සුරංගනා කතාවලින් ජනතාව වෙත දේශපාලනය රැගෙන ගිය සෝවියට් රුසියානු ලේඛකයා එව්ගෙනි ස්වාර්ට්ස්

183

මෙරට නාට්‍ය ක්ෂෙත‍්‍රයට දැඩි බලපෑමක් කළ සෝවියට් රුසියානු ලේඛක එව්ගෙනි ස්වාර්ට්ස් මෙලොවින් සමුගෙන ජනවාරි 15 වැනි දිනට වසර 63 කි. මෙම ලිපිය එ් නිමිත්තෙනි. The Dragon නම් ඔහුගේ සුප‍්‍රකට වේදිකා නාට්‍යය මෙරට කෘතහස්ත නාට්‍යවේදීන් තිදෙනෙකු අතින් ‘මකරා’, ‘මකරාක්ෂයා’ සහ ‘මකරට’ යනුවෙන් සිංහල නාට්‍ය වේදිකාවට ප‍්‍රවිෂ්ඨ වී ය.

බරසාර දේශපාලන න්‍යායන්ගෙන් පිරි සුවිසල් ග‍්‍රන්ථ හරහා පමණක් නොව, සරල බසින් ලියැවෙන සුරංගනා කතාවලින් පවා ජනතාව වෙත දේශපාලනය ගෙන යා හැකි බව ප‍්‍රායෝගිකව සනාථ කළ කීර්තිමත් සෝවියට් රුසියානු ලේඛකයෙකු, තිර රචකයෙකු, නාට්‍ය රචකයෙකු, පුවත්පත් කලාවේදියෙකු සහ කවියෙකු වූ එව්ගෙනි ස්වාර්ට්ස්ගේ 63 වැනි අනුස්මරණ දිනය ජනවාරි 15 වැනි දිනට යෙදී තිබේ. අදින් වසර 125කට පෙර එනම් 1896 ඔක්තෝබර් මස 09 වැනි දින සෝවියට් අධිරාජ්‍යයේ කසාන් හි උපත ලද ඔහුගේ බොහෝ කෘති ලොව විවිධ රටවල විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, ඒවා පාදක කරගෙන චිත‍්‍රපට සහ වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය වී තිබේ. ඒ අතරින් ඔහුගේ වඩාත්ම පරිණත නාට්‍යය වන The Dragon නාට්‍යය, සියලූ‍ ආකාරවලින් ම ඒකාධිපතිවාදය ඉලක්ක කරගත් දේශපාලන උපහාසයක් ලෙස සැලකේ.

1944 දී පළමුවරට වේදිකාගත වූ The Dragon සුප‍්‍රසිද්ධ නාට්‍යය විවිධ අවස්ථාවල මෙරට නාට්‍යකරුවන්ගේ ද සම්භාවනාවට පාත‍්‍ර වී කිහිපවරක් ම අනුවර්තනයට ලක්වූවා පමණක් නොව, එය පාදක කරගෙන වේදිකා නාට්‍ය සහ නාට්‍ය කෘති ගණනාවක් ම නිර්මාණය වී ය. 1973 දී ආචාර්ය හෙන්රි ජයසේනයන් මෙමගින් ‘මකරා’ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරන ලද අතර, එහි ලාන්ස්ලොට්ගේ චරිතය රඟපෑ ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍යවේදියා 1985 දී එමගින් ‘මකරාක්ෂයා’ නාට්‍යය නිර්මාණය කළේ ය. එහි පරිවර්තිත පෙළ එ් වනවිට ද හෙන්රි ජයසේනයන් වෙත තිබුන ද, ඔහු එය ලබා නොදීම නිසා ධර්මසිරි බණ්ඩාරනායකයන්ට එය නැවත පරිවර්තනය කරගැනීම සඳහා අපට සිටි කීර්තිමත් පරිවර්තකයෙකු වූ සිරිල් සී. පෙරේරා සූරීන් වෙත යන්නට සිදුවූ බව අප අසා ඇත්තෙමු.

සුරංගනා කතාවලින් ජනතාව වෙත දේශපාලනය රැගෙන ගිය සෝවියට් රුසියානු ලේඛකයා එව්ගෙනි ස්වාර්ට්ස්

එම නාට්‍යද්වයට අමතරව, 2014 වර්ෂයේ දී The Dragon ඇසුරින් චාමික හත්ලහවත්තගේ නිෂ්පාදනය කළ ‘මකරට’ නාට්‍යය ද මෙහි දී අපට අමතක කළ නොහේ. එව්ගෙනි ස්වාර්ට්ස්ගේ The Dragon සුලභ සුරංගනා කතාවක් සේ පෙනුන ද, එමගින් විෂද කෙරෙන සමාජ යථාර්ථය සහ දේශපාලන පණිඩුඩය බෙහෙවින් ගැඹුරු එකකි. ඒ බව සනාථ කිරීම සඳහා වන හොඳ ම නිදසුන් වන්නේ 1944 පැවැති මෙම උපහාසාත්මක දේශපාලන නාට්‍යයේ මංගල දර්ශනයෙන් පසු රුසියාවේ එවකට සිටි පාලකයන් නාට්‍යය වාරණයට ලක්කිරීමත්, 1956 පටන් එරට කම්කරු පන්තිය මෙම නාට්‍යය යළිත් වේදිකා ගත කරන ලෙස ඉල්ලා බලකිරීමත් ය.

ජීවිත කාලය පුරා ම විප්ලවවාදී අදහස් දැරූ එව්ගේනි ස්වාර්ට්ස්ගේ සිය හැට දෙවසරක ජීවිත කාලය තුළ ලියා ඇති ග‍්‍රන්ථ සංඛාව විසිපහක් පමණ වේ. The naked king, The shadow, The tale of lost time, The Dragon, The Dragon ( A Satiric Fable in Three Acts) සහ Two brothers ඒවායින් කිහිපයකි.

එව්ගෙනි ස්වාර්ට්ස් කෘතහස්ත නාට්‍යකරුවෙකු පමණක් නොව, දක්ෂ තිර රචකයෙක් ද වෙයි. Doctor Aybolit (1938), A Winter Tale (animated-1945), Cinderella (1947), First-Year Student (1948), Don Quixote ^1957) iy The Magic Weaver (1960) යන සිනමා පටවල තිර රචනය සිදුකරන ලද්දේ ස්වාර්ට්ස් විසිනි. ඔහුගේ කෘති ඇසුරින් වෙනත් අය තිරරචනා ලියා නිෂ්පාදනය වූ සිනමාපට Cain XVIII (1963), An Ordinary Miracle (1964), Tale About the Lost Time (1964)” The Snow Queen (1967)” The Shadow (1971), An Ordinary Miracle (1978), Tale About the Lost Time (animated, 1978), Die verzauberten Brüder (TV” 1978), To Kill a Dragon (1989), Maybe It’s All Right (1991), The Two Brothers-an episode of Animated Tales of the World (animated, (2001) සහ A New Year Adventure of Two Brothers (animated, 2004) ඒ අතර ප‍්‍රධාන වේ.

සුරංගනා කතාවලින් ජනතාව වෙත දේශපාලනය රැගෙන ගිය සෝවියට් රුසියානු ලේඛකයා එව්ගෙනි ස්වාර්ට්ස්

එව්ගෙනි ස්වාර්ට්ස් උපත ලද්දේ ඉහළ මධ්‍යම පාංතික පවුලක ය. ඔහුගේ පියා ශල්‍ය වෛද්‍යවරයෙකු වූ අතර, ඔහුගේ මව ප‍්‍රසව වෛද්‍යවරියක වූවා ය. එව්ගෙනිගේ පියා තරුණ වියේ සිට ම විප්ලවවාදියෙකි. එහි ප‍්‍රතිඵලය ලෙස 1898 දී විශ්වවිද්‍යාල උපාධිය ලබාගැනීමත් සමඟ රාජ්‍ය විරෝධී ප‍්‍රචාරක කටයුතුවල යෙදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන මාස හයක කාලයක් සිරගත කරන ලද අතර, ඉන් අනතුරුව ඔහු එ් වනවිට පදිංචිව සිටි නගරයෙන් ද පිටුවහල් කරනු ලැබී ය.

එව්ගෙනි ස්වාර්ට්ස් වයස අවුරුදු හතේ පටන් ලේඛන ප‍්‍රතිභා පළකළ දරුවෙකි. තම මව්පියන්ගෙන් ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලද බවත්, තමා වැනි මිනිසුන් පරාජිතයන් බවට පත් වී සියදිවි නසාගන්නා බව ඔවුන් බොහෝ විට සඳහන් කළ බවත් එව්ගෙනි සිය දිනපොත්වල සඳහන් කර තිබේ. මව්පිය අනාවැකිය සාවද්‍ය කරමින් ඉතාමත් හොඳින් මූලික හා ද්වීතීයික අධ්‍යාපනය හදාරා 1913 දී උපාධිධාරියෙකු බවට පත්වන එව්ගෙනි, 1914 දී මොස්කව් විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වී 1916 දී නීති උපාධිය ලබා ගනී. නමුත්, ඔහු නීතීඥ වෘත්තියට වඩා උනන්දුවක් දැක්වූයේ, රංග ශාලාවට ය. එහි ප‍්‍රතිඵලය වූයේ, ඔපෙරා සහ වේදිකා නාට්‍ය නැරඹීම සඳහා ටිකට්පත් මිල දී ගැනීමට තම මවිපියන්ගෙන් ලද මුදල් වියදම් කළ ඔහු අවසන මුදල් අහේනියෙන් පෙළෙන්නට වීම යි. 1916 අගභාගයේ දී හමුදාවට බැඳුන එව්ගෙනි ස්වාර්ට්ස්ගේ ජීවිතය වෙනස් වූයේ, ඉන් දෙවසරකට පමණ සිදු වූ පහර දීමක දී ඇති වූ දරුණු කම්පන තත්ත්වයක් මත රෝහල් ගත කිරීමත් සමඟ ය. එහි ප‍්‍රතිවිපාක වශයෙන් ඇතිවූ අත්වල වෙව්ලීම ඔහු ගේ මුළු ජීවිත කාලයට ම බලපෑව ද, රෝහලෙන් පසුව ඔහු ඇතුළත් කරන ලද්දේ ජර්මානුවන් ගේ පාලනය යටතේ පැවති රොස්ටොව්-ඔන්-ඩොන් විශ්වවිද්‍යාලයට ය. එහි දී ඔහු තරුණ පර්යේෂණාත්මක නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන පාවෙල් වොයිස්බ්‍රෝම් විසින් 1919 සිට පවත්වාගෙන යනු ලැබූ ‘තියටර් වර්ක්ෂොප්’ නම් නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වී කටයුතු කිරීමට පටන් ගත්තේ ය. 1920 ශීත ඍතුවේ දී බොල්ෂෙවික්වරුන් රොස්තොව්-ඔන්-ඩොන් අල්ලා ගැනීමෙන් පසුව, එම වසරේ මැයි මාසයේ දී, ඔහු නළුවෙකු හා රංග උපදේශකවරයෙකු ලෙස රතු හමුදාවේ කොකේසියානු පෙරමුණේ දේශපාලන දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබී ය.

සුරංගනා කතාවලින් ජනතාව වෙත දේශපාලනය රැගෙන ගිය සෝවියට් රුසියානු ලේඛකයා එව්ගෙනි ස්වාර්ට්ස්

1920 දී ගයානේ හලේඞ්ෂිවා නම් නිළිය සමඟ විවාහ වන එව්ගෙනි, ඉන්පසු ඇය හා එක්ව තම නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය දිගට ම රඟ දැක්වී ය. එහෙත්,

කුසගින්නෙන් පෙළෙන ජනතාව විසූ පළාත්වල සිදුකළ නාට්‍ය කණ්ඩායමේ සංචාරයන්ගෙන් ඔවුනට කිසිදු ආදායමක් නොලැබුණි. එනිසා, ඔහුට කුඩා සිනමා ශාලාවලත්, පොත් සාප්පුවකත් සේවකයකු ලෙස වැඩකරන්නට සිදු වී ය. එව්ගෙනිට ‘සෙරපියන් බ‍්‍රදර්ස්’ නමැති සාහිත්‍ය කණ්ඩායම මුණගැසෙන්නේ මේ කාලයේ දී ය. එයින් ලද උත්තේජනයෙන් ඔහු ‘ෂුර්’, ‘සීයා සාරායි’, ‘බ‍්‍රවුන්නි’ සහ ‘එඞ්ගර් පෙපෝ’ යන අන්වර්ථ නාමයන් යටතේ උපහාසාත්මක කාව්‍ය ලියන්නට පටන් ගත්තේ ය. ළමුන් සඳහා සාහිත්‍යකරණයේ යෙදුන පළමු නූතන රුසියානු ලේඛකයා ලෙස සැලකෙන කෝර්නි චුකොව්ස්කිගේ ලේකම් ලෙස කලක් සේවය කළ එව්ගෙනි ස්වාර්ට්ස් ඉතා ඉක්මනින් ම දක්ෂ කතන්දරකරුවෙක් ලෙස ප‍්‍රසිද්ධියට පත් වී ය. 1923 දී ඔහු, මිහායිල් ස්ලොනිම්ස්කි සමඟ ‘කොචෙගාර්කා’ රුසියානු පුවත්පතට සම්බන්ධ වී කටයුතු කළේ ය. මුල දී පාඨකයන් ගේ ලිපි පමණක් සංස්කරණය කළ ඔහු, පසුව ‘ස්වාර්’ යන අන්වර්ථ නාමයෙන් කෙටිකතා ලියන්නට පටන් ගත්තේ ය. වැඩිකල් නොගොස් ම ඒවා පාඨකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වන්නට ද පටන් ගත්තේ ය. පුවත්පතට සාහිත්‍ය අතිරේකයක් එක්කරන්නට ද ඒ සමඟ ම කටයුතු කළ ඔහු, පසුව ‘ඔබෙරියු’ සාහිත්‍ය කණ්ඩායමට ද සම්බන්ධ වී ය. 1924 දෙවන භාගයේ සිට 1925 ඔක්තෝබර් අවසානය දක්වා, ‘ලෙනින්ගෑඞ්’ සඟරාවේ විධායක ලේකම් ලෙස ද එව්ගෙනි කටයුතු කළේ ය. ඉන්පසු ඔහු කෝර්නි චුකොව්ස්කි සහ සැමුවෙල් මාර්ෂක්ගේ සහාය ඇතිව ලෙව් ක්ලියාච්කෝ විසින් නිර්මාණය කරන ලද ළමා සාහිත්‍යයේ ‘රාදුගා’ ප‍්‍රකාශන ආයතනයට සම්බන්ධ වී 1928 දක්වා එහි සේවය කළේ ය. ඒ අතර, එම කාලය තුළ ම එනම්, 1925 සිට 1931 දක්වා මාර්ෂක්ගේ නායකත්වය යටතේ රාජ්‍ය ප‍්‍රකාශන ආයතනයේ ළමා දෙපාර්තමේන්තුවේ ද සේවය කරන්නට එව්ගෙනිට අවස්ථාව සැලසිණි.

1924 දී, එව්ගෙනි සිය පළමු ළමා කෘතිය The Tale of an Old Balalaika ප‍්‍රකාශයට පත් කරන ලද අතර, එය ‘ස්පෙරෝ’ සඟරාවේ ජූලි කලාපයේ පළ වී ය. 1925 සිට ඔහු ‘හෙඞ්ගෙහොක්’ සහ ‘චිස්’ ළමා සඟරා සඳහා නොකඩවා දායකත්වය සැපයූ අතර, ඔහුගේ පළමු ළමා කතාව පොතක් ලෙස ද එම වසරේ දී ප‍්‍රකාශයට පත් වී ය. පසුව ඔහු ළමුන් සඳහා Camp” Balls ඇතුළු තවත් පොත් ගණනාවක් ප‍්‍රකාශයට පත් කළේ ය.

1929 සැප්තැම්බර් 21 වන දින ලෙනින්ග‍්‍රෑඞ් යෞවන රඟහල එව්ගෙනිගේ පළමු නාට්‍යය වන Underwood වේදිකා ගත කළේ ය. එයට හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් ලැබිණි. ඉන්පසුව, 1932 දී ඔහුගේ Island 5-K නාට්‍යයත්, 1933 දී The Treasure නාට්‍යයත් වේදිකාගත වී ය. ඔහු තම An Ordinary Miracle නාට්‍යය කැප කරන්නේ ඔහුගේ දෙවන බිරිඳට ය. ස්වාර්ට්ස් විශාල වශයෙන් සහ ඵලදායී ලෙස කටයුතු කරමින් නවකතා, කෙටිකතා, කවි, ළමුන් සහ වැඩිහිටියන් සඳහා නාට්‍ය රැසක් රචනා කළේ ය. වැඩිකල් නොගොසින් ම ළමා ලේඛකයෙකුගේ කීර්තිය ස්වාර්ට්ස් වෙත පැමිණි අතර, 1934 ජූලි 1 වන දින ඔහු සෝවියට් සංගමයේ ලේඛක සංවිධානයට ඇතුළත් කර ගැනිණි. ස්වාර්ට්ස් ළමා සාහිත්‍යයට අමතරව ප‍්‍රධාන වශයෙන් නාට්‍ය හා තිර පිටපත් රචනයේ ද නියැළුණේ ය. 1940 දී, ඔහු රචනා කළ The Shadow නාට්‍යය එහි මංගල දර්ශනයෙන් පසු වහා ම තහනම් කරන ලද්දේ ය. දෙවන ලෝක යුද්ධය ආරම්භයේ දී ස්වාර්ට්ස් මිලීෂියා හමුදාවට බැඳීමට ගිය ද, ඔහුගේ අතේ ඇතිව තිබූ කම්පනය වෙඩිතැබීමට නුසුදුසුකමක් වීම නිසා එය ප‍්‍රතික්ෂේප වී ය. නමුත්, එය පසුබෑමක් ලෙස නොසැලකූ ඔහු හිට්ලර් විරෝධී නාට්‍ය පිටපත් රචනා කරමින් ලෙනින්ග‍්‍රෑඞ් හි, හමුදා බඳවා ගැනීමේ ස්ථානවල දී ඒවා රඟ දැක්වූ අතර, ගුවන් විදුලියෙන් ද ඒවා ප‍්‍රචාරය කිරීමට කටයුතු කළේ ය. 1943 ජූලි දක්වා ප‍්‍රාදේශීය නාට්‍ය රඟහලේ ප‍්‍රධානියා ලෙස සේවය කළ ස්වාර්ට්ස්, ලෙනින්ග‍්‍රෑඞ් ප‍්‍රහසන රඟහල තජිකිස්තානයේ අගනුවර වන ස්ටාලිනාබාද් වෙත ගෙන ගිය පසුව, එහි සාහිත්‍ය අංශයේ ප‍්‍රධානියා බවට පත් වී ය. 1944 මැයි මාසයේ දී ඔහු තම නවතම නාට්‍යය වන The Dragon ද සමඟ මොස්කව් වෙත පැමිණියේ ය. අගෝස්තු මාසයේ දී එහි මංගල දර්ශනය මොස්කව් හි පවත්වන ලද අතර, එම මංගල දර්ශනයෙන් පසු නාට්‍යය තහනම් කරන ලදි. ඉන්පසු ස්වාර්ට්ස් ගේ ජීවිත කාලය තුළ එය කිසි විටෙකත් වේදිකාගත නොවී ය. 1956 සිට ම එම තහනම ඉවත් කරන ලෙස ජනතාව ඉල්ලා සිටිය ද, එය ඉවත් කරන ලද්දේ 1962 දී ය.

සිය ජීවිතයේ අවසාන කාල පරිච්ෙඡ්දයේ දී ස්වාර්ට්ස් තවත් නාට්‍ය කිහිපයක් ලිවී ය. ඒවා අතරින් A typical miracle නාට්‍යයේ මංගල දර්ශනය 1956 ජනවාරි මාසයේ දී සහ එහි ඊළඟ දර්ශනය එම වසරේ ම අපේ‍්‍රල් මාසයේ දී පැවැත්විණි. 1956 මාර්තු මාසයේ දී සෝවියට් සමූහාණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යාංශයේ ප‍්‍රධාන කලා අධ්‍යක්ෂ මණ්ඩලය ලෙනින්ග‍්‍රෑඞ් ප‍්‍රහසන රඟහලේ කලාත්මක කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස යෙව්ගෙනි ස්වාර්ට්ස් පිළිගැනීමකට ලක් කරන ලද්දේ ය.

ඒ ආසන්නයේ දී ම ඇති වූ හෘදයාබාධ කිහිපයකින් පසු, වෛද්‍යවරුන් ඔහුට ඇඳ විවේකය නියම කළ විට, ස්වාර්ට්ස් උදාසීනත්වයට පත්ව මරණය අපේක්ෂාවෙන් වැඩ කිරීම නවතා දැමී ය. මෙම කාලය ඔහු හැඳින්වූයේ ‘ජීවිතයේ දිගුම දවස්‘ ලෙස ය. එහෙත්, ඒ දිගු ම දවස් නිමකරමින් එව්ගෙනි ස්වාර්ට්ස් 1958 ජනවාරි 15 ​​වන දින ලෙනින්ග‍්‍රෑඞ් හි දී සදහට ම දෑස පියාගත්තේ ලෝක සාහිත්‍යයටත්, ජගත් නාට්‍ය ක්ෂෙත‍්‍රයටත් වටිනා නිර්මාණ රැසක් ඉතිරිකර තබමිනි.

අනුර බී. සෙනෙවිරත්න

සුරංගනා කතාවලින් ජනතාව වෙත දේශපාලනය රැගෙන ගිය සෝවියට් රුසියානු ලේඛකයා එව්ගෙනි ස්වාර්ට්ස්
advertistmentadvertistment
advertistmentadvertistment