සුසිල්ගේ සිට තුනෙන් දෙක දක්වා ඊලඟ ජනාධිපතිවරණයේ දැනට ප්‍රතිඵලය

535

කැබිනට් මණ්ඩල කචල් යන්න ශ‍්‍රී ලංකා දේශපාලනයේ මතු නොව ලෝක දේශපාලනයේ ද අලූත් කතා නොවේ. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයට අමතරව හැම ආණ්ඩුවකම සිටිනා කිචන් කැබිනෙට්ටුවට ඇති විරෝධය මේ සඳහා බලපාන බව කිව හැකිය. සුසිල් පේ‍්‍රමජයන්ත තනතුරෙන් ඉවත් කිරීමට පෙර සිටම ආණ්ඩුව ඇතුලේ වෙනම අමාත්‍ය කණ්ඩායමක් කැබිනට් සාමූහිකත්වය ඉක්මවා කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල විය. මේ සඳහා ප‍්‍රධාන නම් ලෙස කියවුණේ විමල්, ගම්මන්පිල, වාසු යන ත‍්‍රිත්වය ය.

මහින්ද සුළෙඟ් බලකණු වූ මෙම ත‍්‍රිත්වය, මුල්ම කැබිනට් රැස්වීමට පැමිණියේ ද වෙනම ස්ථානයක සාකච්ඡා කිරීමෙන් පසුව බවට පොහොට්ටුව පාර්ශ්වයෙන් චෝදනා එල්ල වී තිබුණි. ඒ සමග විමල්, වාසු, ගම්මන්පිලට පිළිතුරු දෙන ස්වරූපයෙන් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් කටයුතු කළේය. සීතලට කෙරී ගෙන ගිය මෙම සංවාදය එළිපිටම දිග හැරෙන්නට පටන් ගත්තේ, නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ආ තත්ත්වය සමගය. එතැනදී පොහොට්ටුව සමග සන්ධානගතව සිටි පක්ෂ කිහිපයක්ම නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව සටනට පිවිසියේය. ඒ සමග ආණ්ඩුව තුළ වෙනම පාර්ශ්වයක් බවට විමල්, වාසු, ගම්මන්පිල කණ්ඩායම පත්විය. ඇමෙරිකානු සමාගමකට මෙරට එල්.එන්.ජී. සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක‍්‍රියාවලියට එරෙහිව මහජන මන්ත‍්‍රණ සභාව ලෙස සංවිධානය වෙමින්, පිටකෝට්ටේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක සහභාගිත්වයෙන් පවත්වන ලද රැස්වීම මෙම අර්බුදයේ තීරණාත්මක ලක්ෂ්‍යයක් සලකුණු කළේය. ඒ සදහා ශ‍්‍රී ලනිපය ද සහභාගී වී සිටි අතර, ආණ්ඩුව ඇතුලේ සිට ආණ්ඩුවට එරෙහිව එම පිරිස කටයුතු කරන බවට පොහොට්ටුවේ නිලධාරීන් මේ සඳහා චෝදනා ගොනු කරන්නට විය.

මෙය නෛතික ලෙසම වෙනම සංවිධානය වන්නේ නිව් ෆෝට‍්‍රස් ආයෝජනය සමගය. නිව් ෆෝට‍්‍රස් සමාගම සඳහා යුගදනවි කොටස් විකිණීමට රජය ගනු ලැබූ තීරණයට එරෙහිව පාර්ශ්ව ගණනාවක් අධිකරණය හමුවට ගියේය. එහිදී කැබිනට් මණ්ඩලය නියෝජනය කරන විමල්, වාසු සහ ගම්මන්පිල යන අමාත්‍යවරු තිදෙනා වෙනම නීතිඥයකු ඉදිරිපත් කරමින්, යුගදනවි ආයෝජනයට එරෙහිව අධිකරණය හමුවේ පෙනී සිටියහ. ආණ්ඩුව ඇතුලේ සද්දයක් බවට පත්වූ තත්ත්වය, නීතිය ඉදිරියේ ද මෙසේ එළිපිට පෙනී යන විට, එයට එරෙහිව පොහොට්ටුව පාර්ශ්වය සඳහන් කරන ලද්දේ, කැබිනට් සාමූහිකත්වය කඩකරමින් කටයුතු කරන ලද ඇමැතිවරුන් උදෙසා ජනාධිපති පියවරක් ගත යුතු බවය. ජනවරමේ අභිලාෂය ආරක්ෂා කිරීමේ උත්තුංග කාර්යය සඳහා තමන් කැපවීම කරන ලද බැවින් මෙවැනි චෝදනා ඉදිරියේ තමන් නොසැලෙන බව විමල්, වාසු සහ උදය පාර්ශ්වය පිළිතුරු ලබා දී තිබුණි.

  • විවිධ මත සමග එකම ආණ්ඩුවක්

මේ සියල්ල හමුවේ ආණ්ඩුව තුළම, යම් යම් දේට එරෙහිව විපක්ෂයක් ගොඩ නැගී තිබුණි. එම රැල්ල අනුව යමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන විදුර වික‍්‍රමනායක වැනි අය පවා ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ යම් පමණකට විවේචනය කරන්නට පටන් ගෙන තිබුණි.

විවිධ මත සමග එකම ආණ්ඩුවක් යන්න බොහෝ අලංකාරයෙන් දේශපාලන වාද විවාද සඳහා මාධ්‍යයට පැමිණෙන ආණ්ඩුවේ කථිකයන් වර්ණනා කළද මෙම මතිමතාන්තර ගැටුම, ආණ්ඩුව ඇතුලේ යම් අර්බුදකාරී තත්ත්වයක් මතු නොකළා ද නොවේ. රාජ්‍ය අමාත්‍ය සුසිල්ගේ ”කියන කියන දේට අත උස්සන්න අපි සිග්නල් කණු නෙමෙයි” නම් වූ පාර්ලිමේන්තු කතාව තුළ ඔහු ආණ්ඩුව සම්බන්ධයෙන් සිය විරෝධය ප‍්‍රසිද්ධියේ මතු කළ අවස්ථාව විය. විමල්, වාසු සහ ගම්මන්පිල යන තිදෙනාගේ විරෝධය සහ ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු ද ආණ්ඩුවෙන් වෙන්ව කටයුතු කළ ද පොහොට්ටුවේම මන්ත‍්‍රීවරයකු වූ සුසිල් මෙසේ හඬ අවදි කිරීම ආණ්ඩුව සුළුවට තැකුවේ නැත.

විශේෂයෙන්ම විමල් ආදී පිරිසගේ හඬ සඳහා යම් මට්ටුවක් ලබාදීමටත්, පොහොට්ටුවේ මන්ත‍්‍රීවරු අතර විනය රැකගැනීමත් සඳහා වූ අත්‍යවශ්‍ය පියවරක් ලෙස සුසිල් උදෙසා තදින් සිටීමට ආණ්ඩුව තීරණය කර තිබුණි. ආණ්ඩු පාර්ශ්වයේ මතය වූයේ, ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු සමග සුසිල් පේ‍්‍රමජයන්ත යම් යම් සම්බන්ධතා පවත්වන බවය. එසේම ඉදිරියේදී සුසිල් පාර්ලිමේන්තුවේදී විප්ලවකාරී කතාවක් සිදුකර සිය මන්ත‍්‍රී ධුරයෙන් නික්ම යන බවට වන ආරංචියක් ද ආණ්ඩුව වෙත ලැබී තිබුණි.

පසුගිය ඉරිදා දෙල්කඳ පොළට සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයා පැමිණ සිටියේ එදිනෙදා නිවසට අවශ්‍ය බඩු ගැනීමට පමණක් නොවේ. පොළට පැමිණ සිටි සුසිල් මාධ්‍ය වෙත ආණ්ඩුව විවේචනය කරමින් ප‍්‍රකාශයක් ද කළේය. සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයාගේ ගම් පියස දෙල්කඳ ය. මීට පෙර දෙල්කඳ පොළ පිහිටා තිබුණේ, ඔහුගේ නිවස අසලටම වන්නටය. සුසිල් ද නිරන්තරයෙන්ම දෙල්කඳ පොළට පැමිණ බඩු මිලදී ගැනීම සිදු කරන ලද්දේය. අමාත්‍යවරයකු වුවද ඔහු ඉරිදා පොළට බඩු ගැනීම සඳහා පැමිණියේය. එදා ඔහු සිය ගමේ පොළට පැමිණ සිදු කළ ප‍්‍රකාශය දේශපාලන පෙරළියක් සඳහා පෙර සූදානමක් බව ආණ්ඩුව කිරා මැන බලා තීරණය කර තිබුණි.

  • සුසිල් අස්කිරීමේ උපාය

මේ වන විට ශ‍්‍රීලනිපය ද සිය පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා සැලසුමක් දියත් කරමින් සිටියේය. ආණ්ඩුව සමග එකට සිටියද දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන යන පිරිස ආණ්ඩුව විවේචනය කිරීමේ දැඩි පිළිවෙතකට එළඹ සිටියහ. අනික් අතට විමල් ඇතුළු පිරිසය. මේ සියලූදෙනාගේ ‘විවේචනය’ පාලනය කරගත යුතු තැනකට ගෙන ඒම ආණ්ඩුවේ උපාය විය. තුනෙන් දෙකක් සහිත ආණ්ඩුවක ඉරණම සෑමවිටම, අභ්‍යන්තරයෙන් දෙදරීම ය. ආසන්න උදාහරණයක් ගතහොත් 2010 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙත තුනෙන් දෙකේ ආණ්ඩු බලයක් ලැබුණි. විපක්ෂය නන්නත්තාර වී තිබූ එම අවස්ථාවේදී ආණ්ඩුවට එරෙහිව ජනාධිපති අපේක්ෂකයා පත්වූයේ, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන පක්ෂයේ ලේකම් ය. මේ පාඩම යළිත් ඉගෙන ගැනීමට රාජපක්ෂලා කටයුතු නොකරන හෙයින්, මෙසේ නැගී එන ඇතුලේ විරෝධතා සඳහා යම් සමනය කිරීමේ පියවරක් ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය විය.

විමල්, වාසු, ගම්මන්පිල යන තිදෙනා වෙනත් පක්ෂ නායකයන් ය. එසේම ඒ තිදෙනාම කැබිනට් ඇමැතිවරු ය. රටේ නම ගිය ජාතික දේශපාලනයේ ප‍්‍රතිරූපධාරී චරිත ය. එම චරිත සඳහා යම් පියවරක් ගැනීමට පෙර ‘මුට්ටිය දැමීම’ සඳහා ආණ්ඩුව අවස්ථාවක් බලමින් උන්නේය. මේ සියල්ල සලකා සුසිල් පේ‍්‍රමජයන්ත, ඔහු දැරූ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

  • කැබිනට් මාරුව

ජනාධිපති ලේකම්වරයාගේ මාරුව සමග ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සඳහා යන බවට ආරංචි පැතිරී යන්නට පටන් ගත්තේය. ඒ අනුව නව රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරු පිරිසක් පත්කිරීම සඳහා ආණ්ඩුව දැන් කටයුතු සූදානම් කරගෙන යමින් පවතියි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ ඉතිරි අර්ධය සම්පූර්ණයෙන්ම ඉලක්ක වනු ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණය බලාය. ඒ අනුව පාර්ලිමේන්තුව නව සැසි වාරයෙන් පසුව ආණ්ඩුව ස්ථිර ලෙසම කැබිනට් මණ්ඩල සංශෝධනයක් කරා යොමුවනු ඇත. එසේම අභ්‍යන්තර විරෝධතා සමනය කර ගැනීමේ යාන්ත‍්‍රණයක් ද රජයට අවශ්‍යය.

විශේෂයෙන්ම කෘෂිකර්ම ආදී විෂයයන් ගණනාවක් ආණ්ඩුව බලාපොරොත්තු වූ ඉලක්ක නොකළා පමණක් නොව ආණ්ඩු විරෝධයක් දක්වා ආණ්ඩුවේ සාධනීය ප‍්‍රතිපත්ති ගෙන යන තත්ත්වයකට පත් කළේය. මේ හේතුවෙන් විෂය ගණනාවක් සහිත කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරියේදී අපේක්ෂා කළ හැකිය.

  • තුනෙන් දෙකන් – බහුතරයට

පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රී සංඛ්‍යාව කථානායකවරයා හැරුණු විට 159 කි. එයින් විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ආණ්ඩුව සමග නොසිටින බව පැහැදිලි බැවින් මන්ත‍්‍රී සංඛ්‍යාව 158කි. මෙම 158 සැදුම් ලබන්නේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 145ක් ලෙස පවතියි. ඊට අමතරව සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු හය දෙනෙකු සිටින්නේ ආණ්ඩුව සමගය. මුස්ලිම් ජාතික සන්ධානයේ මොහමඞ් රහීම්, අහිල ඉලංගෙයි මහජන කොංග‍්‍රසයේ එස්.එම්.එම් මුෂාරෆ්, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ඒ.එස්. නසීර්, අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි ද සහිතව බලන විට ආණ්ඩු පක්ෂයේ බලය 158 කි. තුනෙන් දෙකේ බලය ඉක්මවා මෙසේ මන්ත‍්‍රීවරු පත්ව සිටියද පොහොට්ටුවේ විවිධ දේශපාලන පක්ෂ ලෙස ඒකරාශිව සිටීම නිසා එම සංඛ්‍යාව ද මෙහිදී ගණන් බැලිය යුතුව ඇත. ශ‍්‍රීලනිපය මන්ත‍්‍රීවරු 14කි. ජාතික නිදහස් පෙරමුණ මන්ත‍්‍රීවරු හයකි, මඑපෙ මන්ත‍්‍රීවරු තුනකි. වාසුදේව නානායක්කාරගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණට මන්ත‍්‍රීවරු දෙකකි. ලංකා කම්කරු කොන්ග‍්‍රසයට මන්ත‍්‍රීවරු දෙකක් සහ කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ලංකා සම සමාජ පක්ෂය, ශ‍්‍රී ලංකා මහජන පක්ෂය, තමිල් මක්කල් විඩුදලයිප් පුළිකල්, ජාතික කොංග‍්‍රසය සහ මුට්පෝකු තමිළර් කච්චි යන පක්ෂ එක් මන්ත‍්‍රීවරයෙක් බැගින් ද ඩග්ලස් දේවානන්දගේ ඊපීඩිපීය මන්ත‍්‍රීවරු දෙදෙනෙක් සහ ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රී ටිරාන් අලස් ගෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සැදුම්ලත්ව තිබේ.

සුසිල් පේ‍්‍රමජයන්ත නොමැතිව ඍජුවම පොහොට්ටුව ලෙස මන්ත‍්‍රීවරු 111ක් සිටින අතර, ශ‍්‍රීලනිපය, විමල්ගේ පක්ෂයේ, කොමියුනිස්ට්, සමසමාජ, වාසුගේ පක්ෂය, උදය ගම්මන්පිල, ටිරාන් අලස් සමග මන්ත‍්‍රීවරු 26 දෙනෙකු ද ඊට ඇතුළත්ය. මෙම විසි හයදෙනා නොමැතිව ආණ්ඩුවේ සමස්ත බලය 131 කට සීමා වනු ඇත. මේ තත්ත්වය පිළිබඳව ආණ්ඩුව සලකා බලනු ඇත්තේ, තුනෙන් දෙක නොමැතිවීමේ අර්බුදයට වඩා, තමන් සමග සිටින පිරිසක් වෙනත් පාර්ශ්වයක් ලෙස සංවිධානය වීමය.

  • විපක්ෂයේ පැත්ත

ආණ්ඩුව තුළම විපක්ෂයක් සිටීම එක් අතකින් විපක්ෂයේ ජවනිකාව අහෝසි කරන තරමට බලපා තිබේ. පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එරෙහිව කතා කිරීමට විපක්ෂයට හැකි වුවත් ඉන් ඔබ්බේ ජනතාව ආකර්ෂණය වී ඇත්තේ, ආණ්ඩුව තුළ සිටිමින්ම ආණ්ඩුව පිළිබදව ‘සාධනීය විවේචන’ න්‍යායයෙන් සිදු කරන ක‍්‍රියාවලිය වෙතය. එය ආණ්ඩුව තුළම විපක්ෂයක් සේම, විපක්ෂයට එළියේදී සිය ජවනිකාව අහෝසි කිරීමක් බවට පත්ව තිබේ. මෙය වාසි – අවාසි මිශ‍්‍ර තත්ත්වයකි. ආණ්ඩුවට ද සිය අප‍්‍රසාදය විපක්ෂය වෙත බර නොකර තම පාර්ශ්වය තුළම දිය කර ගැනීමට මෙයින් හැකියාවක් ලැබී තිබේ.

සියල්ල කොයි අතට පෙරළේ ද යන්න දැන්ම කිව නොහැකි අතර, මේ සියල්ලේම අවසාන තීන්දුව ඊළඟ ජනාධිපතිවරණයේදී ලැබෙන බව දැනට කිව හැක.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment