සුවඳත් හොරු ගෙනිහිං

141

ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මාන 1950 – 1960 දශකයන්හිදී රට අග – හිඟකම්වලින් යුක්ත වුවද ගම්මාන එක්තරා දුරකට ස්වයංපෝෂිත මට්ටමක පැවතිණි. එසේ වන්නට හේතු වූයේ, එකී ගම්වැසියන් අතර පැවති සාමකාමී සහජීවනයත්, තියෙන දේ බෙදා හදාගෙන කෑමත්, ඔවුන් එකිනෙකාට උදවු පදව් කරගෙන සිය ජීවනෝපාය කර ගැනීමට කටයුතු කිරීමත් යන කරුණු කාරණා මෙම තත්ත්වයට බෙහෙවින් බලපෑවේය.

මෙම ගම්වැසියන් උපතින්ම නෑදෑයන් වුවත්, නොවූවත්, සිය අසල්වැසියන් ඇමතුවේ කිසියම් නෑකමකිනි. මාමා, නැන්දා, සීයා, ආච්චි, මහප්පා, ලොකු අම්මා, අයියා, අක්කා, මල්ලී, නංගී වැනි වදන් හැම විටෙකම ඔවුන් කිසිවකු අමතන විට විශේෂණ පද ලෙස යොදා ගැනුණි.

එදා සිටි වැඩිහිටියෝ මෙම හුරුව තම දරුවන්ට ද මුනුබුරු මිනිබිරියන්ට ද මනාව හුරුකර තිබිණි. ඒ අනුව ගම්වැසියෝ හැමෝම එකම නෑදෑ පිරිසක් ලෙස ජීවත් වූහ.

එසේම ගමේ ළමුන් ද පාසලේ ගත කරන කාලයත්, දෙමාපියන්ගේ ගෙදර දොරේ කටයුතුවලට උදවු උපකාර කරන කාලයත් හැරුණු විට අඳුර වැටෙනතුරුම ඔවුහු එක්ව සෙල්ලම් කළෝය. වෙල්එළි, ඇළ – දොළ, බඩවැටි, ලඳු කැලෑ, පොල්වතු, රබර් වතු එදා ගමේ ඇති පදමට තිබූ අතර ඒවා සියල්ලම ඔවුන්ගේ සෙල්ලම් පිට්ටනි විය.

කෙටියෙන් කිවහොත් මෙම ළමුන්ගේ ළමා කාලයෙන් වැඩි කොටසක් ගතවූයේ ගහකොළ, ඇළ – දොළ, ලඳු කැලෑ, බඩවැටි සහ සතා සීපාවෝ සමගය. එදා පොත් දහසකින් ඉගෙන ගත යුතු දෑ ඔවුහු පරිසරයෙන් ද දෛනිකව එකිනෙකා ගැටීමෙන් ද උගත්, ඔවුන්ට සෙල්ලමකදී හැර එදිනෙදා කටයුතුවලදී තරගකාරී බවක් නොතිබිණි. එකිනෙකාව කපා කොටා ගෙන ඉහළ යෑමේ තැතක් ද නොතිබිණි.

එදා එසේ සොඳුරු සුන්දරත්වයේ ගිලී පැවති ගමේ දිවි පැවැත්මට කණකොකා හැඬීමට එක් හේතුවක් වූයේ දේශපාලන පක්‍ෂ ක්‍රමය ගම තුළට ඇතුළුවීමයි. මෙම තත්ත්වය හමුවේ වැඩිහිටියන්ගේ එකමුතුව දෙකඩ තුන්කඩ විය. ළමයින්ගේ එකමුතුව වෙන් කිරීමට ද මෙම කාරණාව බලපෑවේය.

‘සුවඳත් හොරු ගෙනිහිං’ නවකතාව මෙම ඛේදවාචකය මනාවට කියාපායි. මෙකී කතාව ආරම්භ වන්නේ, මෙහි කතා නායකයා වන මාධව තම ළමා කාලය ගත කළ අයුරු ආවර්ජනය කිරීමක් ලෙසිනි. ඔහු එදා පැවති ගමේ සුන්දර දිවි පෙවෙත දැඩි වේදනාවෙන් සිහිපත් කරයි. මාධවට මේවා සිහිපත්වන්නේ ඉගෙන ගෙන කලක් විදේශගතව සිට තම රටට නැවත පැමිණීමෙන් පසුවය.

එදා සිට අතීතයේ පැවති ගැමි සුවඳ අද නැත. “සුවඳත් හොරු ගෙනිහිං” අතීතය ආවර්ජනය කරමින් මාධව මෙම ඛේදවාචකයට හේතුභූත වූ කරුණු මැනවින් සමාජය ඉදිරියේ කියාපායි. අපට වෙච්ච දේ මාධව අපූරුවට සමාජයට කියයි. මාධව කියන මේ කතාව ඇත්තදැයි “සුවඳත් හොරු ගෙනිහිං” නවකතාව කියවීමෙන් ඔබට ද නිගමනය කළ හැකිය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දිගු කලක් අත්දැකීම් ලද දෙස් – විදෙස් සරසවි රැසක උගනමින්, උපාධි රැසක් ද ලබාගෙන ලොව රටවල් රැසකදී තම දැනුම යාවත්කාලීන කරගත් සුනිමල් සේනාරත්නයන් “සුවඳත් හොරු ගෙනිහිං’ නවකතාවේ කතුවරයාය.

‘සුවඳත් හොරු ගෙනිහිං’ නවකතාවේ සංදර්භය කතුවරයා ගොඩනඟා ගන්නේ ස්වකීය අභිප්‍රායේදී පාඨකයා වෙහෙසට පත් නොකොට ජීවන ආස්වාදයක් අත්කර දෙමින් කල්පනය විකසිත කිරීමට හැකි ශිල්ප ක්‍රම භාවිතයෙනි. නිර්ව්‍යාජ අත්දැකීම් නිර්ව්‍යාජ ලෙස මිනිස් ජීවන පුවත් නිරූපණය හේතුවෙන් මේ නවකතාවෙන් ගැඹුරු ජීවිත විවරණයක් මෙන්ම සමාජ විවරණයක් ද සිදුවේ. මෙම පොතට පූර්විකාවක් සපයන මහාචාර්ය සරත් විජේසූරිය සඳහන් කර තිබේ.

“සුවඳත් හොරු ගෙනිහිං” කොළඹ 10, මරදානේ – සමයවර්ධන පොත් ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක් ලෙස එළි දක්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment