සුසිල් මට කුණුහරුප කිව්වා: රෝහිණිගෙන් කථානායකට පැමිණිල්ලක්

299

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමක දී අධ්‍යාපන ඇමැති ධුරය දරන සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේ දී අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කළ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිලි කර ඇත.

ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් කාන්තාවක ලෙස තම වරප්‍රසාද කඩ වී ඇති නිසා මෙම සිද්ධිය වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කර සුදුසු පියවර ගන්නා ලෙස ද මන්ත්‍රීවරිය කථානායකවරයාගෙන් ඉල්ලා ඇත. මන්ත්‍රීවරිය විසින් ඒ පිළිබඳ කථානායකවරයාට යැවූ ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

2023-02-24 වැනි දින මම මෙම ගරු සභාවේ අවධානය යොමු කරමින්, ඊයේ දින අධ්‍යාපන අමාත්‍යාංශය තුළ වූ සිදුවීමක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. මෙම පැහැදිලි කිරීම සිදු කරමින් මා දන්වා සිටියේ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් පැමිණ සිටි ගුරු භවතුන් හා සංඝයා වහන්සේ කිහිපදෙනකු වෙත සිදුව ඇති ශාරීරික පීඩා හා පොලිසියේ ක්‍රියාකාරකම්ය.

මෙම ගැටලුවට පිළිතුරු ලබාදීමට ඉදිරිපත් වෙමින් සභානායක නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත මැතිතුමා විසින් පැහැදිලි කිරීම් සිදු කරන අවස්ථාවේ මා විසින් දිගින් දිගට මෙම පැහැදිලි කිරීම් සමග කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේ ගරු සභානායකතුමා ඉතා අසභ්‍ය වචනයකින් මා ආමන්ත්‍රණය කරන ලදී.

කාන්තාවක් ලෙස මෙන්ම ගුරුවරියක ලෙස මෙම ගැටලුව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කරන ලද අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍ය ධුරය ද දරන ගරු සභානායකතුමා විසින් අසභ්‍ය වචන භාවිත කරමින් මා හට අපහාස කිරීම කොපමණ සදාචාර සම්පන්න ද යන්න විමසා බැපලීම සුදුසු යැයි යෝජනා කරමි.

මෙම සිදුවීම නිසා සජීවීව පාර්ලිමේන්තු විවාද නරඹන පොදු ජනතාව මෙම උත්තරීතර පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් පිළිබඳ ඇති කර ගනු ලබන ආකල්පය කෙබඳුදැයි ඔබතුමා ම තීරණය කරනු ඇතැයි සිතමි.

මෙම ප්‍රකාශය මේ වනවිටත් විද්‍යුත් මාධ්‍ය හරහා සමාජගත වී ඇති හෙයින් කාන්තාවක් හා මවක් ලෙස මා දැඩි ලෙස අපහසුතාවට පත් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක, කාන්තාවක ලෙස මාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් මෙම කරුණ වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment