සුරකිමු අලි-ඇතුන්

91

ලෝකයේ අලි විශේෂ 2ක් වාර්තාවේ. ඒ ආසියානු අලියා (Elephas maximus) සහ අප්‍රිකානු අලියා (Loxodonta africana) ලෙසිනි. මේ අතරින් ආසියානු කලාපය නිජබිම කරගත් අලියාගේ උප විශේෂ කිහිපයක් වාර්තා වන අතර පොදුවේ අලියා තර්ජනයට ලක්වූ සත්වයකු ලෙස සැලකේ. ලෝක අලි දිනයේදී (අගෝස්තු 12) ඒ පිළිබඳව මදක් සලකා බලමු.

දුරාතීතයේ ආසියානු මහද්වීපය තුළ පුළුල් ලෙස ව්‍යාප්තව සිටි ආසියාතික අලියා නූතනයේදී වාර්තා වන්නේ ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය, නේපාලය, මැලේසියාව, බංගලාදේශය, භූතානය, චීනය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය සහ ශ්‍රී ලංකාව බදු රට වල් ආශ්‍රිතවය. එයට මූලිකවම බලපා ඇත්තේ ආසියාතික අලියාට හිමි වාසස්ථානයන් ඇසුරේ සිදු වන විවිධ මානව ක්‍රියාකාරකම් නිසාවෙන් ඔවුන්ගේ ජීවන පරාසයන් සීමාසහිත වෙමින් පැවැතීම බවත් සඳහන් කළ යුතුමය.

සුරකිමු අලි-ඇතුන්

ආසියානු අලියා ජීවත්වන පාරිසරික සහ දේශගුණික කලාපයන් අනුව උප විශේෂ හතරක් ලෙස වෙන් වෙන්ව හඳුනාගත හැකිය. එනම් ඉන්දියන් උප විශේෂය (Elephas maximus indicus), බෝර්නියෝ උප විශේෂය (Elephas maximus borneoensis), සුමාත්‍රා උප විශේෂය (Elephas maximus sumatranus) සහ ශ්‍රී ලංකා උප විශේෂය (Elephas maximus maximus) ඒ යටතට අයත්ය. අපේ රට තුළ නිවැසි අලින්ගෙ බාහිර පෙනුම අනුව ඔවුන්ව කුලවලට බෙදා වෙන් කළ හැකිය. මංගල (හොඳ කුලයකි), කාලවක – ගංගෙය – පන්දර (පහත් කුල), පිංගල, ගන්ධ, තම්බර (මධ්‍යම කුල) යනුවෙන් නම් වු කුල හතක් අපේ රට තුළින් වාර්තා වී ඇත. සිරුරේ වර්ණය, දළ වල පිහිටීම, කොන්දේ පිහිටීම, ඇස් වල පැහැය, කුම්බස් තලයේ හැඩය, උස – මහත, පාදයේ නිය පිහිටීම, වල්ගයේ පිහිටීම ආදී වූ කරුණු පිළිබඳව අලින් කුලවලට වර්ග කිරීමේදී සැලකිලිමත්වී ඇත. කුමන පදනමක පිහිටා වර්ග කළත්, කුමන නමකින් ආමන්ත්‍රණය කළත් අපේ අලි අපේ රටට සම්පතක් බව යළි යළිත් සිහිපත් කළ යුතුව ඇත.

උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිට මත තබා ගෙන හස්තී ලීලාවෙන් පා තබා වීදි සංචාරය කරමින් ජනී ජනයාගේ භක්ත්‍යාදරයට පාත්‍ර වූයේ අපේ ඇත් පරපුරයි. දුරාතීතයේ රටට විරුද්ධව පැමිණි සතුරු ආක්‍රමණයන්ට නොබියව මුහුණ දුන් සිංහල යුද බල ඇණියේ පෙරමුණ ගත්තේද අලි ඇත් සේනාවයි. ප්‍රභූ සිටු මැඳුරු, නගර සැරසිලි, පූජනීය සිද්ධස්ථාන සැරසිලි ආදී ගෘහ අලංකරණයන් සඳහා යොදා ගත්තේද අලි ඇතුන් සිතුවම් කරන ලද, කැටයම් කරන ලද සහ ගලෙන් කරන ලද ශෛලමය රූප ආදිය ය. සශ්‍රිකත්වයේ සංකේතයක් ලෙස විවිධ අවස්ථාවන්වලදී භාවිතයට ගත්තේද අලි ඇත් රූපයි. එබැවින් අලි – ඇත් පරපුරට ජන සමාජය තුළ හිමි වූයේ ගෞරවාන්විත පිළිගැනීමකි. අතීතයේදී ගෞරවාදරයට පත් වෙමින් තම වාසස්ථානයන්හී නිදහසේ ජීවත් වූ සත්වයෙකුට වර්තමාන සමාජය තුළ හිමිව ඇත්තේ කෙබඳු තත්ත්වයක්දැයි යන්න නම් ප්‍රශ්නාර්ථයකි.

වර්තමානයේ මිනිසා සහ අලියා මුහුණ දෙමින් සිටින්නේ ජීවිත වලින් වන්දි ගෙවනා තත්ත්වයකට බවත්, එය දිනෙන් දිනම වර්ධනය වන බවත් සිහිකටයුතුයි. උද්ගතව ඇති ගැටලුවේ හේතුව බවට පත් වී ඇත්තේ අලින්ගේ ගැවසුම් බිම් අවුරමින් ජනාවාස බිහි වීම බවත් මෙහිදී සඳහන් කළ යුතුමය. මහා පරිමාන සංවර්ධන යෝජනා ක්‍රම හේතුවෙන් වනාන්තර පෙදෙස් යට වූ බව සත්‍යයකි. සංවර්ධන යෝජනා ක්‍රම සඳහා කැලෑ බිම් එළි වීම, නව නගර බිහි වීම, ජනාවාස ඇති කිරීම, කර්මාන්ත පුර බිහි වීම, ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිර්මාණය වීම, මහා මාර්ග, අධිවේගී මාර්ග ඉදි වීම ආදී සංවර්ධන කාර්යයන් හේතුවෙන් වනඅලින්ට වාසස්ථානයන් අහිමි විය. ඉනිදු නොනැවතී වනඅලින් එක්, එක් පෙදෙස්වලට සීමා වීම නිසාවෙන් ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවන් වන ජලය – ආවරණ සහ ගොදුරු බිම් සොයා සිදු වන සෘතු චලනය සඳහා බාධා වීම්ද සිදු විය. ප්‍රධාන වනජීවී රක්ෂිතයක සිට තවත් වනජිවී රක්ෂිතයක් වෙත පාරම්පරිකව සිදු වූ වන අලි සංක්‍රමනයන් සඳහා භාවිතයට ගත් වන මංතීරූ (අලි මංකඩවල්) ආශ්‍රිතව මිනිස් ජනාවාසයන් බිහි විය. නිසි ක්‍රමවේදයකින් තොරව අක්‍රමවත්ව සිදු වූ මෙවැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වනඅලින් තමන්ගේ පාරම්පරික ගමන් මාර්ගයන්ට බාධා එල්ල වන ආගන්තුක ජනාවාසයන් ආක්‍රමණය කිරීමට පෙළඹුණි.

සුරකිමු අලි-ඇතුන්

වනඅලි – මිනිස් ගැටුම පවතින ප්‍රදේශයන් පිළිබඳව අධ්‍යනය කිරීමේදී අවබෝධ වන කරුණක් වන්නේ වනජීවී රක්ෂිතවලින් පිටත ප්‍රදේශයන් ආශ්‍රිතව වන අලින්ගේ වැඩි වූ ගැවසීම බව දැක්විය හැකිය. එහි යථා ස්වරූපය කෙසේද යත් මේ සද්දන්ත පරපුර අප රට තුළ පමණක් නොව සමස්ත මිහිමතලයෙන්ම තුරන්ව යෑමේ අවදානම දක්වාම වනඅලි – මිනිස් ගැටුම උග්‍ර වෙමින් පවතී. ඒ බැව් දිනයේ ඇරැඹුමේ සිට අවසානය දක්වා වනඅලි – මිනිස් ගැටුම සම්බන්ධව අසන්නට හා දකින්නට ලැබෙන සිදු වීම් ඔස්සේ තේරුම් ගත හැකිය. අතීතයට සාපේක්ෂව වර්තමානයේ සිදු වන සොබාදහම අරඹයා සිදු වන අනිසි මානව ක්‍රියාකාරකම් ගොඩබිම මත ජීවත්වන සද්දන්තයන්ගේ යහපැවැත්ම හීන වීමට බෙහෙවින්ම බලපා ඇත.

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ගොඩබිම් දැවැන්තයන් ලොව පුරා තර්ජනයට ලක්වූ සත්ව හා ශාක විශේෂයන්හි ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව වන සම්මුතියට අනුව ආසියාතික වනඅලින් ආරක්ෂිත කළ යුතු සත්ව ලේඛනයට ඇතුළත් කර (CITES – Convention On International Trade In Endangered Species Of Wild) ඇත. ඒ අනුව ඇත් දළ, පණු දළ, දත්, සම්, කෙඳි, නියපොතු ආදී කිසිදු හෝ ශාරීරික කොටසක් වෙළඳාම අන්තර්ජාතික වශයෙන්ද තහනම් කර ඇත. 1979 වසරේ සිටම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සම්මුතියේ සාමාජිකත්වය දරයි. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත බලගැන්වීම හරහාද වනඅලින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇත. වසර 73 කට ආසන්න කාල පරාසයක් තුළ ශ්‍රී ලාංකේය වනජීවී සංරක්ෂණය උදෙසා පූර්ණ කාලීනව කැපවී සිටිනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකේය අලියා සංරක්ෂණය හා බැඳුණු නෛතික බලය හිමි රාජ්‍ය ආයතනයද වේ. වනඅලියා ධජධාරී සත්ව විශේෂයක් ලෙස ගෙන සංරක්ෂණයේදී ප්‍රමුඛතාව ලබා දී ඇත. වනඅලින් සංරක්ෂණය යනු ඒ හා බැඳුණා වූ පරිසර ක්‍රියාදාමයම ආරක්ෂාවීමක් සහ ඒ මත යැපෙන සෙසු වනජීවීන්ගේ පැවැත්ම සහතික විමක් බවද මෙහිලා සටහන් තැබිය යුතු වේ.

සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික

advertistmentadvertistment
advertistmentadvertistment