිහිට මාරු වෙනවා.

 නාලකට හරි සතුටුයි හිතුවට වැඩිය හොඳට පාටිය නැගල ගිය එක ගැන. නාලක හැමෝටම ආචාර සමාචාර කරලා සමුදෙන්න ගත්තා. ඒ වෙනකොට සුමේධටත් හොඳටම වෙරි. කොටින්ම සිහියක් පතක් නැහැ. සුමේධ ඒ වෙනකොට අර ලස්සන කෙල්ලො දෙන්නට ළගින්ම සෙට්වෙලා හිටියෙ.

 කොටින්ම සුමේධ දැන් ඒ දෙන්නගෙ ඔඩොක්කුවල ඔළුව තියාගෙන හිටියෙ.

 ‘‘මචං මේ නංගිලා දෙන්න ආපහු ගිහින් දාන්න ඕනෙ. දැන් මොකද කරන්නේ. මට යන්න විදිහකුත් නැහැ.’’

 නාලක සුමේධට කිව්වා. මේ මහා ? කුලී වාහනයක යවන්නත් බයයි. මොනව හරි වුණොත් අපිටනෙ ප‍්‍රශ්න එන්නේ. වාහනයක් කතාකරලා දෙන්නම් උඹ ගිහින් මේ කෙල්ලො දෙන්නව ගෙදරට බස්සලා වරෙන්.

 නාලක එහෙම කිව්වම සුමේධ ඒ රාජකාරිය භාරගත්තෙ පුදුම සතුටකින්. රූමත් තරුණියො දෙන්නට මැදිවෙලා යන්න සුමේධගෙ හිතේ තිබුනෙ ලොකු ආශාවක්. නාලක කුලී රථයක් ලෑස්ති කරලා තරුණියො දෙන්නයි සුමේධවයි ඒකෙ නග්ගලා පිටත් කරලා ඇරියා.

 අයියා නම් හරිම හොඳ කෙනෙක්. බලන්න අපට ආදරේ නිසානේ අපේ ආරක්‍ෂාවට ආවේ. අයියා දැන් මේ මහ ? ආපහු යන්න ඕනෙ නැහැ. අපේ ගෙදර ඉඳලා උදේ එන්න.

 කෙල්ලො දෙන්න එහෙම කිව්වම සුමේධට උතුර දකුණ මාරුවුණා. මාර චාන්ස් එකක්නෙ වදින්න යන්නෙ කියලා සුමේධ එක පයින්ම ඒ ආරාධනාව භාරගත්තා. කුලී රථය මරදාන පැත්තේ වතු නිවාස සංකීර්ණයක් මැදින් ඇතුළට ගියේ තරුණියන්ගෙ මාර්ගෝපදේශවලට අනුවයි.

 කුලී රථය ඝන අන්ධකාරය මැද්දේ එක්තරා නිවසක් අසල නතර කළා. සුමේධට දැන් හොඳ පදමට වෙරි. ඉන්නෙ කොහොද යන්නෙ කා එක්කද කියලවත් මතක නැහැ. එයාගෙ ඔළුවෙ දැන් වැඩ කරන්නෙ මේ ලස්සන කෙල්ලො දෙන්න ගැන.

 හරි අයියා එන්න ඇතුළට. අපි යමු අපේම ලෝකයකට. එහෙම කියලා අර තරුණියො දෙන්න සුමේධවත් තුරුලූ කරගෙන මුඩුක්කු නිවාසයකට රිංගුවා.

 එතැන් පටන් බොහෝ දේ මේ නිවාසය ඇතුළෙ සිද්ධ වුණා. පියවි සිිහියෙන් නොසිටි සුමේධට සිද්ධ වුණේ මොනවද කියලා මතක නැහැ.

 වාහනවල හෝන් සද්දෙට සුමේධට එක පාරට ඇහැරුණා. සුමේධ උඩ ගිහින් බිම වැටුනා. දෙනෝදාහක් දෙනා එහා මෙහා ගමන් කරන පදික වේදිකාවක් අයිනෙ සුමේද වැටිලා ඉන්නවා. පාරේ යන එන මිනිස්සු අරුම පුදුම සත්ත්වයෙක් දිහා බලනව වගේ සුමේධ දිහා බලනවා.

 සුමේධට එක පාරට කලිසමේ සාක්කුවට අත ගෑවුණා. දෙයියනේ කෝ මගේ පර්ස් එක. කරේ තිබුණු මාලෙත් නැහැ. අතේ දාගෙන හිටිය බ්‍රේස්ලට් එකත් නැහැ. සුමේධට තරු විසිවුණා. දැන් මොනව කරන්නද. පෙර දින රාත‍්‍රියෙ සිද්ධවෙච්ච එක දෙයක්වත් සුමේධට මතක නැහැ. මොකුත් සිද්ධ නොවුණු විදිහට සුමේධ උන්නු තැනින් නැගිටලා ජාඇල බෝඩිමට යන්න පිටත් වුණේ මේ වගේ අකරතැබ්බ වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියලා හිතමිනුයි.

*  රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment