ජීවතුන් අතර සිටින මිනිසුන්ගේ ප්‍රතිමා සෑදීමේ චාරිත්‍රයක් ශිෂ්ට ලෝකයේ නැත. හැබැයි මේ චාරිත්‍රය ශුද්ධ රෝම අධිරාජ්‍යය පැවති සමයේදී සහ මිසර රාජ්‍යය පැවති සමයේදී තිබිණ. එකල ලෝකයේ රටවල් පාලනය කරන ලද්දේ රජවරුන් හෝ ගෝත්‍රික ප්‍රධානීන් විසිනි. අබමල් රේණු භාගයක ලජ්ජාවක් මේ දෙගොල්ලටම තිබුණේ නැත. ඒ නිසා මේ දෙගොල්ලොම තමන් ජීවතුන් අතර සිටි කාලයේදීම තමන්ගේ ප්‍රතිමා ඉදිකරවූහ. ඊට පසු මේ ලජ්ජා නැති පුරුද්ද අපට හමුවන්නේ කොමියුනිස්ට් ලෝකයෙනි. ලෙනින් හා ස්ටාලින් ගේ ප්‍රතිමා ඔවුන් ජීවතුන් අතර සිටියදීම සෝවියට් දේශයේ තනන ලදී. මාවෝ සේතුංගේ ප්‍රතිමා ඔහු ජීවත් වෙද්දීම රටේ තැන තැන සාදා තිබිණ. මාවෝ සේතුං යනු මැරිලාත් මාසයක් රට පාලනය කළ ඉතා බලගතු පුද්ගලයෙකි. මාවෝ සේතුං මළ පසු ඒ බව චීන රජය එක්වනම ලෝකයට කිව්වේ නැත. සිය නායකයාගේ සිරුර එම්බාම් කර ඇඳ මත තැබූ චීනයේ අභ්‍යන්තර නායක කණ්ඩායම මාවෝට බරපතළ ලෙස අසනීප බව කියමින් ඔහු විවේකීව වැතිර සිටින බව ප්‍රසිද්ධ කළේය. ඉන්පසු රටට අලුත් නායකයෙක් තෝරාගත් ඔවුහු එම නායකයාද එම නායකයාගේ දේශපාලන මණ්ඩලයද තහවුරු වන තුරු බලා සිටියේය. මේ තහවුරුවත් සමගම මාවෝ මියගොස් මාසයක් සම්පූර්ණ විය. එකෙනෙහිම ලෝකය ඇමතූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිතුමා මාවෝ සේතුං මේ දැන් මියගිය බවත් අලුත් නායකයකු තෝරාගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවා ඇති බවත් නිවේදනය කළේය. ඒ කතාව පැත්තකින් තබමු. එය අප සඳහන් කළේ ජනතාවගේ සාමාන්‍ය දැනුම තරකරනු පිණිසය. මිනිසුන් පණ පිටින් සිටියදී ප්‍රතිමා සෑදීමේ කතන්දරය දෙසට අප නැවතත් හැරෙමු. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ ප්‍රතිමාවක් ඔහු පණ පිටින් සිටින අතරම ඉදිකිරීමේ අවශ්‍යතාවක් මතුව ඇත. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඉතාම උසස් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු සූදානම් වෙයි. මේ ක්‍රියාවලියේ පළමුවැන්න ලෙස පාසල් බෑගයේ බර අඩු කිරීමටත් මෙතෙක් පැවති වාර විභාග තුනක් වෙනුවට අවුරුද්දට එක වාර විභාගයක් පැවැත්වීමටත් ඔහු යෝජනාවක් ගෙනවිත් ඇත. මේ සාධනීය යෝජනාව කෙරේ අප තුළ ඇත්තේ විශාල පැහැදීමකි. එතැන් සිට කතාව මෙසේය;
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විසින් මේ රටේ ශිෂ්‍ය පරම්පරාව පුරුදු කරනු ලබන්නේ අනාගතයේදී මුට්ට කරගැසීමේ රක්ෂාව කරනු පිණිසය. මුට්ට කරගැසීමේ රැකියාව කිසිදු කරදරයක් නැති සමාජයට ප්‍රයෝජනවත් රැකියාවක් බව මෙහිදී මුලින්ම සඳහන් කරමු. එහෙත් මේ රැකියාව ළමා කාලයේ සිට පුරුදු විය යුතු නැත. කිසියම් පුද්ගලයකු තමන්ට සුදුසු රැකියාව තෝරාගන්නේ නව යොවුන් විය ඉක්මවූ පසුය. ලංකාවේ ළමයා ළමා කාලයේදීම මුට්ට කරගැසීමේ රක්ෂාව තෝරාගන්නේ තමන්ගේ බරට චුට්ටක් අඩු විශාල පොත් බෑගයක් සතියට දවස් පහක් හෝ හයක් පාසලට උසුලාගෙන යෑම සහ පාසලෙන් ආපසු රැගෙන ඒමෙනි. මේ බෑගය තුළ එක්සයිස් පොත් අති විශාල සංඛ්‍යාවක්ද, අච්චු පොත් එබඳුම ප්‍රමාණයක්ද, පැන්සල්, පෑන්, සායම් පෙට්ටි, පැස්ටල් කූරු හා කවකටු පෙට්ටි යනාදියද, උදේ කෑම සහ දවල් කෑම යන පාර්සල් දෙකද, වතුර බෝතලයද තිබේ. මීට අමතරව පන්ති භාර ගුරුවරයා සතියට දවස් දෙක තුනක් කුමක් හෝ මඟුලක් ගෙදරින් හදාගෙන එන ලෙස නියම කරයි. මේ බෑගය තුළ එයට ඉඩ නැති බැවින් අතේ ගෙන එනු ලැබේ. කිලෝ ගණනාවක් බර විශාල බෑගය දෙඋරෙහි එල්ලාගත් වහාම පොඩි එකා පසුපසට ඇද වැටීමට යයි. ඔහු එය බැලන්ස් කරගන්නේ ඉදිරියට සිරුර නවා ගැනීමෙනි. මේ ආකාරයෙන් පාසල් ජීවිතය සඳහා අවුරුදු දහයක් හෝ දොළහක් ගතකරන මේ ළමයා කොඳු ඇට පේළියේ කිසියම් වරදක් තිබෙන බව කියාගෙන ගෙදර එයි. එහෙත් එසේ කියන ළමයා පිරිමි ළමයකු නම් ගුරුවරුන් කියන්නේ එම ළමයා තවත් ළමයින් සමග මැරෑටි වැඩකර කොන්දේ අමාරුවක් හදාගෙන ඇති බවය. මේවාට බෙහෙත් නැත. මේවාට දෙන එකම බෙහෙත වූකලී හොඳට හැදෙන්නැයි දෙමාපියන් විසින් කරනු ලබන ඉල්ලීම පමණි. ලංකාවේ අධ්‍යාපනය මාර වාතයකි. උදේ පාන්දර නැගිට ඉස්කෝලේ යන ළමයින් අ.පො.ස සා.පෙළ හෝ උසස් පෙළ විභාගයේදී බෙල්ල බේරාගන්නේ ටියුෂන් යෑමෙනි. මේ නිසා අපේ රටේ දරුවන්ගේ ජීවිත ඉතා දුක් සහගතය.
එහෙත් දියුණු ලෝකයේ රටවල් වැඩිහරියක මෙවැනි කරදරයක් නැත. ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 98% ක පමණ ඉහළ අගයක පවතී. ඒ ලෝකයේද ඉහළ අගයකි. ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය පවතින්නේ ෆින්ලන්තයේ බවට පිළිගැනීමක් ඇත. මේ රටේ ඉස්කෝලවල දරුවන්ට දිනකට දෙපැයකට වැඩි පොතේ වැඩ නැත. අනෙක් සියලුම වෙලාව යොදවනු ලබන්නේ ප්‍රයෝගික වැඩ සඳහාය. ඒ නිසා ඒ රටේ ළමයින්ට අධ්‍යාපනය මූලික කරගත් මානසික ආතතියක් නැත. ලෝකයේ වැඩිම මානසික ආතතියක් ඇති අධ්‍යාපන ක්‍රමයක් පවතින්නේ ඇෆ්ගනිස්තානයේය. එයට හේතුව ඉස්කෝලේ යන අතර තලේබාන් සංවිධානයෙන් වෙඩි කෑමටද ඔවුන්ට සිදුව තිබීමය. සාමාන්‍යයෙන් අඩු දියුණුවකින් සමන්විත යුරෝපීය නොවන රටවල් වැඩි හරියක අධ්‍යාපනය ඉහළ මානසික ආතතියෙන් සමන්විතය. මේ නිසා මේ රටවල ළමයින් විභාග පාස්වී ඉහළ රැකියා ලබාගන්නවා වෙනුවට හොරකම් කිරීමටත් මංකොල්ලකෑමටත් ස්ත්‍රී දූෂණයටත් පුරුදුව සිටිති. ස්ත්‍රී දූෂණය යනු රැකියාවක කොටසක් නොවේ. එය වනචර පන්තියේ විනෝදාස්වාදය සඳහා යොදාගන්නා මෙවලමකි. මේ වනවිට ශ්‍රී ලංකාව තුළද මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් පෙනෙන්නට තිබේ. බි්‍රතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඔස්ටි්‍රයාව වැනි රටවල පවතින ආතතියකින් තොර අධ්‍යාපන ක්‍රමය තුළ මෙවැනි විපත්තිදායක තත්ත්වයන් හටගන්නේ නැත. අවුරුද්දට වාර විභාග තුනක් නොපවත්වා එකක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුකිරීමට අධ්‍යාපන ඇමැතිවරයා ගෙන ඇති තීරණය අපගේ ගෞරවයට හේතු වේ. වාර විභාගයද මාර ආතති කේස් එකකි. හැම අම්මා කෙනකුටම අවශ්‍ය වන්නේ තම ළමයා පන්තියේ පළමුවැනියා වනු දැකීමටය. මේ නිසා අවුරුද්දකට තුන් වතාවක් පළමුවැනියා වී රිපෝට් කාඩ් එක ගෙදරට පෙන්වීමේ අවදානමට සහ ආතතියට අපේ ළමයි ලක්ව සිටිති. අවශ්‍ය වන්නේ එක ළමයකු නොව හැම ළමයාම පළමුවෙනියා වීමය. මෙය කරන අන්දම ගැන සංඛ්‍යාත්මක විග්‍රහයකින් කරුණු විග්‍රහ කළ හැකිය. එහෙත් වැඩේ වාතයක් වන බැවින් අපි එය අමතක කර දමමු.