මහැදුරන් දෙදෙනෙක් එක රඟහලක හිඳ කරති. ඇරැයුම්. ආරාධනා පතෙහි සඳහන් වූයේ එලෙසිනි. කුමක්ද මේ සිද්ධි රංගය Snapshot? සූක්ෂ්මාත්මතාව හා නිර්මාණශීලීත්වය Sensitivity and Creativity හා සිද්ධි රංගයෙහි සම්බන්ධය කුමක් ද? මහැදුරන් දෙදෙනා නම් සුනන්ද මහේන්ද්‍ර හා සුනිල් ආරියරත්න ය. නිර්මාණාත්මක සන්නිවේදනයට අන්තර්ගත සංකල්ප දෙකක් පිළිබඳ ව මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ගේය පද දහයක් ආශ්‍රිතව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් කරන ලද විවරණය කි. නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් ලෙසින් පසුගිය විසිහත්වැනි දා මහවැලි කේන්ද්‍රයේ දී ජනගත වූ සාහිත්‍ය කෘතියකි.
අපට හුරු පුරුදු සාම්ප්‍රදායික මුඛ්‍ය දේශන හා වෙනත් දේශන ඇතුළත් ජනගත කිරීමක් නොවූ මේ සැන්දෑවේ ප්‍රේක්ෂාගාරය සිද්ධි රංගයක් නැරඹූ අතර නිර්මාණශීලීත්වය හා සූක්ෂ්මාත්මතාව යන සංනිවේදන සංකල්ප පිළිබඳ මෙතෙක් අසා නොතිබූ අලුත් ම අදහස් හා විවරණ රැසකින් ප්‍රේක්ෂාගාරය ඥානනය ලැබූ බව හැඟිණ. මහා බි්‍රතාන්‍යය, ඇමෙරිකාව, ප්‍රංශය වැනි රටවල ඉදිකර ඇති ප්‍රාන්ත ශාලා හා විද්‍යා පීඨවල යම් යම් මතවාද, සිද්ධාන්ත පුද්ගල චර්යාවන් පිළිබඳ කතිකා පැවැත්වීමේදී සිද්ධි රංග භාවිත වූ බව කියැවේ. හුදු තනි පුද්ගල දේශනයක් වෙනුවට නිර්මාණශීලී සංකථනයක් මගින් පොතක් පතක් වාර ප්‍රකාශනයක් මුල්වරට එළි දක්වන අවස්ථාවන්හි ඡායා මාත්‍ර හෙවත් සිද්ධි මාත්‍ර හෙවත් සිද්ධි රංග භාවිත කොට ඇත. මෙහිදී සංවාදය සංගීතය කවි ගායනා මිශ්‍රිත ව ඉදිරිපත් වන වැඩ සටහනකි සිද්ධි රංගය. පසුගිය විසිහත් වැනි දා මහවැලි කේන්ද්‍ර ප්‍රේක්ෂාගාරය හවුල් වූයේ එවන් අපූරු අත්දැකීමකට ය. සිද්ධි රංගයට දායක වූවන් අතර පූරක රවිඳු මහේන්ද්‍ර හා සංගීතඥ නවරත්න ගමගේ වූහ. රංගනයට එක් වූ පිරිස අතර සංජීවනී රූපසිංහ, ජයනි සරත්චන්ද්‍ර, සමාලි ධර්මදාස, නෙත්මා සමරවීර, නිමෙෂ් නිරන්ජන් හා ශාන් මධුරංග ආදීහු වූහ. ජනගත වූ කෘතියෙහි විවරණයට බඳුන් වූ ගීතාවලිය ප්‍රතිනිර්මාණය කළෝ දේශානි විතානගේ, නිර්මාණි චතුරිකා, රුමීලියා බෙනඩික්ට්, දුමිත් ගයාන්, ලෙස්ලි තෝමස් ආදීහු ය. සූක්ෂ්මාත්මතාව හා නිර්මාණශීලීත්වය සංකල්ප ඔස්සේ රස වින්දනයට භාජනය වී තිබූ සුනිල් ආරියරත්න විරචිත ගීතාවලිය මෙසේය. කුරුටු ගෑ ගී පොතේ, සකුරා මල් පිපිලා, පියාණනී මා නැවත උපන්නොත්, සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ, බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී, පානම්පත්තුවේ ඩිංගිරි අම්මා ය, මේ ගුරු පාරේ මේ දොළ අයිනේ, තාත්තා වුණත් ම බත සරි කරන, ඔබ යන ගමනේ මාවත අවුරා, වියෝ ගී ගැයෙනා හදේ . දශක ගණනාවක් පුරා ශ්‍රාවක සවනෙහි, මනැසෙහි නිදන්ගත ව රාව ප්‍රතිරාව නංවන භාවපූර්ණ, අර්ථපූර්ණ මේ ගීත ප්‍රතිගායනා ඔස්සේ ප්‍රේක්ෂාගාරය අතීත ස්මරණ කරා ගෙන ගිය අතර සුනන්ද මහේන්ද්‍ර හා සුනිල් ආරියරත්න මහැදුරන් දෙදෙනා සමග සජීවී ව පැවැත්වුණු සංවාද ඔස්සේ සූක්ෂ්මාත්මතාව හා නිර්මාණශීලීත්වය යන සංකල්ප සියුම් ව හඳුනාගැනීමට ලද අවස්ථාවෙහි අගය අමිල ය.
සූක්ෂ්මාත්මතාව යනු කුමක් ද? මහැදුරු සුනන්ද මහේන්ද්‍රගේ අර්ථකතනය. ‘සමහරු සූක්ෂ්මාත්මතාව යන්න වෙනුවට සියුම් සංවේදිතාව යන යෙදුම භාවිතයට ගන්නා බව පේනවා. තවත් සමහරු දැනෙනසුලු බව යනුවෙන් ද නම් කරනව. එහෙත් මෙහිදී ඉන්ද්‍රීය සංජානනය අනුව අපට පෙනෙන දේ, ඇසෙන දේ, හැඟෙන දේ හැම අවස්ථාවක දී ම සියුම් ලෙස දැනේ යයි කිව හැකි ද? නො සියුම් ලෙස නො දැනේ ද? ‘එය මට නො සියුම් ලෙස දැනිණ’ යනුවෙන් තර්ක විතර්ක කොතෙකුත් තිබෙන්නට පුළුවනි. එහෙත් දැනෙනසුලු බව යන්නට පොදුවේ යෙදිය හැකි පුළුල් අර්ථවලින් සපිරි යෙදුම වන්නේ සූක්ෂ්මාත්මතාව යන්නය. තමන් සමීපයෙහි ම කිසියම් සියුම් බවක් තැන්පත් ව ඇති බව මින් හැඟවේ. සියුම් ආත්මතාව ‘සූක්ෂ්මතා’ බවට හැරවී පවතී. මෙහිදී මහැදුරු සුනන්ද මහාචාර්ය සරච්චන්ද්‍රගේ අර්ථ නිරූපණයක් ද ඌන පූරණයක් ලෙස එක් කරයි. සරච්චන්ද්‍ර සූක්ෂ්මතාව අර්ථ ගන්වන්නේ කෙසේද?
Sensitive යන්නෙහි නියම අර්ථය නම් ‘සියුම්’ හෝ ‘සූක්ෂ්ම’ යන්න ය. ඒ නිසා sensitivity යන්න සූක්ෂ්මාත්මතාව යනුවෙන් හැඳින්වීමෙහි වරදක් නැහැ. සියුම් ආත්මයක් ඇති බව හැඳින ගැනීම ඉන් අදහස් කෙරෙනවා. ‘සියුම්’ හා ‘නො සියුම්’ යන යෙදුම් දෙක ඉතා වැදගත් වෙනවා. (පිටුව 8)
සූක්ෂ්මාත්මතාව නිර්මාණශීලීත්වය කෙරෙහි බලපාන අයුරු තෝරාගත් ගීත විවරණයන්හි දී මහදුරු සුනන්ද විසින් ඉතා අපූරුවට විග්‍රහ කර තිබෙනු මේ කෘතිය තුළ අපට දකින්නට හැකිවේ. වියෝ ගී ගැයෙනා හදේ ගීතය ඔස්සේ සූක්ෂ්මාත්මතාව හා නිර්මාණශීලීත්වය පිළිබඳ ඔහුගේ මෙම විග්‍රහය බලන්න. ‘අපට මානව වර්ගයා වශයෙන් අත්පත්වන දුක් දොම්නස් මෙතෙකැයි කියා ගණන් කළ නොහැක. වියෝව ඉන් එක් ප්‍රධානාංගයකි. සතුන්ට මෙන්ම මිනිසුන් වන අපට ද එය පෙන්වූවත් ඒ වග සියුම් ලෙස ප්‍රකාශ කළ හැක්කේ මිනිසුන්ට පමණ කි.
පෙමතො ජායතී සොකෝ
පෙමතෝ ජායතී භයං….
ධම්ම පදයේ පිය වග්ගයේ බුදුන් වහන්සේ වදාළ ඒ ධර්මය සනාතන සත්‍යයක් බව ප්‍රත්‍යක්ෂ වන අවස්ථා රාශියකි. වියෝව, අපූර්ව වස්තු නිර්මාණයට මුඛ්‍ය තේමාවන් රැසක් ඉස්මතු කොට ඇති බව පෙන්නුම් කෙරේ. අතිශය නිර්මාණශීලී ලෙසත් අතිශය සූක්ෂ්මාත්මතා ගුණයෙන් යුතුව ඒ දහම ඉස්මතු වන අවස්ථා කොතෙකුත් ඇත. වියෝ ගීත ලොව කොතෙකුත් පහළ වී ඇත. ඒ අතර වියෝගීත හුදු ශෝක ප්‍රකාශවලින් පමණක් නිර්මිත වී තිබෙන අයුරු දැක ගත හැකි ය. වියෝව හෙවත් විප්‍රලම්භ ශෘංගාරයේ අපූර්වත්වය අනුව නිර්මාණය වන කවි, ගීත, චිත්‍ර හා නාටක කොතරම් දැයි සිතා ගත නොහැකි ය. උතුම් ලෙස තම භාවාත්මක කම්පනයන්ගෙන් සුසැදි නිර්මාණවල පවතින්නේ භාවාතිශය ගුණය වෙනුවට භාවාත්මක ඥානාන්විත ස්වභාවයකි.
එය ආධ්‍යාත්මික පරිණතභාවයට මුල පුරන ගුණයෙන් අනූන ය. මේ එබඳු අවස්ථාවක් මැවීමට සැලස්වීමක් දැයි බලන්න. (වියෝගී ගැයෙනා හදේ ගීතය වෙනුවෙන් ලියූ විවරණය) පිටු 42-43.
මෙම කෘතියෙහි අදාළ ගීතාත්මක සංකථනයෙන් අපේක්ෂිත සංකල්ප විවරණය මහැදුරු සුනන්ද මහේන්ද්‍ර මෙලෙස සංක්ෂිප්ත ව දක්වා තිබේ. සූක්ෂ්මාත්මතාව කුමක් ද?
එය හඳුනාගන්නේ කෙසේ ද? සූක්ෂ්මාත්මතාවෙන් නිර්මාණශීලීත්වයට මග පෑදේ ද? නිර්මාණශීලීත්වය කුමක් ද? සූක්ෂ්මාත්මතාව ප්‍රභේද ගත කළ හැකි ද? එය යථාර්ථය ඉක්මවේ ද? භක්තිය, ගරුත්වය, ප්‍රණාමය වැනි ස්වභාවයන් සිදුවන්නේ කෙසේ ද? නිර්මාණශීලීත්වය හා ආධ්‍යාමිකත්වය, සූක්ෂ්මාත්මතාවෙන් නිර්මිත කෘතියකින් අත්පත් වන සෙත, ගැහැට පිරුණු ලෝකයට නව අරුතක්. මෙම කුඩා ග්‍රන්ථයට උප ග්‍රන්ථයක් ද ඇතුළත් කොට තිබෙනු දිටිමි. පළමුවැන්න සූක්ෂ්මාත්මතාව හා නිර්මාණශීලීත්වය මැන බැලීම සඳහා වූ අප්‍රිකානු පවුලක දරුවකු බීබීසී ලෝක සේවය පැවැත්වූ නිර්මාණශීලීත්වය මැනීමේ කතා කීමේ තරගයකට ඉදිරිපත් කොට ප්‍රථම ස්ථානය දිනූ සිංහයා හා මදුරුවෝ නම් කුඩා කතාවක්යි. දෙවැන්න මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යයනය නමින් සචිත්‍ර මහේන්ද්‍ර විසින් රචනා කරන ලද සංක්ෂිප්ත රචනාවයි. ශාස්ත්‍රීයත්වය හා නිර්මාණශීලීත්වය යන එකිනෙකින් වියුක්තව දිවෙන චින්තන ධාරා ද්වයක දුෂ්කර චාරිකාවක නිරත ව සිටින මහාචාර්යවරයකුගේ නිර්මාණ ඇරැඹුමෙහි සිට ශාස්ත්‍රීය සම්ප්‍රදානයන්ට පිවිසීම තෙක් කතා පුවත ඉතා කෙටි සටහනක් තුළින් වුව විවිධ පරාස රැසක් ආවරණය කරන්නට ගත් උත්සාහයකි. රවිඳු මහේන්ද්‍ර ප්‍රමුඛ සිද්ධි රංග කණ්ඩායම තවත් පුහුණුවීම් (rehearsals) කිහිපයකින් පසු තම රංග කාර්යය ඉදිරිපත් කළේ නම් සාම්ප්‍රදායික නොවූ ජනගතකිරීම වඩාත් අලංකාරවත් වන්නට ඉඩ තිබුණු බව පවසමි. නිර්මාණකරණයෙහි නිරත ව හා නිරත වීමට අපේක්ෂාවෙන් සිටින දෙපිරිසටම අගනා වටිනා හස්තසාර ග්‍රන්ථයක් ප්‍රදානය කිරීම පිළිබඳව සුනන්ද හා සුනිල් යන මහැදුරන් දෙදෙනාට ම පාඨක රසික සමාජයෙහි කෘතඥතාව හිමිවන බව පවසමි.
● බුද්ධදාස ගලප්පත්ති
[email protected]
සංස්කරණය – රුවන් ජයවර්ධන